77 පෙරැළියෙන් හතළිස් වසරකට පසු | සිළුමිණ

77 පෙරැළියෙන් හතළිස් වසරකට පසු

 නිදහස අත්පත් කරගෙන වසර හැත්තෑවක් 2018 අවුරුද්දේ දී සම්පූර්ණ වෙයි. එක්දහස් නවසිය හැත්තෑ හත අවුරුද්දේ දී එක්සත් ජාතික පක්ෂය බලයට පත්ව යම් පරිවර්තනයක් රට තුළ සිදු වී නම් එයට වසර හතළිහක් ගත වී තිබේ. නිදහස් යුගයේ පරම්පරාව හැත්තෑ හත වැදගත්ය. මන්ද එයින් පසු කාලය තුළ සිදුවූ පරිවර්තනය හමුවේ ඔවුන් සිය ජීවිතයෙන් අඩකටත් වඩා ගතකර ඇත. මෙරට ආර්ථික සමාජ ප්‍රවාහය තුළ කැපී පෙනෙන සන්ධිස්ථාන දෙකක් තිබේ. එකක් පනස් හයේ පෙරැළියයි. අනෙක හැත්තෑ හතයි.

පනස් හයේ දී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති අනුව සලකා බලන විට හැත්තෑ හත එයට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළේය. අද ජීවත්වන පරම්පරාවට මෙම යුග දෙක අතරින් තමන් කැමැති යුගය තෝරා ගන්නැයි සඳහන් කළහොත් එයට සෘජු උත්තරයක් ලැබෙන්නට ඉඩක් නැත. මන්ද ඉතා සංකීර්ණ බැවිණි. පනස් හය පමණක් නොව හැත්තෑ හත ද එකිනෙකට වෙනස් සුබ පමණක් නොව අසුබ ද රටට වෙන් වෙන්ව ඇති කරන ලද හෙයිනි. හැත්තෑ හතේ පරිවර්තනය සැසඳීය නොහැකි පමණක් නොව අද වන විට එය අත්හැර දැමිය නොහැකි ස්වභාවයක් දක්වා සමාජයට බද්ධ වී තිබේ. හැත්තෑ හතට කලින් පැවැති තත්ත්වයට ආපසු හැරෙන්නට යෝජනා කළහොත් අද පවතින ක්‍රමයට කොපමණ අකැමැති අයකු පවා එයට සූදානම් නැත. පසුගිය දශක හත තුළ සිදුවූයේ කුමක්ද යන්න නිව­ැරදිව අවබෝධ කරගෙන වඩා සුදුසු තැනකට නැවත පරිවර්තනයකට අවස්ථාව පාදා ගැනීම මෙහි දී ඉතාම වැදගත්ය.

1977 වසරේ දී පවත්වන ලද මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අති විශාල ජනවරමක් දිනා ගත්තේය. එය හයෙන් පහක මන්ත්‍රීධුර ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලනය කරන ලද කාලය තුළ රට තුළ බලපවත්වන ලද ආර්ථික සහ සමාජ පැවැත්මෙහි දුෂ්කරතා ජනතාවට තදින් දැනුණ අතර එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයට මෙකී ජය අත්පත් කරන අතිවිශාල ජනතා ප්‍රසාදයයි. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නවක ශක්තිමත් මහජන නියෝජිතයන් කණ්ඩායමක් තේරී පත්විය. අලූත් ආකල්ප හා වැඩ කරන්නට ජවය ඇති මෙම කණ්ඩායම රට තුළ වෙනස්කම් ගණනාවක් ඇති කළේය. එකී මැති ඇමැති මණ්ඩලය අතර සිටි රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ සිදුවූ පරිවර්තනයෙහි වැදගත් සාක්ෂියකි.

