සාමාන්‍ය මිනිසුන් අසා­මාන්‍ය අව­ස්ථා­ව­ලදී මතු කරන ප්‍රහ­ස­නය පුද්ග­ලි­කයි රහ­සි­ග­තයි | Page 2 | සිළුමිණ

සාමාන්‍ය මිනිසුන් අසා­මාන්‍ය අව­ස්ථා­ව­ලදී මතු කරන ප්‍රහ­ස­නය පුද්ග­ලි­කයි රහ­සි­ග­තයි

පුද්ගලිකයි රහසිගතයි කියන්නේ අපේ වේදිකා නාට්‍ය ගොන්නට එක්වන අලුත්ම වේදිකා නාට්‍යයයි. මෙය ලබන 18 සහ 19 යන දිනවල බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වීමට නියමිතයි. ආදරය සහ විවාහය තේමාව කරගත් මෙම නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ආරියවංශ ධම්මගේ.

‘‘මෙය බ්‍රිතාන්‍ය ජාතික නොයෙල් ක්වාර්ඩ් ගේ පිටපතකට අනුව 1930 පළමුවෙන්ම Privete lives නමින් ලන්ඩන් වල නිෂ්පාදනය කරලා තිබෙනවා.ඒ වගේම ලෝකයේ රටවල් ගණනාවක මෙය නිෂ්පාදනය කරලා තිබෙනවා. ලෝරන්ස් ඔලිවියර්, රිචඩ් බර්ටන්, එළිසබෙත් ටේලර් වැනි ලොව ප්‍රසිද්ධ නළු නිළියන් පසු නිෂ්පාදන වල රඟපාලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි රටවල් ගණනාවක විවිධ සම්මාන වලට පාත්‍ර වෙලා තිබෙනවා.

මම කරන මෙම නිෂ්පාදනයේ පිටපත අනුවර්තන රචනය කළේ සමන් පුෂ්ප ලියනගේ.

මෙය අප අතරින් වෙන්වී ගිය බන්දුල විතානගේ අවසන් වරට කරන්නට හිටිය නාට්‍යයයි.ඇත්තටම ඔහු තමයි බ්‍රිතාන්‍ය ප්‍රහසන නාට්‍යය මෙහෙට හඳුන්වලා දුන්නේ. ඔහු සිහිකරීමක් හැටියට තමයි මෙම නිර්මාණය අප කළේ.

රෝමය ගිනිගනී පොතේ පෙර වදනේ ප්‍රහසනය කියන්නේ මොකක්ද කියලා සඳහන් වෙන්නේ මෙහෙමයි.

‘සාමාන්‍ය මිනිස්සු අසාමාන්‍ය අවස්ථාවලට මුහුණ දෙනකොට එතැන ප්‍රහසනය උපදිනවා‘

මෙම නාට්‍යයෙන් දක්නට ලැබෙන්නේ එවැනි සාමාන්‍ය මිනිස්සු සිව් දෙනෙක් අසාමාන්‍ය අවස්ථාවකදි මුහුණ දෙන සිදුවීම් සමූහයයි.

මෙම කතාවෙන් කියන්නේ විවාහ වී සිට දික්කසාද වූ දෙදෙනෙක් නැවත අලුතෙන් විවාහ වී එකම හෝටලයකට මධුසමය සඳහා පිටත්ව යාමෙන් පසු ඇතිවන තත්වයයි.

මෙම නාට්‍යයේ එක් විශේෂත්වයක් තමයි බයිලා චක්‍රවර්තී එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත 12ක් පමණ මෙහි සංගීතය හැටියට භාවිතා කිරීම. කැලිප්සෝ කණ්ඩායමක් මෙහි සජීවීව සංගීතය සපයන අතර සරත් ප්‍රනාන්දු එම ගීත සජීවිව ගායනා කරනවා.

