චිත්‍ර කතා­වට අභි­යෝ­ගය රූප­වා­හි­නිය නොවේ | සිළුමිණ

චිත්‍ර කතා­වට අභි­යෝ­ගය රූප­වා­හි­නිය නොවේ

• උපන් ගම?

කැලණිය.

* උප්පැන්නයේ නම?

අනුර සීසර් විජයවර්ධන.

• දෙමවුපියන්.

විජේසිංහ විජයවර්ධන මගෙ පියා. මගෙ මව මියුරි ක්ලේරා විජයවර්ධන.

• මුලින් ම අකුරු කළේ.

කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙන්.

• පවුලේ පිරිස.

අක්කලා දෙන්නයි; මල්ලිලා දෙන්නයි.

• ඔබ පාසල් යන අවධියේ කොයි වගේ චරිතයක් ද?

සාමාන්‍ය සිසුවෙක්.

• චිත්‍ර කලාවට ආසක්ත වීමට බලපෑ හේතු?

මගේ පියා මට බෙහෙවින් බලපෑවා! වෘත්තීය ලෙස නොකළත් ඔහු චිත්‍ර ශිල්පියෙක්.

• ඒ කියන්නේ...?

අපි කුඩා කාලයේ වෙසක් එකට ඔහුම චිත්‍ර ඇඳලා අපේ ගේ ඉදිරිපිට පුංචි තොරණක් පවා ගහනවා.

• කුඩා අවධියේ පටන් චිත්‍ර ශිල්පය පිළිබඳ හැඟීමක් හා කුසලතාවක් ඔබ තුළ තිබුණා?

ඔව්!

• මේ කුසලතාව වැඩි දියුණු කැර ගනිමින් ඔපවත් කැර ගැනීමට බලපෑවේ?

මගේ බාප්පා තාත්තගේ මල්ලී කරුණාරත්න විජයවර්ධන.

• ඒ කොහොමද?

ඔහු එවකට රජයේ කලායතනයේ මූර්ති ගුරුවරයෙක්. ඒ වගේ ම චිත්‍ර ශිල්පියෙක්. පාසල් අධ්‍යාපනයෙන් පසුව තාත්තාගේ ඉල්ලීමට ඔහු මාව රජයේ කලායතනයට ඇතුළු කළා.

• එහිදී...?

වසර පහක අධ්‍යාපනයෙන් පසුව සුදුසු රැකියාවක් ලැබෙන කල් මාමගෙ කඩේ කැෂියර් එකේ වැඩ කළා!

• ඒ කොහෙද?

කොළඹ කොටුවේ පරණ ටයිම්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට එතන මගේ දෛවය තීරණය කළා.

• දෛවය තීරණය කළා කිව්වේ?

එහිදී මට සුප්‍රකට කාටුන් ශිල්පී ජී.එස්. ප්‍රනාන්දු මහතා හඳුනාගැනීමට ලැබුණා. ඔහුට මම කාටුන් ඇදලා ගෙනත් දුන්නා.

• ඊට පස්සේ?

ඔහු මා ගැන බොහෝම පැහැදීමක් ඇති කර ගත් බව පෙනුණා. ඔහු මාව ඩී.බී. ධනපාලයන්ට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට සුසිල් ප්‍රේමරත්නයන්ට හඳුන්වා දුන්නා.

• ඔබේ ප්‍රථම චිත්‍ර කතාව?

‘මෝහිණී’ 1961 රසවාහිනි සඟරාවෙයි එය මිල වුණේ ධනපාල මහත්තයා තමයි එය පළ කළේ! එය එක කොටසකින් අවසන් වෙන චිත්‍ර කතාවක්.

• කොටස් වශයෙන් පළ වූ ප්‍රථම චිත්‍ර කතාව.

‘වනිතා විත්ති’ පත්‍රයේ පළ වූ ‘පුල්ලි සහ සේන’ ඒ 1960 දශකයේ මුල් කාලයේ.

• රැකියාව ලෙස චිත්‍ර කතා නිර්මාණය කිරීම තෝරා ගත්තා.

නෑ! ඒ ආදායම ජීවත්වෙන්න මදි.

• ඉතිං!

ජී.එස්. ප්‍රනාන්දු මහත්තයා මට ලියුමක් දුන්නා එකල විශාල ප්‍රචාරක ආයතනයක් වූ ‘වෝල්ටර් තොම්සන්’ එකට. මට එහි රැකියාවක් ලැබුණා.

• මොකක්ද රැකියාව.

මිනිස් රූප චිත්‍ර ශිල්පියෙක් ලෙස! පසුව මම ප්‍රචාරක ආයතන සියයකට ප්‍රධාන චිත්‍ර ශිල්පී හැටියටත් කටයුතු කළා.

• ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වෙන්නේ.

