අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක් දොර ගාවින් ඉස්සරහට යමු... | සිළුමිණ

අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක් දොර ගාවින් ඉස්සරහට යමු...

 සැමන් ටින් එකක් ඇතුළෙ ඉන්නකොට මාළුවෙක්ට දැනෙන හැගීම මොකක්ද කියලා හරියටම තේරුම් ගන්ඩ ඕන්නම් හොඳට සෙනඟ පිරුණු බස් එකකට නගින්නම ඕනෙ... බස් එකට නැග්ගා වගේ නෙමේ ඒකෙ ඉන්න කොන්දොස්තරගෙ කන්දොස්කිරියාව අහන් ඉන්ඩත් එපැයි... ඒ මදිවට බස් එකේ කන පැලෙන්න සින්දුත් දාලා නම් කන්දොස්කිරියාව ඩබල් වෙනවා... හැබැයි ඉතින් අහන් ඉන්ඩ පුළුවන් සින්දු දාපු බස් එකකට ගොඩ වෙන්ඩත් පෙර පිනක් තියෙන්ඩ ඕනෙ... ඔය අතරෙ කොන්දොස්තරගෙ කෑ ගැහිල්ලයි, බස් එකේ සින්දුයි එකට කලවම් වෙලා ඇහෙන වෙලාවලුත් නැත්තෙම නෑ...

බස් එක ඇතුළෙ කොච්චර සෙනඟ සිටියත් කොන්දට මිනිස්සුන්ව පේන්නෑ... මිනිහට පේන්නෙ බස් එක ඇතුළෙ හිස් කියලා... බස් එකේ කොච්චර සෙනඟ හිටියත් මිනිහා දොර ගාවට ගිහින් "උඩට නගින්න... උඩට නගින්න..." කියලා කෑගහන්නෙ නිකන් පුරුද්දට වගේ... ඔහොම කෑ ගහද්දි කොන්දොස්තරගෙ කටහඬ බස් එකේ සින්දුත් එක්ක කලවම් වෙලා ඇහෙන වෙලාවලුත් තියෙනව...

"හන්තානට පායන සඳ.. උඩට නගින්න... උඩට... උඩට..."

කොන්දොස්තරලට කොහොමත් දොර ගාව ඉන්න මිනිස්සු පෙන්නන්ඩ බෑ... ඉස්සර දොර ළඟ හිටියොත් දොර ගාව ඉන්ඩ එපා... පස්සට... පස්සට... පිටිපස්සෙ දොර ළඟ හිටියොත් දොර ගාව ඉන්ඩ එපා... ඉස්සරහට... ඉස්සරහට... එක දකිද්දි මට හිතෙන්නෙ මේ කොන්දොස්තර ඉඳගෙන ඉන්න මිනිස්සුන්වත් නැගිට්ටවලා "දොර ගාව ඉදන් ඉන්ඩ එපා... ගිහින් ඉස්සරහින් ඉඳගන්ඩ..." කියයි කියලා. හැබැයි කොන්දොස්තර කොච්චර කෑගැහුවත් බස් එකේ සින්දු නම් යනවා...

"අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්... දොර ගාවින් ඉස්සරහට යමු..."

බස්එකේ ඉදන් හිටපු කවුරු හරි නැගිටලා සීට්එකක් හිස් වෙච්ච ගමන් කොන්දොස්තර දොර ගාව ඉන්න මිනිස්සුන්ව එළවන්ඩ පටන් ගන්නවා... කොන්දොස්තර කොච්චර කෑගැහුවත් ඒ වෙලාවටත් බස් එකේ සින්දු යනවා...

"අපි ඈතට ඈතට පා නගලා... ඉඩ තියෙන තැන් බලලා වාඩිවෙන්ඩ..."

බස්එකේ කොච්චර සෙනඟ පිරිලා හිටියත් එක්කෙනෙක්ටවත් සල්ලි නොදී ඉන්ඩ නම් කොන්දා ඉඩතියන්නෑ... කොයි තරම් සෙනඟ ගොඩක් මැද්දෙ උණත් සෙනඟ ඉස්සරහට එළවගෙන මිනිහා එනවා...

"බාගෙට සැලුන් දොරින් රිංගා, මැද්දෙන් ඉස්සරහට යන්න... මැද්දෙන් ඉස්සරහට යන්ඩ..."

ඊළඟ සිද්ධිය තමයි මාරු සල්ලි දෙන එක... කොන්දොස්තරගෙ නීතිය තමයි හැමතිස්සෙම අපේ අතේ මාරු සල්ලි තියෙන්ඩ ඕනෙ කියන එකේ... මාරු සල්ලි නැත්තන් ඉතුරුත් නෑ... මිනිහා සල්ලි ගන්ඩ එන්නෙත් සින්දු මැද්දෙන් කෑගහගෙන...

"ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දිනයක මා පෙම් කරනා සඳ' මාරු සල්ලි ගන්ඩ..... කියා තිබේ..."

බස් එකෙන් කවුරු හරි බහිනවා ඇති... හෝල්ට් එකට දුර තියාම ආහපු කොන්දොස්තරගෙ කටහඬ ඇහෙනවා, සින්දු අතරින්...

"පෙර දිනයක මා පෙම් කළ යුවතිය' ඉස්සරහා හෝල්ට්එකෙන් බහිනවා..."

ළමයෙක් වඩාගත්ත අම්ම කෙනෙක් හරි වයසක ආච්චි කෙනෙක් හරි බස් එකට ගොඩ වුණු වෙලාවට තමයි කොන්දොස්තරගෙ කටහඬ ආයෙ ඇහෙනවා... ඒ වෙලාවටත් මිනිහා සින්දු අතරින් පුරුදු විදිහට කෑගහනවා...

"ඇහෙනවානම් සිත හඬන තරම්' ළඟ බහින කෙනෙක් සීට් එකක් දෙන්ඩ..."

බස්එකේ ඉස්සරහා දොරෙන් බහින එක ලේසි උණත් පිටිපස්සෙ දොරෙන් බහින එක නම් ලේසි නෑ... දොර ගාව සෙනඟ පිරිලා ඉන්න විදිහට පිටිපස්සෙ දොරෙන් බහිනවා කියන්නෙ කරන්ඩ අමාරු වැඩක් නෙමේ, කරන්ඩ බැරි වැඩක්... හැබැයි ඒ වෙලාවටත් සින්දු අතරින්ම කොන්දොස්තරගෙ හඬගෑම ඇහෙනවා...

"මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා... බැහැලා ඉඩදෙන්න... බැහැලා ඉඩදෙන්න..."

සචින්ත නාඔටුන්න

අදහස්