හෙන්රි ජගත් චමිල

“පුද්ගලිකයි- රහසිගතයි නාට්‍යයේ සුවිශේෂත්වය තමයි මෙහි නිෂ්පාදන ශෛලිය සහභාගීත්ව නිෂ්පාදනයක් හැටියට මුල ඉඳන් තිබුණ එක. ඒ තුළ අපිට හරිම නිදහසක්, විනෝදයක්, අධ්‍යාපනයක් ලැබුණා. මේ නාට්‍ය සරල ප්‍රහසනයක් නෙමෙයි. ප්‍රහසන නාට්‍යයක් වුණාට ගැඹුරු අත්දැකීමක්. මෙය ලොව විශිෂ්ට නළු නිළියන් රඟපාපු නාට්‍යයක්. රංගන ශිල්පීන් හැටියට මේ නාට්‍ය රංගනය අභියෝගයක්. එය ජය ගැනීම අපේ වෑයමයි.ඒ අභියෝගය ජය ගන්න අපි එක කණ්ඩායමක් හැටියට කැපවීමෙන් වැඩ කළා. අගෝස්තු 18, 19 පුංචි තියටර් හිදී ඔබ අපේ වෑයමේ ප්‍රතිඵල දකින්න එයි කියල අපි බලාපොරොත්තු වෙනවා.”

මායා උමයංගනා වික්‍රමසිංහ

“අද අපි ගොඩක් කාර්ය බහුලයි. ඒ අතරෙදී විනෝදයක්, තෘප්තියක් ලබන්න පුළුවන් නාට්‍යයක් විදිහට මම පුද්ගලිකයි රහසිගතයි වේදිකා ප්‍රහසනය දකිනවා. මේ නාට්‍යය අපිට අපිවම දකින්න සලස්වනවා. ඒ වගේම මේ නාට්‍යයෙ ඉස්සරහට වෙන දේ හිතාගන්න බෑ. ඒ වගේම මේ නාට්‍යයේ තවත් සුවිශේෂි දෙයක් විදිහට මම දකින්නෙ එම්.එස්. ප්‍රනාන්දුගෙ ජනප්‍රිය ගීත සරත් ප්‍රනාන්දු විසින් ගායනය සිදු කිරීමයි. මම දන්න තරමින් වේදිකාවේ මෙතෙක් එවැනි රසවින්ඳනයක් හමුවෙලා නෑ. ගීත රසයට හානියක් නැතිව නාට්‍ය රස විඳින්න අපට හැකියාව මෙතුළින් ලැබෙනවා. ඒ නිසා මම පුද්ගලිකයි- රහසිගතයි නාට්‍යය දකින්නෙ රසවින්දනයට යම් පර්යේෂණාත්මක අත්දැකීමක් එකතුකරන ප්‍රහසනාත්මක නාට්‍යයක් ලෙසයි.”

අමන්දා වසන්ති රන්වල

“මම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ අවුරුදු 2කට පමණ පසුවයි. පුද්ගලිකයි-රහසිගතයි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබිලා තියෙනවා. මගෙ චරිතයෙ තියෙන බැරූරුම්කම තේරුම් ගන්න තව කාලය ලැබුණා නම් කියල හිතෙනවා. අමන්දාගෙ චරිතය විවෘත චරිතයක්. අමන්දා වැඩකරන විදිහ, හැසිරෙන විදිහ, හිතන විදිහ විවෘතයි. ඒ නිසා ඇතිවන ප්‍රශ්නවලට ඇය මුහුණ දෙන්නෙ කොහොමද කියන දේ මෙයින් නිරූපිතයි.

වික්ටර් සරත් කරුණාරත්න

“මම පසුගිය කාලෙම තියටර් වැඩවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ හැම එකකටම වඩා වෙනස් අත්දැකීමක් මේ නාට්‍යයෙන් මම ලබනවා. මේ නාට්‍යයේ වැඩ කෙරෙන්නෙ අලුත් විදිහට. මේ නිසා පසුගිය කාලේ නාට්‍යය වලින් ලබපු අත්දැකීම්වලට වඩා මේ නාට්‍යයෙන් ලබන අත්දැකීම් වෙනස්.

