එකල්හි කොටියෝ සහ සිංහයෝ | සිළුමිණ

එකල්හි කොටියෝ සහ සිංහයෝ

ජාතීන් කිහිපයක් ජීවත්වන රටක භාෂාමය හා සංස්කෘතික වශයෙන් ඇති පොදු ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් කටයුත්තකි. ජාතීන් වශයෙන් භේද භින්නතා ඇතිවීම වැළැක්වීමට ද අන්‍යොන්‍ය අවබෝධය සහ ළැදියාවන් වර්ධනය කිරීමට ද එය බලපානු නිසැක ය. වාර්ගික ආතතීන් සහ ගැටුම් සමනය කිරීමේදී මෙය වැදගත් සාධකයකි. මෙය අයත් වන්නේ අන්තර් සංස්කෘතික අධ්‍යයනය නම් ව‍ූ විෂය ක්ෂේත්‍රයට ය. උසස් ගැඹුරු සාහිත්‍යයක් පවතින රටක නිර්මාණකරුවන් අතින් මේ කාරිය මනාව ඉෂ්ට වෙයි. නිර්මාණකරුවන්ට අමතර ව සමාජීය හා සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රවල ශාස්ත්‍ර ගවේෂකයන්ගෙන් ද මේ වගකීම ඉටුවේ.

‘මිතුරෝ’ යොවුන් නවකතාව ලිය‍ූ දෙනගම සිරිවර්ධන සිංහල සාහිත්‍යකරුවන් අතරින් මේ පිළිබඳ සංවේදී වූ නිර්මාණකරුවකු ලෙස හඳුනා ගත හැකි ය. තව බොහෝ අය සිටිති. මාගේ උත්සාහය ඔවුන් පිළිබඳ සාකච්ඡා කිරීම නොවේ. ශාස්ත්‍ර ගවේෂකයන්ගේ ක්ෂේත්‍රයෙහි මේ පිළිබඳව ඇති උනන්දුව විද්වතකුගේ ලේඛනයක් ඇසුරෙන් පරීක්ෂාවට ලක් කිරීම ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන පීඨයේ මහාචාර්ය ව සිටි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ අනුරාධ සෙනෙවිරත්න ලියූ ‘එකල්හි සිංහයෝ ද කොටියෝ ද මෙසේ ජීවත්වූ හ” නමින් යුත් නිබන්ධය මගේ අවධානයට ‍ලක් වෙයි. මෙය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි සේවය කරන සමයේ ඔහු කළ දේශනයක පිටපතකි. The Lion and The Tigers මැයෙන් එය ලන්ඩනයේදී පළ කෙරිණ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන වර්ගවල අනන්‍යතා සහ පොදු ලක්ෂණ සැලකිල්ලට ගනිමින් අගනා නිරීක්ෂණ කිහිපයක් ඔහු ඉදිරිපත් කරයි. මෙබඳු අධ්‍යයන මෙරට විශ්වවිද්‍යාලවලින් වර්තමානයෙහි සිදු නොකෙරේ. එසේ හෙයින් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ඇතුළු අදීන උගතුන්ගේ කාර්ය භාරය මෙහිදී කැපී පෙනේ.

මහාචාර්ය සෙනෙවිරත්නයෝ තම නිබන්ධයෙහි මෙසේ සඳහන් කරති.

“ඉන්දියාවෙහි දී මෙන් ම ශ්‍රී ලංකාවෙහි දීත් මිනිසුන් ආර්යයන් හා ද්‍රවිඩයන් ලෙසට වාර්ගික වශයෙන් බෙදා දක්වති. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයෙහි ජීවත්වන සිංහලයන් ආර්යයන් වශයෙන් හඳුන්වනු ලබන අතර උතුරු ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ ජනයා ද්‍රවිඩයන් ලෙසට හඳුන්වනු ලැබේ. එහෙත් මේ බෙදීම ශාස්ත්‍රීය පදනමක් මත කෙරෙන විග්‍රහයක් නොවන, බව පෙනෙන්නේ ආර්ය සහ ද්‍රවිඩ යන වචන යුගලයි වාග් විද්‍යාත්මකව භාෂා ප්‍රභේදයන් දෙකක් පමණක් හඟවන බැවිනි.”

