නාවික හමුදාපතිගේ පත්වීම | සිළුමිණ

නාවික හමුදාපතිගේ පත්වීම

 රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතා වැදගත්, නිර්භීත හා නිවැරදිම තවත් තීන්දුවක් ගෙන ඇත. ඒ ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස ට්‍රැවිස් ජෙරම් ලියන්දුරු සින්නයියා මහතා පත්කිරීම මගිනි. රටේ සාමාන්‍ය ජනතාව අතර මෙකී නම එතරම් හුරුපුරුදු විය හැකි නොවූවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පිළිබඳ අවධානයක් හා අවබෝධයකින් යුත් කිසිවෙකුට ට්‍රැවිස් සින්නයියා කිසිසේත්ම ආගන්තුකයෙක් නොවේ.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා ලෙස ට්‍රැවිස් සින්නයියා මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබාගත්තේ පසුගිය සිකුරාදාය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස අගෝස්තු මස 22 වන දින රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇත.

ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කරනු ලැබීම රටක් ලෙස ගනු ලැබූ ඉතා වැදගත් නිර්භීත හා නිවැරදිම තීන්දුවක් ලෙස සැලකිය හැකි වන්නේ කරුණු ගණනාවක් හේතුවෙනි.

විශේෂයෙන්ම අද වනවිට ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන විශේෂඥයන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වී ඇති මොහොතක් වීම හා තිස් වසරක යුද ගැටුමකට මැදිව ඉන් ජයග්‍රාහි අවසානයක් අත්පත් කරගත් රටක් ලෙස තම අනාගත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වීම තුළ ඒ බව වටහා ගත හැකිය.

ඉන්දීය දේශපාලන බල උපාය මාර්ග තුළ නිරන්තරයෙන්ම රත්වන දකුණු ඉන්දීය සමුද්‍ර සීමාවෙහි අපට හිසරදයක්ව පවතින ධීවර ප්‍රශ්නය ද ලෝක බලවතුන්ගේ දේශපාලන වුවමනාවන් හා ක්‍රමෝපාය උපායමාර්ග තුළ ඉන්දීය සාගරයට ලැබී ඇති වැදගත්කම අනුව ද ඒ බව තේරුම් ගත යුතුය.

ශ්‍රී ලංකාවට අදාළව සැලකීමේ දී මෙම උපායමාර්ගික වැදගත්කම වර්තමානයට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේ. එය සමස්ත නාවික ඉතිහාසයට අදාළව සලකා බැලීමේදීද අතිශයින්ම වැදගත්වී ඇත. ඊට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාව යනු, ඉන්දීය සාගරයේ මුහුදු මාර්ගයට මැදිව පිහිටි නාවික ගමනාගමනයට මෙන්ම ආරක්ෂක හා ආර්ථික මූලෝපායන්ට ද අදාළ වූ සුවිශේෂ ස්ථානයක පිහිටි රටක්වීම ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂක ව්‍යුහය සෘජුවම අපට ඉතා වැදගත් වන්නා සේම මුළු මහත් ලෝකයෙහිම අවධානයට යොමු වූවක් වන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා යනු දැවැන්ත වගකීම් සම්භාරයක් උදෙසා උරදෙන කේන්ද්‍රීය චරිතයක් ලෙස රටට තීරණාත්මක හා වැදගත්වන තනතුරක් බව අවිවාදිතය. එහි දී එකී නායකත්වය හුදු පෞද්ගලික කීර්තිය හා වාසි වෙනුවෙන් නොව රටේ ශක්තිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකු වෙත හිමිකරදීම අත්‍යාවශ්‍යය. ඒ අර්ථයෙන් සැලකීමේ දී මෙම පත්කිරීම රටට ඉතාම වැදගත් වන අතර ට්‍රැවිස් සින්නයියා යනු ඒ සඳහා වන සියලූ සුදුසුකම් සපුරා ඇති අයකු හා අනාගතය උදෙසා ද එම වගකීමට කරගැසිය හැකි පුද්ගලයකු වන බව පැහැදිලිය.

එමෙන්ම එය නිර්භීත තීරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තනතුරු කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරන අනෙකුත් සාධක කෙරෙහි ද අවධානය යොමු කිරීමේදීය. විශේෂයෙන්ම ජනවර්ග මත පදනම් වූ දුක් ගැනවිලි හා ගැටලූකාරී තත්ත්වයන් මත නිර්මාණය වූ බරපතළ ගැටුමකින් පසු රට තුළ ස්ථිර සාමයක් උදෙසා කටයුතු කරන සමයක, ඒ සඳහා තීරණාත්මක බලපෑමක් විය හැකි ජාතික සංහිඳියාව පිළිබඳ ගැඹුරු අවධානයක් යොමුකරන පසුබිමක ට්‍රැවිස් සින්නයියා මහතා වැන්නකු රටේ හමුදාවක නියමුවා ලෙසට පත්වීම සුවිශේෂි තත්ත්වයකි.

