වෛද්‍යවරුන් සහ සිසුන් එක මල්ලේ ලුණු කෑම | සිළුමිණ

වෛද්‍යවරුන් සහ සිසුන් එක මල්ලේ ලුණු කෑම

 “සුදු වෑන් ආයෙත් ඇවිල්ලා!”

මෙය බේබද්දෙකුගේ කියමනක් නොව ආණ්ඩු වි‍‍රෝධී පක්ෂවලට ගැති මාධ්‍ය මගින් උලුප්පා දැක්වීමට උත්සාහ කරන ලද්දකි.

“ආයෙත් ඇවිල්ලා” යන වදනෙන් අන්‍යාලාපයෙන් කියැවෙන යමක් තිබේ. ආයෙත් එන්නේ මීට කලින් ආපු දෙයකි. එසේ නම් සුදු වෑන් ඊට කලින් පැමිණ ඇත! එනම් පසු ගිය පාලන කාලයෙහි ය.

මෙය බූමරංගයකි. කරකවා අතහැරිය විට කැරකී එන්නේ පටන් ගත් තැනටමය. සුදු වෑන් භීතිකාව මතු වූයේ වෛද්‍ය ශිෂ්‍ය සභාවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට දැරූ තැත උද්ඝෝෂකයන් විසින් වළක්වනු ලැබීමෙනි.

සයිටම් විරෝධී ජන පවුර යැයි හඳුන්වන එකමුතුවක් සඳහා පසුගිය 20 දා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ. එම ස්ථානයට වෑන් රියකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේය‍. එහිදී විවිධ සංගම්වල නියෝජිතයන්ගේ බලවත් විරෝධය නිසා උත්සාහය ව්‍යර්ථ විය.

රාත්‍රියේද දවාලේද මිනිසුන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය පාලන සමයෙහි ප්‍රසිද්ධ විය. මේවාට මුල් වූ ඇතැම් හමුදා සාමාජිකයන් හට නීතිය ක්‍රියාත්මක කරන විට සුදු වෑන් කතාව යටපත් කර රණවිරු කතාව ඉදිරියට ගන්නේ සුදු වෑන් එවූ දේශපාලකයන් ම බව නොකියා බැරිය.

රයන් ජයලත්ගේ සිදුවීම ඊට වඩා වෙනස් එකක් බව චෝදනා කරන්නෝම දනිති. පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු සයිටම් වි‍රෝධී සිසුන් අතින් රුපියල් මිලියන ගණනක දේපළ හානියක් සිදු වූ බව ඇස් පනා පිට පෙනෙන්නට තිබිණ.

සිසුන් විසුරුවා හැරීමට එල්ල කළ ජල ප්‍රහාරය සහ බැටන් පොලු ප්‍රහාරය පිළිබඳ කිඹුල් කඳුළු හෙළන දේශපාලකයන් සහ ඊනියා ජනමාධ්‍ය රාජ්‍ය දේපළ සංහාරය පිළිබඳ වගේ වගක් නැතිව හැසිරෙනු පෙනේ.

රාජ්‍ය දේපළවලට හානි කිරීම බරපතළ වරදකි. රාජ්‍ය දේපළ යනු පොදු දේපළය. නීතිය පසෙකින් තැබුවත් පොදු දේපළ හානි කිරීම යනු මහජනයාට කරන හානියකි. සයිටම් විරෝධය මහජන යහපත වෙනුවෙන් කරන සටනක් නම් මහජන දේපළ විනාශ කළ හැකිද? එසේ හෙයින් එම සටන ලත් තැන ම ලොප් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ විනාශය රාජපක්ෂ පාලන සමයේ සිදු කළා නම් එලොව යෑමට නියමිත ගණන හිතා ගන්නටවත් බැරි ය. වැදගත් ම කරුණ වන්නේ එම අර්ධ මිලිටරි ආණ්ඩුව තිබුණේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනවලට බල්ලෙකුවත් කඩා පනින්නේ නැති බවය. තුවක්කු කටවල් කවුළුවෙන් මානාගෙන සිටින සුදු වෑන් හතර මායිම් මුර කරනු නිසැකය.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි කණ්ඩායම් නීතිය අබිබවා කටයුතු කර ඇතැයි චෝදනාවක් නැඟේ. ඒ පිළිබඳව සංවේදී වූ සාගල රත්නායක ඇමතිවරයා පොලිස්පතිගෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ.