මහාචාර්යවරයා සඳහන් කරන මේ අශාස්ත්‍රීය බෙදීම බොහෝ උගතුන් ශාස්ත්‍රීය බෙදීමක් හැටියට භාවිතයට ගනු පෙනේ. මෙය විසකුරු ජාතිවාදී අදහස් වැපිරීම සඳහා භාවිතයට ගැනීම ජනවාර්ගික ගැටුම්වලට තුඩු දෙන චින්තනයක් නිර්මාණය කරයි. ජාතියේ මහා සරසවිය යැයි හඳුන්වන ‘දොරමඬලාව’ දක්ෂ සන්නිවේදකයකු විසින් මෙහෙයවනු ලබන ජනප්‍රිය වැඩසටහනකි. සමාජ ප්‍රගතියට වැදගත් වන බොහෝ හොඳ දේවල් මෙන් ම කුණු කන්දල් සමාජගත කිරීම ද මෙයින් සිදුවූ බව නොකියා බැරි ය. විශේෂයෙන් ම පසුගිය පාලන සමයෙහි ද්‍රවිඩ ආර්ය විභේදනය නූතන ජනමනසට එන්නත් කළ ජේ.ආර්.පී. සූරියප්පෙරුම යනාදී විද්වතුන්ගේ අදහස් සමාජගත කිරීම සඳහා ‘දොරමඬලාව’ සහ ‘සිංහලයේ මහාවංශකතාව’ වැනි වැඩසටහන් සෑහෙන වැඩ කොටසක් ඉටු කළේ ය. මෙහි බලපෑම කෙතරම් බලවත් ද යත් ජාතිවාදයට එරෙහි දේශපාලන මතවාදයක් ජයග්‍රහණය කළ මොහොතක පවා දෘෂ්ටිවාදාත්මක අගතීන්ගෙන් සමාජය නිදහස් කර ගැනීමේ අභියෝගය බලගතු පවුරක් ව නැඟී සිටී.

“මට රූපවාහිනී චැනල්වලින් ඔය වැඩසටහන්වලට කතා කළා. මම ඉතිහාසඥයෙකු නොවන නිසා ප්‍රතික්ෂේප කළා. ඉතිහාසඥයො කියල ජාතියක් ඉතුරුවෙලා ඉන්නව ද කියන එකත් ප්‍රශ්නයක්” මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න වරක් මේ ලියුම්කරු සමඟ පැවසීය. අපේ රටේ ඉතිහාසඥයන් හැටියට පසුගිය අවධියෙහි ද වත්මනෙහි ද පෙනී සිටින ව්‍යාජ උගතුන්ගේ අශාස්ත්‍රීය හා විසකුරු අදහස්වලට වඩා වැදගත් අදහස් මහාචාර්ය සෙනෙවිරත්නයන්ගේ නිබන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු ජීවතුන් අතර නැතත් ඔහුගේ අදහස් සර්වකාලීන ය.

සිංහල බෞද්ධ උරුමයක් ලෙස ඇතැම් උගතුන් සීමා කර තිබෙන අටුවා සාහිත්‍යය එසේ නොවන බව ද සිංහල හා දෙමළ උගතුන්ගේ සම දායකත්වයෙන් පෝෂණය වූවක් බව මහාචාර්ය සෙනෙවිරත්න පෙන්වා දෙයි.

“වංස කතාවල බුද්ධඝෝෂ තෙරුන් උතුරු ඉන්දියානු වැසියකු ලෙසට සඳහන් කරන නමුත් මේ තෙරුන් වහන්සේ දකුණු ඉන්දියානු වැසියකු බව උන්වහන්සේ විසින් රචනා කරන ලද අටුවා ග්‍රන්ථවලින් මැනැවින් පිළිබිඹු වේ. ආන්ද්‍රා දේශයේ පැවති තෙළිඟු බස ව්‍යවහාර කළ තැනැත්තෙකු ලෙසට පෙනෙන උන් වහන්සේ නිසැක ලෙස ම ලෝකයේ සිටි අග්‍රගණ්‍ය බෞද්ධ පඬිවරයන්ගෙන් කෙනෙකි.” (37 පිටුව)

වත්මනෙහි සිංහල ජාතිවාදය පෝෂණය කරන උගත් භික්ෂ‍ූන් බෞද්ධ අටුවා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනය කිරීම මැනවැයි හැ‍ඟෙන්නේ මෙවිට ය.

