වයස තිස් එකට ජීවිත තිස් එකක් | Page 2 | සිළුමිණ

වයස තිස් එකට ජීවිත තිස් එකක්

 වෙනදාට මුහුදෙන් මතුවී පෙනෙන ගිරාගල, නිල්වලාවෙන් ගලා ආ මහා ජලකඳ හේතුවෙන් අඩකටත් වඩා වැසී තිබිණ. ගොඩබිම සූරාගෙන ආ ජලධාරාව ඒ හා සමාන ප්‍රමාණයෙන් ගෙන ආ කැළිකසල සාගරයේ සැලකිය යුතු ඉඩක පැතිරී තිබුණේ මඩ කුඹුරක වී ඉස්සාක් මෙනි. සුනිල්ට වෙරළ තීරයේ මීටර් පන්සීයක පමණ දුරක් දිව යෑමට සිදුව තිබුණේ මුහුදේ ගිලෙමින් සිටි මිනිසුන් ගිරාගලටත් එපිටින් සිටින බවට අසන්නට ලැබුණු නිසාවෙනි.

ඔහු එතැනට ළඟා වන විට දියේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනා අසල්වාසීන් විසින් බේරාගෙන හමාරය. එහෙත් ජීවිත බේරා ගැනීමට ගිය තවත් එක් මිනිසෙකු ගොඩබිම කරා පීනාගත නොහී ජීවියත් මරණයත් අතර සටනක නියැලෙනු සුනිල් දුටුවේය. ජීවිත බේරා ගැනීම ඔහුගේ රැකියාවය. එහෙත් රැකියාවට ජීවිත බේරා ගැනීම එතරම් පහසු නැත. එසේ කරන සෑම අවස්ථාවකදීම පාහේ තමන්ගේ ජීවිතය පරදුවට තැබිය යුතුය.

සුනිල් දෙවරක් සිතුවේ නැත. වියරු වී පෙරළෙන රළ පහර මැදට පැන්නේය.ගිරාගල මැදි කරමින් ගලා යන දියවැලේ සැඩපහර තමන් තවත් දියඹට අදිනු ඔහුට හොඳින්ම දැනුනේය. කේසේ හෝ දියඹේ ගසාගෙන යමින් සිටි පුද්ගලයා වෙත ගිය සුනිල් ඔහුද තම සිරුරට ඈඳාගෙන යළි ගොඩබිම බලා පිහිනීමට වෙර දැරුවේය. එය තමා සිතනා තරම් පහසු නොවන බව පළමු තත්ත්පර කිහිපයේදීම ඔහු වටහා ගත්තේය. මොහොතින් මොහොත මහා දියකඳ ඔහු සයුරේ ඈතට ඈතට ඇද දැමුවේ අභියෝගයක් පමණක් නොව ජීවිත ආශාවද මතු කරමිනි. එපමණක්ද නොව ගොඩබිම සිට ගලා එන මහා දියකඳ ‍මුහුදට ගෙනවුත් දමන සුන්බුන් අතරින් කුමක් හෝ සිරුරේ හෝ හිසේ ගැටුණේ නම් එතැනින් තම ගමන අවසන් වනු ඇත. මඳින් මඳ සිරුරේ වෙර සිඳී ගියද ඔහු තම සිහිය අවුල් කර නොගත්තේය. දැන් ගොඩබිමට ඒමට නම් කෙසේ හෝ දියවැලෙන් පිටවිය යුතුය. ඒ සඳහා කළ යුතු එකම දෙය නම් ගිරාගල වටා පිහිණීමය. ඒ නිකම් ‍නොවේ. තවත් ජීවිතයක්ද ඇදගෙනය. සුනිල් තම අරමුණ ක්‍රියාවට නැංවූයේය. 

අවසන ගිරා ගල වටා පිහිනා තවත් ජීවිතයක් සමග තම ජීවිතයද බේරාගෙන යළි ගොඩබිම මත පය තබන විට පැය දෙකකට ආසන්න කාලයක් ගතවී තිබිණ.