1960 දශකයේ අග භාගයේ නිදහස් චිත්‍රකතා ශිල්පියෙක් ලෙස.

• ඒ කාලයේ ජනප්‍රිය වුණේ?

1968 ‘සිළුමිණ’ පුවත්පතේ පළ වූ ‘මුදුමාරුව’ චිත්‍ර කතාව.

• ලේක්හවුස් ආයතනයේදී අත - හිත දුන්නේ?

බන්දුල සමරසිංහ මහතා එඩ්වින් ආරියදාස මහතා...!

• ‘චිත්‍ර කතා පත්‍ර’ සංකල්පය උපදින්නේ කොතනින්ද?

දවසක් මට බන්දුල කිව්වා ලේක්හවුස් සභාපති රන්ජිත් විජයවර්ධන මහත්තයට අවශ්‍ය වෙලා තියෙනවා චිත්‍ර කතා පොතක් මුද්‍රණය කරන්න කියලා.

* ඉතිං?

ඉතිං මම කිව්වා චිත්‍රකතා පොතක් නොවෙයි චිත්‍රකතා පත්‍රයක් කරමු කියලා.

• ඇයි ඔබ එක පාරටම එවැනි අදහසක් ඉදිරිපත් කළේ?

එතකොට ලෝකයේ බොහෝ රටවල චිත්‍රකතා පත්‍ර ජනප්‍රිය වෙලා තිබුණා.

• බන්දුල මහත්තයගෙ ප්‍රතිචාරය වුණේ?

ඔහු මේ අදහස සභාපතිතුමාට දන්වලා තිබුණා. ඒත් එතුමා එකපාරටම එකඟ වෙලා නෑ.

* පසුව?

ටික දවසක් ගියාට පසුව රන්ජිත් විජයවර්ධන මහතා එයට එකඟ වුණා. පසුව මටත් එන්න කියලා අපි සාකච්ඡා කළා.

• ඔබ ලේක්හවුස් ස්ථිර සේවකයෙක් නොවෙයිනේ! ඔබට කොහොමද එන්න කිව්වේ?

බන්දුල සහ එඩ්වින් ආරියදාස යන මහත්වරු මෙහි සම්බන්ධීකරණ කටයුතු කළා.

• සාකච්ඡාවේදී මොනවද වුණේ?‍

මම එහිදී ඇමෙරිකාවේ පළවෙන ‘හෝක්’ (උකුස්සා) කියන චිත්‍රකතා පත්‍රය පෙන්වා කරුණු පෙන්වා දුන්නා. විජයවර්ධන මහතා එයට වඩාත් පැහැදුණ බව පෙනුණා.

• ‘සතුට’ කියන නම දැම්මේ කවුද?

මගෙ මතකයේ හැටියට එඩ්වින් ආරියදාස මහතා.

• පළමු කර්තෘ?

බන්දුල සමරසිංහ මහතා

• ඔබේ දායකත්වය?

ප්‍රධාන චිත්‍ර ශිල්පී ලෙස කටයුතු කළා. ප්‍රථම කවර නිර්මාණය හා අනෙකුත් ශිල්පීන්ගේ චිත්‍ර සම්පූර්ණ කිරීම ඇතුළු වගකීම් පැවරුණා.”

• එතකොට ඔබේ ස්ථිර රැකියාව?

මම ‘වොල්ටර් තොම්සන්’ ප්‍රචාරක ආයතනයේ ප්‍රධාන චිත්‍ර ශිල්පී හැටියට සිටියදී තමයි මේ කටයුත්තට මැදිහත් වුණේ!

• මේ අවධියේ ඔබට නොයෙක් දෙසින් අවහිර හා බාධා කිරීම් එන්න ඇති.

මොකද නැත්තේ? සමහරු අවඥාවෙන් සිනහ වුණා. ‘බලමු කරන හැටි’ කියා.

• ඔවුනට දීපු උත්තරය?

උත්තරය තමයි පළමු පත්තරයම පිටපත් ලක්ෂයක් පැන අලෙවිවීම. පසුව එය දෙලක්ෂය දක්වා වර්ධනයවීම.

• ලේක්හවුසියට ස්ථිර රැකියාවට ආවේ?

බන්දුල හා ආරියදාස යන අයගේ ඉල්ලීමක් තිබුණා. ඒ අනුව මා ලේක්හවුසියට ආවා.

සිනමාවට නැඟුණ ඔබේ චිත්‍රකතා?

‍එකක් මධුර පත්‍රයේ පළ වූ ‘කැලෑ කෙල්ල’ බර්නාඩ් රෙජිනෝල්ඩ් අධ්‍යක්ෂණය කළා. එහි මාලනි, රවීන්ද්‍ර ප්‍රධාන චරිත රඟපෑවා.

