සිනා කතා | සිළුමිණ

සිනා කතා

පාඩුවක් තමයි

“උඹලගෙ ලොක්කා පත්තරේකට කියලා තිබුණා නේද දැන් සිනමා කර්මාන්තෙ හොඳටම පිරිහිලා. පික්චර් හෝල්වල ආදායම බිංදුවට බැහැලයි කියල.” නාඔටුන්න සමඟ මීවිතක රස බලමින් සිටියදී සෙනෙවි කීවේය.

“ඉතින්...?” නාඔටුන්න ඊට ප්‍රතිචාර දැක්වූයේ ඕනෑවට එපාවට මෙනි.

“ඉතින් කියන්නෙ? ඒ මනුස්සයා උඹ වැඩ කරන ඔය පික්චර් හෝල් එක වහල දැම්මොත් උඹේ රස්සාවටත් තට්ටු වෙනවා නේද? ඒක උඹට පාඩුවක් නෙමෙයිද?” සෙනෙවි ඇසුවේ විස්මයෙනි.

“පාඩුවක් නං තමයි. මොකද මමනෙ අපෙ හෝල් එකේ බොක්ස් සීට් භාරව ඉන්නෙ. ඉතින් හැම ෂෝ එකකදීම බොක්ස් තියෙන පැත්තෙ කරක් ගහලා, ඒකෙ සිද්ධ වෙන දේවල් බලලා ගන්න ආතල් එක නැතිවෙන එකනං ලොකු පාඩුවක් තමයි.” නාඔටුන්න කීවේ බැරැරුම් හඬකිනි.

ඇහැක් පියෙව්වේ නැහැ

“යුෂ්මතා ටෙලි නාට්‍ය නිළියක් එක්ක හෝටලයකට ගිහින් මුළු රැයක් ඈ සමඟ නිදා ගත්තයි කියල ඔබේ නීත්‍යනුකූල බිරිය මේ උසාවියට පැමිණිලි කරලා තියෙනවා. යුෂ්මතාට ඒ ගැන මොනවද කියන්න තියෙන්නෙ?” විනිශ්චයකරු විත්ති කූඩුවේ සිටි තැනැත්තාගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා විමසුම් බැල්මක් හෙළමින් ඇසීය.

“ඕක අමූලික බොරුවක්නෙ ස්වාමිනි. මම එදා මුළු රෑම ඇහැක් පියෙව්වේ නැහැ.” විත්තිකරු කීවේය.

ඇත්තෙ කවුද?

“මේ කිට්ටුව කඩ මණ්ඩියේදී අද හවස මැරුණයි කියන මනුස්සයට දහ පොළකට විතර ඇනලලු නේද?” එක් ගම්මානයක සිදු කෙරුණු ටෙලි නාට්‍ය රූපගත කිරීමකදී ජයලාල් කීවේ එහි දර්ශනයක් සඳහා ඔහු වේශ නිරූපණයට බඳුන් කරමින් සිටියදීය.

“ඉතින්...” ඇනපු එකාව පොලීසියට භාර දුන්නලුද?” වේශ නිරූපණ ශිල්පියාගේ සහායකයකු වූ බන්දුල ලොකු උනන්දුවක් දක්වමින් වහා ඇසීය.

“උඹට ඔල්මාදෙද බන්දුල! කොහොමද යකෝ‍! හරකෙක්ව පොලීසියට භාර දෙන්නෙ?” ජයලාල් ඇසුවේ සමච්චල් සිනාවක් නඟමිනි.

දැනුත් ඒ වගෙ තමයි

“අපි ඉස්කෝලෙ යන කාලෙ ගමේ වත්තෙ පිටියේ, කුඹුරේ කමතේ හොඳට සෙල්ලම් කළා. ඇළේ, දොළේ ඇති වෙනකම් පීනුවා, නෑවා. බොහොම සැහැල්ලුවෙන් ඒ හැම දෙයක්ම වින්දා. ඒත් දැන් උඹලගෙ වැඩේම ඔය හෑන්ඩ් ෆෝන් එක දිහා අනිමිස ලෝචනයෙන් බලාගෙන ඒකට ඇන ඇන බලා ඉන්න එකනෙ.” සිරිපාල තම පුතා දෙස බලා කීවේ අවඥාවෙන් කට ඇද කරමිනි.

“ඉතින් තාත්තලා ඒ කාලෙ කරපු ඔක්කොම දේවල් දැන් අප පුටුවක් උඩ ඉඳගෙන මේකෙන් කරනවනෙ” චමින්ද සෝපහාසී සිනාවක් නඟමින් තම සෙලියුලර් දුරකථනයට ඇඟිල්ලක් දිගු කරමින් කීවේය.

අමූලික බොරු

“යුෂ්මතා මේ පැමිණිලිකාරියට හොඳටම තඩිබාලා ඈව ගෙයින් එළියට දැම්මයි කියල පැමිණිලි කරලා තියෙනවා. තමුන්ට ඒ ගැන නිදහසට යමක් කියන්ඩ තියෙනව ද?” පවුල් ආරවුලක් විභාගයට ගත් අවස්ථාවක විනිශ්චයකාරවරයා විත්ති කූඩුවේ සිටි තැනැත්තා දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසීය.

“ඔය කතා අමූලික බොරු හාමුදුරුවනේ. අනික ඔය ගෑනිගෙ නම පැමිණිලිකාරි නෙමෙයි, මැගිලින් නෝනා. ඒ විතරක් යැ, මම යුෂ්මතා නෙමෙයි, සියදෝරිස්.” විත්තිකරු හිස නමා පිළිතුරු දෙමින් කීවේය.

අදහස්