1978 වසරේ දී අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. එය විධායක බලය සහිත ජනාධිපති ධුරයක් ඇති කරන ලද අතර මනාප ක්‍රමයකින් දිස්ත්‍රික්ක මටට්මින් මහජන නියෝජිතයන් පත් කරගන්නට ඉඩ දෙන එකක් විය. විධායක ජනාධිපති ක්‍රමය තුළ එතෙක් පැවැති සෘජු මහජන නියෝජනය අහෝසි වූ අතර එක්තරා මට්ටමකින් ජනතාව සහ මැති ඇමැතිවරු අතර දුරස්ථ භාවයක් නිර්මාණය විය. දිස්ත්‍රික්කයක් තුළ මැතිවරණය මෙහෙයැවිය යුතු සහ එයින් ලබාගත යුතු මනාප ක්‍රමය අතිශය දූෂිත එකක් බවට පත් වූ බව සඳහන් කළ යුතුය. ප්‍රචාරක ව්‍යාපාර සංකීර්ණ වූ අතර අපේක්ෂකයන් හා පක්ෂ අතර සදාචාරාත්මක ආකල්ප බිඳවැටෙන්නට එය බලපෑවේය. විධායක ජනාධිපතිවරයා සතු බලය පසු කාලයේ දී සමාජයේ විවිධ මටට්ම්වල අකමැත්තට හේතු වූ බව සඳහන් කළ යුතුය. ඉකුත් වසර හතලිහ තුළ ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දෙන නමුත් අදටත් එය අසාර්ථක වී තිබේ. වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතු වී පිහිටුවාගෙන ව්‍යවස්ථාව වෙනස් කරන කාර්යය පළමු තැනක ලා ක්‍රියාකරන්නේ ද ඒ අනුවය. ජනතා පරමාධිපත්‍ය මෙහෙයවන ආකාරය හා ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගවලට එයින් එල්ල වන බලපෑම මෙහි ලා නැ‍ඟෙන බලවත් විරෝධයයි.

1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සමඟ එතෙක් සංවෘතව පැවැති ආර්ථිකය සීමිත ව්‍යුහයක් තුළ විවෘත කරන ලද අතර දකුණු ආසියාවේ රටවල් අතරින් විවෘත ආර්ථික පාලනයකට නතු වූ පළමු රට බවට පත් වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාවට වඩා අවුරුදු පහලොවකට කලින්ය. ආගමන හා විගමන සහ ආනයන හා අපනයන අංශ වලට ලිහිල් බවක් අත් පත් විය. පක්ෂ නායක හා විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිය කැබිනට් මණ්ඩලයට වැඩ කිරීමේ නිදහස පැවරීම වැදගත් තීරණයකි. සංවර්ධනය වේගවත් කරන ජනතා අභිලාශ සාක්ෂාත් කරන වැඩ සංකල්ප ඇමැතිවරුන් විසින් ආරම්භ කරන ලද අතර එය අභ්‍යන්තර තරගයක් බවට පත්විය. මහවැලිය, ගම් උදාව, මහපොළ සහ යොවුන් පුරය එවැනි වැඩ සංකල්ප කිහිපයකි. මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ නිදහස් වෙළඳ කලාප, කොළඹ නගරයේ යටිතල පහසුකම් නැංවීමේ යෝජනා ක්‍රම සහ පුද්ගලීකකරණය ඒ අතර තවත් අංගයන්ය. මුදල් අමාත්‍යංශය මූල්‍ය වෙළඳ පොළ ලිහිල් කරන ලද අතර පැවැති රෙගුලාසි වෙනස් කළේය. එය මුලින් සඳහන් කරන ලද සංකල්ප වෙනුවෙන් අනුබලයක් වූ අතර ජනතාවට එයින් අත්පත් වූ අවකාශය පුළුල්ය. එක්තරා පැලැන්තියකට පමණක් සීමා වී තිබුණ විදේශ ගමන් බිමන් සාමාන්‍ය පන්තියට ද ලබා ගත හැකි අවස්ථා විය. ආනයනයට අවස්ථා හිමිවන විට වෙළඳාම දියුණු වූ අතර ව්‍යවසායකත්වය ඉහළ ගියේය. ව්‍යාපාර බහුල වූ අතර මුදල් ගණුදෙනු සකී‍්‍රය විය. දුගී දුප්පත් බව අවස්ථාව උදාකරගත් හා එය නැති වශයෙන් වෙනස් ව්‍යුහයක් ගත්තේය.

