ලංකේය දැල්පන්දුව තමරා ලියනගේද? | සිළුමිණ

ලංකේය දැල්පන්දුව තමරා ලියනගේද?

ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවට අත්වූ පරාජය පිළිබඳ සෙවීමට පත් කළ මිල්ටන් අමරසිංහ කමිටු වාර්තාව හරහා දිග හැරෙන්නේ ද, ලාංකේය දැල්පන්දුවේ කොණ්ඩාවලු පටලවා ගැනීමේ නිමක් නොවන සටනක තවත් දිගුවක් පමණි. එම තරගාවලිය පමණක් නොව ඊට පසු පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලිය අතරතුරේදී කණ්ඩායම පුහුණුකරන තැන් පටන්ම නිලධාරිනියන් කටයුතු කළේ වන් මෑන් ෂෝවලට පණපොවමින්ය.

අපි නැවතත් මිල්ටන් අමරසිංහ කමිටු වාර්තාව දෙස හැරෙන්නේ නම් එහි පැහැදිලිවම සඳහන් වන්නේ පරාජයට හේතුව කණ්ඩායමේ අර්බූද බවත්, ඒ සඳහා පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තමරා ලියනගේ සෘජුවම වගකිවයුතු බවත්ය. ආසියානු කනිෂ්ඨ තරගාවලියේ පුහුණකාරිය වූ තමරා ලියනගේ, එකී තරගාවලියට පත් කළ නායිකාව වූ නදී ප්‍රනාන්දුව පිළිනොගෙන ඇයව විවේචනය කරමින් උපනායිකාව වූ සචිනි හිරුනිකාව ඉදිරියට ගැනීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් කියැවෙයි. මෙහිදී මූලිකම ගැටලුව වන්නේ මෙකී අර්බූද ඉදිරියේ දැල්පන්දු සංගමය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලාංකේය ක්‍රීඩාවේ පාලකයා වන ක්‍රීඩා අමාත්‍යාංශය නැළෙව්වේ කාවද යන්නයි. මේ සියල්ලන්ටම ඉහළින් තමරා ලියනගේ සිටියේ නම් ගැටලුවක් නැත. මන්දයත් තේරීම් කමිටුව නම් කළ නායිකාව වූ නදී ප්‍රනාන්දුට එරෙහිව වුවද කැරලි ගැසීමේ හැකියාවක් තමරා ලියනගේට තිබෙන බැවිනි. සියලු ගැටලු මතුවූයේ සචිනි හිරුනිකා මුල්කරගෙන බව රහසක් නොවේ. දැල්පන්දු සංගමය කළ පරික්ෂණය ඉදිරියේ සචිනිට සෘජුවම චෝදනා එල්ල විය. සචිනිට දඬුවම් දිය යුතු යැයි ක්‍රීඩා ඇමැතිවරයාට පවා නිර්දේශ ඉදිරිපත් විය. එසේ තිබියේදී මෙකී වාර්තාවේ ක්‍රීඩිකාවන් මෙයට වගකිවයුතු නැතැයි කීම හරහා සමාජගත වන පණිවිඩය එතරම් ම සුබදායක නොවන බව කිවයුතු නොවේ.

මේ කිසිවක් වියුක්ත ලෙස ගෙන කතා කිරීම හෝ විසඳුම් සෙවීම ඵල ඇති දෙයක් නොවන බව පැහැදිලිය. ලාංකේය දැල්පන්දු ක්‍රීඩාව බොහෝ කාලයක පටන්ම තම තමන්ගේ බූදල් ලෙස සලකා කටයුතු කරන්නට යාම තුළ නිරන්තරයෙන්ම ඇති වූයේ ගඳගසන මහා කුණු කඳු පමණි. ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියෙන් පසුව ලාංකේය දැල්පන්දු ක්‍රීඩාව මොන තරම් කුණු වී ඕජස් ගලන තැනකට වැටී ඇද්ද යන්න මිල්ටන් අමරසිංහ වාර්තාව හරහා පැහැදිලිය.

නායකත්වය ගැන ප්‍රශ්න මතු වී එය නොලැබුණු විට ජාතික කණ්ඩායම පරාජය කිරීමට කල්ලි ගැසීම දක්වා තොරතුරු හෙළිදරව් වී තිබියදීත්, ඒවාට දඬුවම් නොමැතිනම් විනය ගැන කවර කතා ද යන්න ඇසිය යුතු නොවේ.

පරිපාලනයට කල්ලි ගැසූ පිරිස් සිටි, අදටත් එහි අඩුවක් නැති ලාංකේය දැල් පන්දුවේ ජාතික කණ්ඩායම පරාජය වනතෙක් ඇඟිලි ගැනපු ක්‍රීඩිකාවන් දක්වා වර්ධනය වීම තුළ කියාපාන කුහකත්වය, කා සඳහා කුමක් වෙනුවෙන් ද යන්න බලධාරින් සොයා බැලිය යුතුය.

මේවාට දඬුවම් දීමට ද නිලධාරීන්ට කොන්දක් තිබිය යුතුය. එය එසේ නොවුණහොත් හෙට දැල් පන්දුවේ පමණක් නොව, වෙනත් ක්‍රීඩාවක වුවද විනය ගැන කියා දෙන පාඩම හෑල්ලුවට ලක්වනු වැලැක්විය නොහැකිය.

අදහස්