යන්තම් ලන්ඩන් ඉවරයි 2019 ට ලයිස්තු හදමුද? | සිළුමිණ

යන්තම් ලන්ඩන් ඉවරයි 2019 ට ලයිස්තු හදමුද?

දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නිමා විය. ශ්‍රී ලංකා නියෝජනය සිවු දෙනකුට සීමා විය. එකී සහභාගිත්වය ම වටිනා බව කිව යුතුය. මන්දයත් කුමන හෝ අත්දැකීමක් සිය ක්‍රීඩා ජීවිතවලට එක්කර ගැනීමට මෙකී සිවු දෙනාට හැකි වූ බැවිනි. එහෙත් මැරතන් තරගවලට ඉදිරිපත් වූ අනුරාධ කුරේ, හිරුණි විජේරත්න තරගවත් නිම නොකළ අතර, මීටර් 800 ඉසව්වට ඉදිරිපත් වූ නිමාලි ලියනආරච්චි මූලික වටයේ 45 වැනි ස්ථානය හිමිකර ගනිද්දී, හෙල්ල විසිකිරීමේ ඉසව්වට ඉදිරිපත් වූ වරුණ ලක්ෂාන් මූලික වටයේදී 31 වැනියා විය.

2019 දහහත් වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දෝහා කටාර්හි පැවැත්වෙන අතර, දකුණු ආසියාව ජය ගැනීමට සැලසුමක් නැති බලධාරින් දැන් එකී තරගාවලියට සැලසුම් සකසනවා නිසැකය. මේ අතර රස මුසු කතා, විහිළු කතා, ඇඟ කිළිපොලා යන කතා. විකට කතාවලින් ද එකී සැලසුම් තව ටික දිනකින් සමාජගත වනු ඇත. ලාංකේය ක්‍රීඩාවේ සංවර්ධනයක් වේනම් එකී ජයග්‍රහණ රටේම ජයග්‍රහණ වනු ඇත. නමුත් සිදු නොවන එකම දෙය ද එයම පමණි. රටක මහා මාර්ග පද්ධතිය සංවර්ධනය නොවී, ගමනාගමනයේ දියුණුවක් අපේක්ෂා කළ නොහැක්කේ යම් සේද ඒ ආකාරයෙන්ම ක්‍රීඩාවේ සංවර්ධනයක් නොවී ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකිය.

මීළඟ ඔලිම්පික් උළෙල 2020 පැවැත්වෙන බැවින්, 2019 ලෝක ශූරතාවලියට දැන් සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තු සකසනු ඇත. ලාංකේය ක්‍රීඩාව ගිල ගෙන ඇති පතෝල චරිත වලින් කිසි දිනෙක වැඩක් නොවනු ඇත. ඔලිම්පික් ගත්ත ද ලෝක ශූරතාවලිය අදටත් කතා කිරීමට සිදුව තිබෙන්නේ ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ ගැන පමණි. ඇත්තටම සුසන්තිකාගේ ආලවට්ටම් කතා නොවන්නට ලාංකේය ක්‍රීඩා නිලධාරින්, බලධාරින් ඇදහිය යුතු චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වයිට් සහ සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් දෙක මෙන්ම ලෝක ශූරතාවලියේ සුසන්තිකාගේ පදක්කම් දෙක තුළ අදටත් අපට හිර වී සිටීමට සිදුවී තිබීම තුළ ලාංකේය ක්‍රීඩාවේ සංවර්ධනය ගැන සිතා ගැනීමට හෝ කතා කිරීමට අමුතුවෙන් වෙහෙස විය යුතු නොවේ.

පුහුණුවීම් කිරීමට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්වත් නොමැතිව, පුහුණුවීමට නොහැකිව ලතවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණයක් ඉල්ලීමට පෙර හරිහමන් ක්‍රීඩාංගණයක් ලබාදීම බලධාරීන්ගේ වගකීමය.

Comments