මහවැලි ව්‍යාපෘතිය මෙම වකවානුව වන විට සැලසුම් කර තිබුණ අතර එය වසර තිහකින් අවසන් වන එකක් වශයෙන් පැවැතිණ. 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව එය අවුරුදු පහකින් අවසන් කරන එකක් වශයෙන් වෙනස් කළේය. එය බහුකාර්ය යෝජනා ක්‍රමයකි. ගොවියන්ට ජලය, නිෂ්පාදනයට විදුලිය හා ගොවිතැන විවිධාංගීකරණයට ලක් කරන යෝජනා එහි විය. මහවැලිය කඩිනම් කිරීමෙන් පරිසර සහ සමාජ තත්ත්ව පිරිහීමට ලක් වූ බව අද චෝදනාවක් නැ‍ඟෙන නමුත් මහවැලි ව්‍යාපාර සංවර්ධනය වී අලූතින් ඇති වූ ව්‍යාපාරවලින් අය කරගත යුතු බදු ආදායම ගැන එයින් පසු මෙතෙක් පැවැති ආණ්ඩු සැලකිල්ලක් නොදැක්වීම සමස්ත කාර්යය පූර්ණ ඵලදායීත්වය කරා ගමන් කර නැත. මහවැලි කලාපවල ඉඩම් බෙදා දී පදිංචි කිරීමෙන් පසු දෙවන හා තුන්වන පරම්පරාවේ ගැටලු නිසි පසුවිපරමකට ගියේ නැත. එයට හේතු වූයේ ව්‍යාපෘති කෙරෙහි ඊළඟට පත්වන ආණ්ඩු දැක්වූ අල්ප අවධානයයි. ගම් උදාව නිවාසයක් ඉදි කරගැනීමට වත්කමක් නැති ඒ සඳහා ඉඩම් අහිමි සාමාන්‍ය ජන කොටසට විශාල ආශිර්වාදයක් විය. එකල නිවසක් තනාගැනීමට පැවැති හැකියාව සීමිතය. නිවස පමණක් නොව එය සමඟ ඇතිකරන ලද පරිසරය අලූත් ගම්මාන බිහි කළේය. මහපොළ මගින් ජනතාවට විනෝදය හා ආර්ථික අවස්ථා ඇති කරන ලද අතර එමගින් බිහි කරන ලද ශිෂ්‍යත්ව ක්‍රමය උසස් අධ්‍යානයෙහි නිතර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් විය. යොවුන් පුරය තරුණන් එකතුවන අත්දැකීම් බෙදාහදා ගන්නා වැඩ සටහනකි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවකට තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා වශයෙන් සිය අමාත්‍යංශයට අයත් තරුණ සේවා සභාව භාර දෙන්නේ දක්ෂ පරිපාලකයෙකුටය. චරිත රත්වත්ත මහතා යොවුන් පුරය නිර්මාණය කරන ලද අතර රැකී රක්ෂා රහිත තරුණන් වෙනුවෙන් නිස්කෝ සමූපකාරය පිහිටුවා වාණිජ බැංකු සම්බන්ධ කරගෙන ස්වයං රැකියා වැඩසටහනක් සම්පාදනය කළේය. එය ඉතා සංර්ථක එකක් බවට පත් විය. ඇපකරුවන් නැති, බැංකු ණයක් ගැනීමේ දී ඇප වශයෙන් පෙන්වන්නට දේපොළක් නැති ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් එයින් ලබාගත් ආරම්භක ණය පදනම් කරගෙන සාර්ථක අළෙවිකරුවන්, නිෂ්පාදකයන් හෝ සේවා අංශ මෙහෙයවන්නන් බවට පත් වූ බව සඳහන් කරන්නට අවශ්‍යය. 1980 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශය ද රනිල් වික්‍රමසිංහ මහතා යටතට ලැබුණ අවස්ථාවේ දී අධ්‍යාපනයෙහි වෙනස්කම් ඇතිකරන ලද අතර ගුරුවරුන් බඳවා ගැනීම ගුරු පුහුණුව වැනි අංශවල හඳුන්වා දුන් අංග අදටත් අසමාන පැති වශයෙන් ගැනේ.

