බැද්දේ පුසුඹ | සිළුමිණ

බැද්දේ පුසුඹ

“එක්ක කතත් බොක්ක වෙනස්...”

එදා අපේ දෙමහල්ලන් තම දූ දරුවන්ට දායාද කොට දුන්නේ, ‘බඩාත්තුව’ (ජීවනෝපාය මාර්ග) පිළිබඳ උපදේශනයක් පමණක් නොවේ. අත්දැකීම් ක්ෂේත්‍රයෙන් පිරි පැසි ඔවුන් සිය දරු දැරියන්ට තිළිණ කළ සමාජානුයෝගී දැනුම් සම්භාරය මනු සතුන්ගේ එදා - මෙදා - හෙට යන තුන් කාලයටම වලංගු වනු ඇති. ගමේ බිමේ අහල - පහල ඇවැතුම් - පැවතුම් සවිඤ්ඤාණකව පසක් කරගත් ගැමියාගේ නිවැරදි දැක්ම මානව හිතවාදිත්වය මුවහත් කැරෙන අනාවැකි ඔවුන් ඍජුවම සමාජගත කැරුමට සමති. ඒ සැමෙකක් ම ප්‍රථම කොට ස්වකීය දරුවන් සඳහා ඔවුන් දියත් කළේ ‘අනුමෙවෙනි දහමක්’ දෙසනු සෙයිනි. එමඟින් දරු දැරියන්ට එම දහම තම දිවිගමනට පෙර ගමන් කරුවකුම විය. එ‍නයින් දෙමහල්ලන් සෙයින් ම එදා බා පරපුර ද මිනිස් පුසුඹින් ම අනූන වූ සේ ය. එවන් පුසුඹකි මේ.

“මේ අහපං මයෙ පුතේ, “කුක්කගේ (බලු පැටියාගේ) ඇගේ නෙවැ ‘මැක්කා’ තුන් තිස් පැයේ ම ළඟින්නෙ.”

“ඔව් මයැප්පච්චී”

එහෙම ලැග්ගා කියලා උන් ‘බාන’ අතරේ ඇයි - හොඳයියක් තියෙනවද? නෑනෙ? නිතරෝම මැක්කා බලන්නේ කුක්කාගේ රීරිඉස්ම (රුධිරය) උරා බොන්ඩයි. ඒවාගේ කුක්කා මොකද කොරන්නෙ හැම ජාමෙම වලිකන්නේ (වෙරදරන්නේ) මැක්කා නහන්ඩමනේද?”

“හ්...ම්...”

“හොඳා... අර මුරුංගා ගහට හේත්තු කොරලා තියෙන කෙක්කෙන් නෙවැ යමක් කඩා වඩා ගන්නෙ. එහෙනං මේ බාල්දියෙ කොක්කෙන් ඇහැකි ද මොනා හරි කඩාගන්ඩ...?”

“කොහොමටවත් බැරුවා අප්පච්චි...”

ඒ වාගෙම ඔය කොක්කෙන් කොරනක දේවල් කෙක්කෙනුත් බැරුවා. කෙක්කෙන් කොරන දේ කොක්කෙනුත් බැරුවා. ඒ හින්දා ඔය කියපු දෙකේ ම වැඩ එකේකට හුරුපරස්මයි. (වෙනස්)

“හැබෑනේන්නං මයැප්පච්චී.”

“හරි... හරී... ඒනං මේ කාරිණේ පපු බිස්සට (හිතට) ගනිං කො. ඔය ‘ලොක්කෝ’ කියන මහා ලොකු ‘ටානාන්තර කාරයො’ (නිල තල දරන්නෝ) ඒවාගේම හැම දේම වකාරෙට තියෙන (බොහෝ ඇති) ‘බලබෝ උන්දැලා (බලවතුන්) කොයිම වෙලාවක හරි මොකද හිතන්නේ පතන්නේ කියලා බොව දන්නවා යි?

“ම්... හ්... ග්...”

“ඉන්දා... බොල... ඒකවත් දන්නැතැයි?” හෙනං (එසේ නම්) කදිමට ‘මොළේ කුලප්පු කොරගන්නැතුව මේ ඩිංගිත්තත් කනේ වට්ටා ගනින්කො. (අසාගනිං)”

“ඔව්... අ...ප්...ප...චී....‍”

“ඔය කියාපු අංකුරෝ බානගෙම ‘පපු මදේ’ පෙරළිකොරන්නේ (හිතන්නේ, දඟලන්නේ) තමුන් ඉන්න තැනට වැඩිය ලොකු කොමක් (‍උසස් තත්ත්වයක්) තුරුලු බුරුලු කොර ගන්ඩ නෙවැ.

“හැ...බෑ...ව...යි... මගෙ අප්පච්චී...”