පුද්ගලිකයි- රහසිගතයි නාට්‍යය තුළින් මිනිස් ජීවිතවල පෞද්ගලිකත්වය හා මනුෂ්‍ය සබඳතා ගැන ගැඹුරින් කතා කරනවා.හාස්‍ය වගේම අලුත් අත්දැකීමකුත් එකතු කරනවා. මම හිතන්නෙ මේ නාට්‍යය හැමෝම බැලිය යුතුයි කියලා.”

සංගීතය අධ්‍යක්ෂක- සරත් ප්‍රනාන්දු

“මම සරත් ප්‍රනාන්දු. එම්.එස්. ප්‍රනාන්දු මගේ තාත්තා. පුද්ගලිකයි- රහසිගතයි වේදිකා නාට්‍ය ගැන කියන කොට මට දැනුණා තාත්තගෙ ගීතයි, මේ නාට්‍යයයි අතරේ යම් බැඳීමක් තියෙනවා කියලා. තාත්තගෙ ගීතවල ගැයෙන දේවල් මේ නාට්‍යයට හොඳට ගැළපුණා. ඒ වගේම පුද්ගලිකයි-

රහසිගතයි නාට්‍යයේ තේමා ගීතයේ සංගීත නිර්මාණය, ගීත ගායනය වගේම ගිටාරය වාදනය කළෙත් මම. මේ තේමා ගීතය රෙගේ ආකාරයේ ගීතයක් කියලා හඳුන්වන්න පුළුවන්. මං හිතනවා ලංකාවේ ප්‍රථම වතාවට පුද්ගලිකයි- රහසිගතයි නාට්‍යය ලොකු වෙනසක් ගෙනෙයි කියලා. මේ

නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම මගෙ ජීවිතේ අලුත්ම අත්දැකීමක්. මම ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ නාට්‍යයකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. මම ඉල්ලා සිටිනවා මගේ රසිකයින්ගෙනුත්, තාත්තගෙ රසිකයින්ගෙනුත් මේ නාට්‍ය බලන්න එන්න කියලා.”

නාට්‍යයේ නිෂ්පාදක- නිමල් රණවීර

“මම එක්ස්පෝට් ඩිවලොප්මන්ට් බෝඞ් එකේ වැඩ කළේ. 91’දී මම ධම්මගෙ නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක තමයි වේදිකා රංගනයට දායකවෙන්න මට ලැබුණු එකම අවස්ථාව. ඒ නිසා විශ්‍රාම යනතුරු මම බලාගෙන හිටියා ධම්ම සමඟ වේදිකා නාට්‍යකට සම්බන්ධ වෙන්න. මට ඒ අවස්ථාව ලැබුණා. පුද්ගලිකයි- රහසිගතයි නාට්‍යයට නිෂ්පාදනයෙන් සහය වෙන්න ලැබීම ගැන මම හුඟක් සතුටින් ඉන්නෙ. මේ දේ කරලා මැරුණත් කමක් නෑ කියලා මට වෙලාවකට හිතෙනවා.”

නාට්‍යයේ නිෂ්පාදිකා -“නිෂ්පාදකයෙක් හැටියට ‘පුද්ගලිකයි- රහසිගතයි’ ප්‍රහසනයට දායක වීමෙන් මම උපරිම සතුටක් ලබනවා. මේ වේදිකා ප්‍රහසනය තරුණ්‍යයටත්, මැදිවියටත්,මහලු වියටත් එකවර කතා කරන අන්දමේ අපූර්ව අත්දැකීමක්. ‘පුද්ගලිකයි- රහසිගතයි’ සතුටින් ඇවිත්. සතුටින් නරඹලා, සතුටින් විසිරිලා යන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතේ ගැන අපිටම යමක් තේරුම් ගන්න පුළුවන් ආකාරයේ නාට්‍යයක්.

විස්තර දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට එන්න.

https://www.facebook.com/privateandconfidential.lk 

Comments