මැදිරිගිරියේ උපන් සුනිල් ප්‍රියන්ත කුමාර පොලොන්නරුව මහින්ද මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වූයේය. උසස් අධ්‍යාපනයට යොමු වීමට හිතක් නැති වූයෙන් ප්‍රදේශයේම ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට එක් වූයේය. එහෙත් එතැනද තමන්ගේ තැන නොවන බව වැඩිකල් නොගොස්ම වටහා ගත් සුනිල් තම ජීවිතයේ අරමුණ සොයා නාවික හමුදාවට එක්වූයේය. එසේ එක්වී වසර හයක් ගතවූ තැන තමන් මෙලොවට බිහිව සිටින්නේ ජීවිත බේරා ගැනීමට බව සුනිල් වටහා ගත්තේය. ඒ ජීවිතාරක්ෂකයකු ලෙස වෙරළාරක්ෂක බලකායට එක්වීමෙන් පසුවය.

එතැන් සිට සුනිල් ගේ දහදිය මහන්සියෙන් ‍ බේරා ගත් ජීවිත සංඛ්‍යාව හරියටම ඔහුට මතකය. ඒ සංඛ්‍යාව හරියටම සුනිල්ගේ වයසට සමානය. තිස් එක් හැවිරිදි සුනිල් මේ වන විට ජීවිත තිස් එකක් බේරාගෙන අවසන්ය. බටුබැද්දේ පන්තියේ ගෙදර සුනිල් ප්‍රියන්ත කුමාර තමා ‍දැනට ජීවත් වූ එක් වසරකට එක් මිනිස් ජීවිතයක් ලෙස හිලව් කර අවසන්ය.

මොලොව පවතින බොහෝ දේ අගනා යැයි බොහෝ දෙනා තම තම නැණ පමණින් සිතන්නෝය. ඒ ඇතැමෙක්ට රන් ය. තවකෙක්ට රිදී ය. තවකෙක්ට යාන වාහනය. එහෙත් ඒ සියල්ලට වඩා තම ජීවිතය වටින්නේ යැයි සක්සුදක් සේ දැනගන්නට නම් ජීවිතය අහිමි වීමේ එළිපත්තටම පැමිණිය යුතුය. මරණයේ රස තොලග දැවටිය යුතුය. එසේ වන් වූ මොහොතක තම ජීවිතය බේරා ගන්නා, තමාට තවදුරටත් ආස්වාස ප්‍රස්වාස කිරීමට අවස්ථාව සලසා දෙන පුද්ගලයා ජීවමාන දෙවිඳුන්ම වන්නේය. ඉතින් දැන් මෙලොව ජීවත් වන පුද්ගලයන් තිස් එක් දෙනෙකුට සුනිල් යනු ජීවමාන දෙවියන්ය.

එපමණක්ද නොවන්නේය. ජීවිතාරක්ෂකයකු ලෙස සුනිල්ගේ අත්දැකීම් පරාසය වඩාත් දීර්ඝ ඉසව් කරා ‍දිවෙන්නේය.