• තව?

‘සෙවණැලි පිටුපස’ (දිනමිණ) ‘සම්පත් සොයා’ (මධුර) මේ කතා චිත්‍රපටගත කළත් ඒ අය මාව රැවට්ටුවා.

• ඔබේ චිත්‍රකතා අතරින් කැමැතිම?

මේඝ, කැලෑකෙල්ල...!

• අද චිත්‍රකතා පත්‍රවලට වෙළෙඳ පොළේ ඉල්ලුමක් නැති තරම්?

ඒකට වගකිව යුත්තේ චිත්‍රකතා ශිල්පීන්මයි. ගෙදරකට ගෙනහින් දරුවෝ එක්ක බලන්න බැරි තරමේ පහත් මට්ට‍මට එම ශිල්පය ගෙන යෑම පළමු හේතුවයි.

• අනෙක් හේතු?

මුද්‍රණ ගාස්තු ඉහළ යෑම එකම ආරක චිත්‍ර කතා නිර්මාණයවීම ආදී හේතු...

• රූපවාහිනී වැනි මාධ්‍යවල බලපෑම නිසා චිත්‍රකතා වෙළෙඳ පොළ ක්ෂය වුණා කිව්වොත්?

මා එය පිළිගන්නේ නෑ. ඇමෙරිකාව වැනි රටවල රූපවාහිනී මාධ්‍ය හරි ඉහළයි. ඒත් චිත්‍රකතා වෙළෙඳ පොළට හානියක් නෑ.

• තව පැහැදිලි කළොත්?

බලන්න ස්පයිඩර් මෑන්, බැට් මෑන් වැනි කතා අපේ රටෙත් ජනප්‍රියයි නේද?

ඒවා මුලින් ම චිත්‍රකතා! පසුව තමයි රූපවාහිනිය, සිනමාව වැනි මාධ්‍යයට ආවේ.

• ඔබ කියන්නේ අපේ ර‍ෙට් චිත්‍රකතා පත්‍රවලට තවම වෙළෙඳ පොළ තිබෙන බව ද?

සත්‍යවශයෙන් ම ඔව්! විෂය ගැන දැනුම තිබෙන සාහිත්‍ය, කලාව ගැන අවබෝධයක් තිබෙන චිත්‍රකතා ශිල්පීන්ගේ පත්‍රයකට වෙළෙඳ පොළ තිබෙනවා.

• ඔබේ පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි.

රත්නා හෙට්ටියකන්ද මගේ බිරිඳ. ඇය රත්නපුරයේ. අපි විවාහ වුණේ 1967 දී.

• දරුවන්?

සිවුදෙනයි. චින්තක, අනූෂා, චරිත් සහ පූර්ණිම සියලු දෙනා විවාහ වී සතුටින් සිටිනවා.

• ඔබේ නිර්මාණ කටයුතුවලදී බිරියගෙන් ලැබුණු සහය?

කියා නිම කළ නොහැකියි. ඔබ සිතන්න. දරුවන් පුංචි අවධියේ පටන් උදෑසන ගෙදරින් පිටවුණාම මා නැවත ගෙදර එන්නේ බොහෝ විට රාත්‍රිය දහය පසුවෙලා.

• ඇය ඒ සියල්ල නිසි කළමනාකරණය කළා?

සත්තකින් ම! අප එතරම්ම සේවයට කැපවීමෙන් කටයුතු කරන විට බිරිය දරුවන් ද මා වෙනුවෙන් කැපවුණා... ඒත්!

• ඇයි ඒත් කිව්වේ?

ඇය මීට වසර පහකට උඩදී ජීවිතයෙන් සමුගෙන යන්ට ගියා.

•* දැන් ඔබේ දවස ගෙවෙන්නේ?

මා නිතිපතා අලුයම පහයි තිහට අවදි වෙනවා. ගෙදර දොර අස්පස් කිරීම කැර උදෑසන ආහාර ගෙන අනෙක් කටයුතු සඳහා කාලය යොදා ගන්නව.

• ඔබ මෙහි තනියම?

මට ඉතාමත් හොඳ දරුවෝ ඉන්නේ. ඔවුන් මා ගැන නිරන්තරව සොයා බලනවා. ආහාර පාන පවා නියම වෙලාවට සකස් කැර එවනවා. නමුත් මගේ නිර්මාණ කටයුතුවලට මෙතැන නිදහස්.

• අද කලා ක්ෂේත්‍රයට පැමිණෙන තරුණ පරපුර ගැන යමක් කියන්න?

ඔවුන් මුදල් හා ජනප්‍රියත්වය පමණක් හඹා යන බවයි පෙනෙන්නේ!

දක්ෂකම තිබෙනවා කැපවීම අඩු බවකුත් පෙනෙනවා. 

අදහස්