ඉකුත් වසර හතලිහ තුළ රට තුළ වෙනස්කම් ඇතිකරන ක්‍රියාමාර්ග බලපවත්වන ලද නමුත් එකී පරාසය අබිබවා පැන නැගුණ තත්ත්වයන් ද සලකා බැලීම වැදගත්ය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෘත්තීය සමිති සම්බන්ධයෙන් තද ස්ථාවරයක සිටියේය. දිනකට රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලා වර්ජනය කරන ලද සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීම එයින් එක සිද්ධියකි. ලක්ෂ ගණනක් රජයේ හා අර්ධ රාජ්‍ය ආයතනවල පිරිස් එයින් අසරණ වූ අතර අදටත් සම්පූර්ණයෙන් නොවිසඳී ඇති තත්ත්වයකි. ප්‍රතිමතධාරී දේශපාලනයට එයින් එක්තරා අන්දමකට බාධා මතු වූ අතර ආර්ථික හා සමාජ නොසන්සුන් තත්ත්ව ඇතිකරන්නට එය බලපෑවේය.

විවෘත ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනස්කම් ගණනාවකට පත් කළේය. අද වන විට මෙරට ජනගහනයෙන් මිලියන දෙකක් විදේශතව රැකියා කරයි. තවත් මිලියන දෙකක පමණ පිරිසක් විදේශ රටවලින් මෙරටට පැමිණ සංචාරක හා වෘත්තීය කටයුතුවල නිරතව සිටී. විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන ධනය ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ වන අතර එය මෙරට විනිමය ඉපැයීම් ආදායමේ පළමු තැනට පත්ව තිබේ. දෙවැනි ස්ථානය ගෙන ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වශයෙන් ආර්. ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන ලද ඇඟලුම් අපනයනයයි. තේ. රබර් හා පොල් වශයෙන් සඳහන් වූ මෙරට විනිමය ඉපැයීම වෙනස් වූ අතර පවතින සංචාරක ව්‍යාපාරයෙහි දියුණුව අඛණ්ඩව පැවැතියහොත් එය මුල් පෙළේ විනිමය උපයන මාර්ගයක් වෙන්නට බැරි නැත.

විවෘත ආර්ථිකය තුළ බාධාවකින් තොරව පවතින ආනයන හා අපනයන ක්‍රමවේදය මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය කරන ලද අතර එයට හේතු වූයේ තරගකාරීත්වයට මුහුණ දීමේ නොහැකියාවයි. රාජ්‍ය ආයතනවලට ද අධික පාඩු අත්පත් කරදෙන්නේ එයයි. යුද්ධය පැවැති වකවානුවේ දී මෙරට ආර්ථිකය සියයට දෙක බැගින් වසරකට අඩාල වූ බව ලෝක බැංකුව වාර්තාවකින් අනාවරණය කළේය. තවත් වාර්තාවක් පෙන්වා දෙන්නේ අදටත් මෙරට රාජ්‍ය ව්‍යාපාරවල අකාර්යක්ෂම හා අලාභ ආර්ථික සංවර්ධනය සියයයට 0.05 කින් පහත හෙළා ඇති බවය. විවෘත ආර්ථිකයෙන් අත්පත් කරගත් අවස්ථාවලට වඩා අහිමි වූ දේ බරපතල බව මෙයින් කෙනෙකුට පෙනී යා හැකිය. නමුත් අද වන විට ලෝකයේ සෑම තැනකම විසිරී විහි දී සිටින ලාංකිකයක්ගේ සමත්කම් පෙන්වන්නේ හතලිස් වසරකට කලින් ගත් තීරණයක එක්තරා පැත්තකින් ඇති නිරවද්‍ය භාවයයි. නමුත් එය නිවරැදිම ස්වභාවය නොවෙන්නට ඉඩ තිබේ. මහවැලි කලාපයන්ගේ වත්මන් පරම්පරාවේ ඉඩම් ප්‍රශ්නයේ සිට අද පවතින අධ්‍යාපනය පුද්ගලීකකරණයවීම දක්වා නොයෙක් පැතිවලින් අසමානතා දුෂ්කරතා සහ අසංකූලතා පැන නැඟී ඇත. අද පවතින ආර්ථිකය බිහි කරන්නට පරිසරය ගෙවන ලද වන්දිය ගැන කතා කළ හැකිය. ණය බර හෝ ජනතාවගේ ආත්මය පත්ව ඇති අර්බුදය ගැන අත දිගු කරන්නට හැකියාව තිබේ. නමුත් මෙම සියලු තත්ත්වයන් නැවත නැවතත් කියන්නේ එය එක්තරා ආකාරයක නතර කළ නොහැකි වූ පෙරැළියක් බවය.

ගාමීණී සරත් ගොඩකන්ද 

අදහස්