වරක් පානදුර මුහුදු තීරයේ ජීවිතාරක්ෂකයකු ලෙස සුනිල් රාජකාරියේ යෙදී සිටින්නේය. ජීවිතාරක්ෂකයකු නම් ජලයේද ගොඩබිමද යන්න ගැටලුවක් නොවන්නේය. හදිසියේම සුනිල් වෙත දිව ආ මිනිසුන් පිරිසක් පවසන්නේ කිසිවක් පානය කළ තරුණයකු මාර්ගය අයිනේ වැටී සිටින බවයි. තම රාජකාරියේ වගකීම සිහිපත් කළ සුනිල් ඒ පිරිස සමග අදාළ ස්ථානයට යන්නේය. සැබෑවකි. තරුණයකු තමා වස පානය කළ බව කියමින් මාර්ගය අයිනේ වැටී සිටින්නේය. ඔහු අසලට නැඹුරු වුණු සුනිල් ඔහුට කතා කිරීමට උත්සාහ දරන්නේය. වස පානය කළ බව පවසන තරුණයා ඒ වන විට හොඳ සිහියෙන් පසුවන්නේය. රෝහල වෙත යෑමට කටයුතු සූදානම් කරන අතරම සුනිල් ඔහු හා කතාවට වෙර දරන්නේ ඔහු පානය කළ වස වර්ගය දැන ගැනීමටය. ඒ අනුව ඔහුට දැනගන්නට ලැබෙන්නේ වඩා වැඩි යමක් මිලදී ගැනීමට අතේ වූ මුදල් මඳ වූ බැවින් තරුණයා පානය කර ඇත්තේ වැසිකිළි සේදුම්කාරක දියරයක් බවයි. තරුණයාගේ තත්ත්වය භයානක නොවන බව වටහා ගත් සුනිල් සහ ඔහුගේ පිරිස තරුණයා කැටුව පානදුර වෙරළේ ඔවුන්ගේ නිවස්නයට යන්නේය. එහිදී ඔහු හා කතාබහට එක්වන මේ ජීවිතාරක්ෂක තරුණ කැලට අසා සිටීමට සිදුවන්නේ ස්වකීය ප්‍රේම සම්බන්ධතාවය බිඳී යෑම හේතුවෙන් දිවි නසාගැනීමට උත්සාහ ගත් පාසල් සිසුවකුගේ පාපොච්ඡාරණයකි. අවසන ජීවිතය කොතරම් වටින්නේ දැයි ජීවිතයේ එළිපත්ත මත සිටින මේ පාසල් සිසුවාට හැකිපමණින් වටහා දුන් සුනිල් ඇතුළු පිරිස ආහාර පානාදියෙන්ද සංග්‍රහ කර ඔහු යළි නිවෙස කරා ගොස් බාර දෙන්නේය.

මේ සුනිල්ගේ දහසකුත් අත්දැකීම් අතරින් කිහිපයක් පමණකි. සිය දිවි නසා ගැනීමට සුන්දර සයුර තෝරාගත් ජීවිත රාශියක් යළි ‍සුන්දර පොළොව මත දෙපයින් සිටුවන්නට සුනිල්ට හැකියාව ලැබෙන්නේ පෙර පිනකින්ම විය යුතුය.

ජීවිතයේ තවත් දිගු ගමනක් ඉදිරියේ තබා ගනිමින් සුනිල් තමා පැමිණී ගමන ආවර්ජනය කරන්නේය.

" මට මේ වගේ ජීවිත බේරා ගන්න වගේම, මගේ ජීවිතයටත් ආස කරන්න, සතුටෙන් ජිවත් වෙන්න ඉඩ ලැබුණේ මා ලැබූ පුහුණුව නිසයි. ඒ ජීවිතාරක්ෂක පුහුණුව මගේ ජීවිතය වෙනස්ම පැතිකඩකට යොමු කළා. මම පාසල් යන කාලේ හිතුවෙවත් නැති ජීවිතයක් අද මට උරුම වෙලා තියෙන්නේ. ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. අපිව මොන අතකට යොමු කරයිද කියලා අපි දන්නේ නැහැ. අපි කළ යුත්තේ ජීවිතයට ඉඩ දෙන එක විතරයි."

සුනිල් පවසන්නේය. ඉදින් ජීවිතයට විනාස කර ගැනීම පහසු යැයි ඔබ සිතනු ඇත. සුනිල් කී දේ අසා සිටි මා ඔබට විරුද්ධ වන්නේ නැත. එහෙත් මා යළි ඔබට පවසන්නේ සුනිල් මට පැවසු පරිදි ජීවිතයට අවස්ථාවක් දෙන්නැයි කියාය. එලෙස ඔබ ලබා දෙන අවස්ථාව මත ජීවිතය ඔබට ඔබ නොසිතූ නොපැතූ බොහෝ දේ ලබා දෙනු ඇත.

ස්තූතිය
අද්මිරාල් සමන්ත විමලතුංග මහතා,
කමාන්ඩර් බුද්ධික ඉඳිකැටිය මහතා සහ නාවික හමුදා මාධ්‍ය අංශය

ටිරෝනි වෑවලගේ

Comments