“ඕන්න ඔය කාරිණා තුනම ආයි ඔලුගෙඩියේ පැලකොර ගනිංකො... (සිහියට ගන්න) මුලින් ම මං කීවෙ ‘කුක්කයි’ ‘මැක්කයි’, කොයිම දොහකවත් ‘ගැලතෙන්නේ’ (සමවෙන්නේ) නෑනෙ...?”

“ඇයි අ...ප්...ප...චී... ‘කෙක්කයි,’ ‘කොක්කයි’ දෙ‍ෙකත් වැඩ දෙසාදියක්නෙ. (දෙවිධියක්ය)”

“හරි... පුතේ බොව හරි. අර මං කියාපු ලොක්කගෙයි බක්කගෙයි උනත් ‍එකේකා ‘උත්ත නච්චි වෙන්නෙ (උත්සුක වන්නේ) එකෙකු අනිත් එකාට ඉහළින් ඉඩනෙවැ.”

“ඒක හරි... ඒක හරි... ඔය බානගෙම හිතේ තියෙන්නෙ මහ කොට ‘බඩජාරි කොමක් (තණ්හාවක්) මිසක්කා වෙන දොළදුක් ගායක් නෙවෙයිනෙ. හැබැයි ඒකලා දෙන්න ගේම පිටෝපේ නං පණදෙන්ඩ වාගෙයිනෙ.

“බොව ඔය කාරිණා ඔළුවට ගත්තු එක කදිමයි‍ මගෙ පුතේ.

“‍එතකොට මයැප්පච්චි මෙතුවක් වෙලා (මෙතෙක් ඔය කැරිණ. මයෙ කන්බෙරේ ගැහැව්වේ මොකටැ කියලා මට තවම හිත්ලන්ඩ (සිතන්නට) බැරුවා...”

“හොඳා... හොඳා... එහෙනං මේ ‘ටිකිත්තත්’ (ටිකත්) හිතා මතා පං කො. (සිතන්න)

“ම්... කො... යි... ටිකිත්තද මයැප්පච්චී...?

මේං මේ දේ. ඔබයි... මායි. එක හැළි වළන්වල බත් මාළු පිනි. එකම පිඟානකට බෙදා හදාගෙන, මං අනලා දෙන කෑම මං විහින් බොට කවනවා. බොව අනලා දෙන කෑම බොව විහින් මට කවනවා. මෙහෙම කවන කොට මං බොට කවන කෑම බොගෙ කොහාටද යන්නේ මගේ පුතේ.”

ඉන්දා මයැප්පච්චීමට කවන කෑම යන්නේ මයෙ ‘බොක්කට’ (උදරයට) වාගේ ම මං අප්පච්චීට කවන කෑම යන්නේ අප්පච්චීගේ බොක්කට මිසක්කා වෙන කොහාටැයි. දෙන්නා එකට කවා ගත්තත් යන්නේ බොකු දෙකකට මයි.

“ආන්න හරි... ඕක තමයි මගෙ පැටියෝ, අපේ මුත්තලාගේ ඉඳන් ම මේ වෙනකං ම අපට කියලා දුන්න, හරිම පංකාදු උපහැරණේ... ඒ කියන්නේ,

“එක්ක කතත් බොක්ක වෙනස්” කියලා...”

අ...ප්...පා... කදිමම... කදිම... උපහැරණේ තමයි ඒක.

“හැ...බැ...යි... පුතෝ ඔය උපහැරණේ එදා උන්දැලා කීවේ බොකුවලටම” නෙවෙයි ඕං හරිද...”

“හෙනං... ම...යැ... ප්...පච්චී...”

පරාණේ වාගේ, ඇස් දෙක වාගේ හිතලා ඇස්සරේ කොරන (ආශ්‍රය කරන) කාගේ උනත්, හිත් පිත් එකේකාට වෙනස්මයි. උන්දැලා හිත් පිත් හැම දොහේම වහං කොරගෙන තමයි පණ දෙන්ඩ වාගේ ඇගෑලුං කං පාන්නෙ.

“හැ..බෑ...ට...?”

හ්ම්... ඒ හින්දා සිත් දැනගෙන අතේ දුරට ඇස්සරේ කොරපං... මගෙ පුතේ... අද කට පුර‍ා හිනැහෙන උන් හෙට බොගෙ දෑහේ කඳුලු ඇහැර වන බව පපුවේ කොටා ගනිං... ඒකොරලා හිටං කවුරු කවුරුත් ඇස්සරේ කොරාපං... නැත්තං අද බොට ‘පැණි’ බෙච්චි උන් හෙට බොට ‘ගිනි’ කඩන බව ඉර හඳ වාගේ විශ්වාසයි ඕං...

අදහස්