අතීතයට අදාළව සැලකීමේ දී එය ඉතාමත්ම දුර්ලභ සිදුවීමකි. විශේෂයෙන්ම ජාතිවාදය පදනම් කරගත් බල දේශපාලනික උපායමාර්ගයන්ට අවතීර්ණවී ඇති මේ රටේ නොසලකා සිටිය නොහැකි පිරිසක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට හා සමාජ යුක්තියට අභියෝග කරමින් සිටින පසුබිමක රටේ සමුද්‍ර ආරක්ෂාව ද ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ තීරණාත්මක වගකීමක් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත පවරාදීම නියත වශයෙන්ම නිර්භීත තීන්දුවක් ලෙසට ද සැලකිය හැකිය.

එහි දී අප කිසිසේතම අමතක නොකළ යුතු ඉතාම වැදගත්ම කාරණය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ එකී තීරණය ඉතාමත්ම නිවැරදිම තීන්දුවක් ලෙසට ද සැලකිය හැකි නිසාය. එසේ වන්නේ රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා යනු හිටපු නාවික හමුදාපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු නාවික හමුදාව තුළ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා වීම නිසා නොවේ. ඔහුගේ නාවික හමුදා ජීවිතය තුළ සිදුකර ඇති කැපකිරීම්, දායකත්වයන් හා නිර්භීතභාවය සැලකීමේ දී ද ඔහුගේ සේවා කාලය මත පදනම් වූ ජ්‍යෙෂ්ඨත්වයට වඩා පෙරකී සුදුසුකම් ත්‍රිත්වය ඉතා බලවත් වන නිසාය.

ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වී ඇත්තේ 1982 නොවැම්බර් මස 15 වන දින දා ශිෂ්‍යභට නිලධාරියකු ලෙසටය. එම කාලය සැලකිය හැක්කේ පසුකලෙක ශ්‍රී ලංකාව වෙලාගත් දැවැන්ත යුද ගැටුමකට ගිනි පුපුරු දල්වමින් සිටි කාලයක් ලෙසටය. ඒ අනුව සිය නාවික හමුදා ජීවිතයේ වැඩිම කාලයක් ඔහු ගතකර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව රටක් ලෙස යුද වැදුනු අති බිහිසුණු කාල සීමාවක සංග්‍රාමික ජීවිතයකට නතුවෙමින්ය. එම සමස්ත කාල සීමාව තුළ ඔහු රට වෙනුවෙන් වූ ඔහුගේ පක්ෂපාතීත්වය ද ජීවිතය පරදුවට තබමින් සිදුකළ කැපකිරීම් ද තීක්ෂණ හා උපායමාර්ගික වශයෙන් අති ප්‍රබල වූ බුද්ධිමය දායකත්වය ද උපරිම අන්දමින් ප්‍රදර්ශනය කළ නිර්භීත රණශූරයෙක් බව ලොවටම ප්‍රදර්ශනය කර තිබේ.

ඔහුගේ සංග්‍රාමික ජීවිතය පිළිබඳ මැනැවින් කරුණු දන්නා ආරක්ෂක විශ්ලේෂකයන්ට අනුව ද නාවික හමුදාවේ වෘත්තීය සගයන්ගේ ඇගයීම් තුළ ද ට්‍රැවිස් සින්නයියා යනු නාවික විෂය පිළිබඳ ඔහු තුළ වූ ප්‍රාගුණ්‍යය නිවැරදිම මොහොතේ ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කර ඇති නිලධාරියෙකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නෞකාවන්ට එරෙහිව ඉතාමත් සාර්ථක ලෙස මෙහෙයුම් රාශියක් සිදුකළ නිලධාරීන් අතර සිටින ප්‍රමුඛතම නිලධාරියෙකි. ඒ පිළිබඳව පළවී ඇති වර්තාවන්ට අනුව ඔහුගේ මෙහෙයවීම යටතේ එල්.ටී.ටී.ඊ. නෞකා හා යාත්‍රා 37 ට අධික ප්‍රමාණයක් පහර දී විනාශ කර තිබේ. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ.ය ට එරෙහිව අවසන් යුද ගැටුමේ දී හා ඊට ආසන්න කාල සීමාවේ දී නාවික හමුදාවට ඉතාමත්ම ශක්තියක් ලබාදුන් වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරමින් සතුරු යාත්‍රා හැත්තෑවකට අධික ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා නායකත්වය දුන් නිලධාරියෙකි. එකී සංග්‍රාමික ජීවිතයේ නිර්භීත මැදිහත්වීම් හේතුවෙන් රණශූර පදක්කම තුන් වාරයක් ද රණවික්‍රම පදක්කම පමණක් නොව වීරවික්‍රම විභූෂණ පදක්කමට ද හිමිකම් කියූ නිලධාරියෙකි. ඒ සියල්ලටම අමතරව ශ්‍රී ලංකාව වෙලාගෙන පැවැති ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හා සමස්ත ලෝක ප්‍රජාව ඒ තුළ ගොදුරුවීමට නියමිතව තිබූ අනතුර ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අර්ථ දැක්වූ නිලධාරියෙකි. රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකාවේ අභිනව නාවික හමුදාපතිවරයා ලෙස පත්කිරීම නිවැරදිම තීන්දුවක් ලෙස සැලකිය හැකි වන්නේ ඒ නිසාය.

සුනිල් ජයසේකර

Comments