මහ රැජනගේ තරුණ නායකයෝ | සිළුමිණ

මහ රැජනගේ තරුණ නායකයෝ

 රඛිත හා සෙනෙල් පසුගියදා ලංකාවට සුවිශේෂ කීර්තියක් අත්කර දුන්නේ වෙනදා මෙන් අන්තර්ජාතික තරගාවලි නියෝජනය කරමින් ලද ජයග්‍රහන නිසා නොවේ. සිය හැකියාවන් සමඟ තමන් ඉදිරියට පියමං කරනවාට වඩා සමාජයට මෙහෙවරක් කරන්නට සිය දෙඅත් දිගුකරමින් සුවිශාල සමාජ මෙහෙවරක් කළ රඛිත මෙන්ම සෙනෙල් අවසානයේ නතර වූයේ බකිංහැම් මාලිගාවෙන් ය.

ජීවිතයේ එළිපත්තේ සිටින මේ තරුණයන් දෙදෙනා පසුගියදා මහ රැජිනගේ දියමන්ති ජුබිලියේදි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ මහ රැජිනගේ තරුණ නායකයන් වීමේ සුවිශේෂ භාග්‍යයද හිමි කර ගනිමිණි. අවුරුදු 21ක් වැනි ලාබාල වයසකදි සිය වයසට වඩා බොහෝ දේ කරමින් ජත්‍යන්තරයට ගිය රඛිත මාලේවන නාලන්දයෙන් සිප් සතර හදාරා ඇත.

මේ වන විට ඇමරිකන් නැෂනල් කොලීජියේ වැඩිදුර අධ්‍යාපනය හදාරන රඛිත අන් සිසුන් පරයමින් වෙනත්ම ක්ෂේත්‍රයක් වෙත සිය මනස යොමු කළේ නාලන්දයේ අකුරු කරනා අවදියේ පටන්මය. පර්යෝෂණ මෙන්ම නව නිපැයුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ හෙයින් ඩෙංගු මෙන්ම වකුගඩු රෝගයන්ටද ස්ථීර ප්‍රතිකාර සොයාගන්නට ඔහුට හැකි විය. කුරුඳු තෙල් මෙන්ම පොළොස්වල වූ විශේෂ රසායනික සංඝටක වැඩි දියුණු කරමින් ඩෙංගු රෝගයේ රුධිර පට්ටිකා ක්‍රමයෙන් වැඩිකර ගන්නා ආකාරය රඛිතගේ මුල් පර්යේෂණයට අයත් විය. මෙය ලංකාවේ පැවැති විද්‍යා හා ඉංජිනේරු පර්යේෂණයේ පුථම ස්ථානය දිනාගත් අතර, අමෙරිකාවේ පැවති ලොව විශාලතම විද්‍යා හා ඉංජිනේරු පර්යේෂණ ප්‍රදර්ශනය නියෝජනය කරන්නටද සමත් විය.

රඛිතගේ දෙවැනි නිපැයුම වූයේ ලියුකේමියා සෛල මර්දනය සඳහා ලංකාවේ වැවෙන තේ ශාකයේ කොටස්, නැනෝ තාක්ෂණය භාවිතයෙන් විශේෂ ඖෂධයක් ලෙස සකස් කිරීමයි. මෙයත් පෙර සේම ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානයට පත් වූ අතර, ඉන්දුනීසියාවේ ජකර්තාහී පැවැති තරුණ විද්‍යාඥයින්ගේ ඔලිම්පියාඩ් තරඟාවලියේදි ලෝකඩ පදක්කමද ඉන් අනතුරුව ඔහු විසින් එච්අයිවී සඳහා කරන ලද නව නිපැයුමින් එම ඔලිම්පියාඩ් තරගාවලියෙන් රන් පදක්කමද දිනාගැනීමට සමත් විය. එසේම ලංකාවේ ප්‍රථම වරට නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් හි පැවති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියෙන් රන් පදක්කමක් උරුම කරගනිමින් රටට කිර්තියක් අත් කර දෙන්නටද රඛිතට හැකි විය.

මේ සියලු දේ අතරින් රඛිත මහ රැජිනගේ සම්මානයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු විසින් එච්අයිවී රෝගින් සඳහා කරන ලද සුවිශේෂ සමාජ මෙහෙවරය. පාසල් ගමනින් අනතුරුව රඛිත ‘යුනිකොම්‘ නමින් සංවිධානයක් පිහිටුවාගත්තේ ඒඩ්ස් රෝගීන්ගේ සමාජ තත්ත්වය වැඩි දියුණු කරගැනීමට මෙන්ම ඔවුනට අනාගතයක් තනන්නටය. එපමණක් නොව ‘ අයිඩියා නර්ට්‘ නමැති සංවිධානයක් පිහිටුවා ගනිමින් ලංකාවේ පාසල් සිසුන් පර්යේෂණ සඳහා යොමු කරවන්නටද රඛිත කටයුතු කරන්නේය.

කොළඹ ඩීඇස් සේනානායක විදුහලෙන් සිප් සතර හැදෑරු සෙනෙල් වන්නිආරච්චි පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසියේ අන්තර්ජාතික සබඳතා උපාධිය සම්පූර්ණ කරන්නටය. සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු සිය අවධානය වැඩි වශයෙන් යොමු කළේ සමාජයට යමක් කරන්නටය. 2015 වසරේදි ඔහු ‘හෑෂ් ටැග් ‘ නමින් සංවිධානයක් පිහිටුවාගත්තේ සිය හිත මිතුරු සගයන් පස් දෙනකුගේ දායකත්වය ඇතිවය.

මේ වන විට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතවරිය වන ජයත්මා වික්‍රමනායක මහත්මියද මේ පස් දෙනා අතර වූවාය. තරුණයන් මෙන්ම තරුණියන් සිවිල් හා දේශපාලන අයිතීන් ළඟා කරගැනීමට අවශ්‍ය කුසලතා වැඩි දියුණු කිරීම මෙන්ම ඒ සඳහා ඔවුනට අවස්ථාව සලසා දීමට මේ හරහා හැකි විය. සෙනෙල් සිය ‘හෑෂ් ටැග් ‘ සංවිධානය සමඟ සමාජ මාධ්‍ය ජාල පවා හවුල් කරගනිමින් දිගු ගමනකට පියමං කළ අතර එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වැඩ සටහන් මෙන්ම තරුණ පාර්ලිමේන්තුව පවා නියෝජනය කරමින් සුවිශාල මෙහෙයක් ඉටු කිරීමට ඔහුට හැකි විය.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් සංවිධානය වූ මේ තරුණ නායකයන් තේරීමේ තරගාවලියට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් 3000කට අධික පිරිසක් තරග වැදුණ අතර ඉන් සම්මානයට සුදුසුකම් ලැබුවේ තරුණ නායක නායිකාවන් 60 දෙනෙකු පමණි. ඒ අතරින් ලංකාවෙන් මේ සුවිශේෂ භාග්‍යය උදා කරගත්තේ රඛිත හා සෙනෙල් පමණි. ජීවිතයේ තව බොහෝ දුර ගමන් කළ හැකි, අගය කළ යුතු හැකියාවන් සහ දක්ෂතාවන් සහිත, ඒ හේතුවෙන්ම විදේශයන්හිදී පවා ඇගැයීමට පාත්‍ර වූ මේ තරුණයන් දෙදෙනා අද අප කුඩා රටට පමණක් නොව දකුණු ආසියාවටම ආඩම්බරයකි. 

Comments