මහාචාර්යවරයා මෙසේ ද සඳහන් කරයි.

“අපගේ ඓතිහාසික වාර්තාවලින් ද පිළිබිඹු වන ආකාරයට අද ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහලයන් මෙන් ම ද්‍රවිඩයන් ද තමන් උපතින් ම පිරිසුදු සිංහල හෝ පිරිසුදු ද්‍රවිඩ යනුවෙන් හඳුන්වා ගැනීමට තරම් සුදුස්සෝ නොවෙති. උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය වැනි පළාත්වල බහුතර ප්‍රදේශ‍යන්හි සිංහලයන් වූ කලී වැදි ජනයාගේ හා ද්‍රවිඩයන්ගේ මිශ්‍රණයකි. අනෙක් අතින් බලන විට ද්‍රවිඩයන් දකුණු ඉන්දියානු සොළී, පාණ්ඩ්‍ය සහ පල්ලව ලෙයින් සම්මිශ්‍රණය වී හැදුණු වැඩුණු ජාතියකි. අතීතයේ දී ඔවුන් සිංහලයන් සමඟ මිශ්‍රවූ අතර මෑතකදී මුස්ලිම් හා බර්ගර් ජනයා සමඟ ද මිශ්‍ර වී ඇත.‍‍..

... සිංහලයන්ට සහ ද්‍රවිඩයන්ට තම ඓතිහාසික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් එකට එකතුව ජීවත්වීමට ඇති මාර්ගයෙහි පදනම ලෙස අපට පෙනෙන්නේ සමගියෙන් විසීම පමණි. ම විසින් මීට පෙර අවධාරණය කළ පරිදි සංස්කෘතියට සහ ආගමට මෙම එක්සත් බව සඳහා පදනම සැපයිය හැකි ය‍.

“උදාර චරිතානන්තු වසුධෛ ව කුටුම්බකම්” යනුවෙන් මහා භාරතය සඳහන් කොට තිබෙන පරිදි ‍උදාර පුද්ගලයකුට මුළු ලොවම එක ම පවුලකි.”

(77 පිටුව)

මහාචාර්ය සෙනෙවිරත්න මේ නිබන්ධයෙහි දී සිංහල, දෙමළ හා අනෙකුත් ජාතීන් අතර සංස්කෘතික අනන්‍යතා සහ පොදු ලක්ෂණ පරීක්ෂාවට ලක් කරමින් එක්සත් රාජ්‍යයක් ගොඩනැගීමේ නූතන අභියෝගය පිළිබඳව ද කරුණු දක්වයි. ශාක්‍ය කෝලිය හටනෙහි දී තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් ‍වූවා මෙන් ම විසඳීමට අමාරු ගැටලුවකදී තුන් වැනි පාර්ශ්වයක මැදිහත්වීමේ නිවැරැදි බව අගයයි.

ලේඛකයා මේ නිබන්ධය සකස්කර ඇත්තේ 1999 දී ය. ලංකාව ‍යුද්ධයෙන් හෙම්බත්ව සිටි කාලයක ය. මෙය එදාටත් වඩා අදට වැදගත් වේ. ජාතික එක්සත්කම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහාය ලබා ගැනීම නයාට අඳු කොළ මෙන් දකින විද්වත්හු සහ ආගමික නායකයෝ දැනුදු මත මණ්ඩප අරා සිටිති. ජීවමාන ව සිටින මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ අන්තර් සංස්කෘතික අධ්‍යයන අහුමුලුවලට තල්ලු කර තිබේ. මහාචාර්ය ගනනාථ ඔබේසේකරගේ ශාස්ත්‍රීය අධ්‍යයන පිළිබඳ ව ද සිහි ගන්වමින් අනුරාධ සෙනෙවිරත්නයන්ගේ නිබන්ධය පිළිබඳ කරුණු දක්වන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දෙමළ සහ දකුණු ඉන්දීය අධ්‍යයන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ස්ටුවර්ට් බ්ලැක්බර්න් මෙසේ සඳහන් කරයි.

“බොහෝ උගතුනට සත්‍ය මාර්ගය ඔස්සේ ඉදිරියට යෑමට ඇති ප්‍රවේශයක් මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න විසින් විව‍ෘත කර දී තිබේ.”

අදහස්