මෙහිදී වැදගත් වන්නේ ඇමැතිවරයා එම පොලිස් කණ්ඩායමට චෝදනා කිරීමට ඉක්මන් නොවී එම ක්‍රියාවෙහි නිත්‍යානුකූල බව පැහැදිලි කර ගැනීමය.

රාජ්‍ය දේපළ හානි කිරීම්වලදී නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අතීත අත්දැකීමක් සිහිපත් වේ. මීට වසර 10 කට පමණ පෙර දැදුරුඔය ජලාශය ඉදිකිරීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ එවක වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා ගමන් ගත් වාහනය ගොවීන්ගේ උද්ඝෝෂණයකට මැදි විය. උද්ඝෝෂකයන් හා ඇමැතිවරයා අතර ඇති වූ උණුසුම් සංවාදය අවසන් වූයේ ඔහුගේ නිල වාහනය ප්‍රහාරයකට ලක්වීමෙනි. සිදු වූ අලාභය රුපියල් එක් ලක්ෂ විසිපන් දහසකට තක්සේරු කර තිබිණ. උද්‍ඝෝෂණයට මුල් වූ ගොවීන්ගෙන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනිණ. රුපියල් 25000 ඉක්මවූ දේපළ හානියක් නිසා, අධිකරණය චූදිතයන්ට ඇප ලබා නුදුන්නේය. මේ නිසා කෑගල්ල බන්ධනාගාරයේ මාස කීපයක් දුක් විඳීමට ගොවි නායකයන් හට සිදු විය. ඔවුන්ට බිම නිදා ගැනීමට සිදු වූයේ ටින් මාළුන් අසුරා ඇති අයුරිනි. අවසානයේ දී ගොවීන්ගෙන් අලාභය අය කරගන්නා ලදී.

මෙහිදී උසාවි වරෙන්තු, පොලිස් නිල ඇඳුම් හා අත්අඩංගුවට ගන්නා ස්ථානය අදාළ නොවීය‍. රාජ්‍ය දේපළ හානි කිරීම එතරම් බරපතළ වරදකි. මේ සම්බන්ධයෙන් නීතිඥ ඇස්.ජී‍. පුංචිහේවා මහතාගේ අදහසක් දක්වමි.

“පොදු ගොඩනැගිලි, මංමාවත්, ලයිට් කණු, රජයේ ඉඩම්වල ගහකොළ යනාදී වශයෙන් රාජ්‍ය දේපළ විවිධ වෙනවා. ඒවාට හානි සිදු කළ විට, වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ බලය තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඕනෑ විදියකට ගන්න පුළුවන්. ඒකට බාධා කරන්න කාටවත් බෑ. රජයට අයත් තාප්ප හා ගොඩනැගිලි බිත්තිවල යම් යම් දේවල් ලිවීම හා අපවිත්‍ර කිරීම විකෘති කිරීමේ වරදක් (වැන්ඩලිසම්) හැටියට යි සලකන්නේ. කවුරු හරි පැමිණිලි කළොත් ඒ ගැනත් නීතිය අනුව කටයුතු කළ හැකියි. අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ සමාජ මට්ටම, උසස් පහත් බව එහිදී වැදගත් වන්නේ නෑ.”

මෙහිදී පොලීසිය කටයුතු කර ඇත්තේ රාජ්‍ය දේපළ හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ පිළිවෙත අනුව බව පෙනේ. එදා ගොවීන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේ දී වෛද්‍ය සභාව සිටියේ මර නින්දේය. වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවක් තිබුණා දැයි දන්නේ දෙවියන් පමණි!

මේ දෙපිරිසම දැන් දැන් වෛද්‍ය වෘත්තියට බලපාන කරුණුවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රශ්න කරමින් ආණ්ඩුව ගෙදර යැවීමේ කොන්ත්‍රාත්තුවට අත ගසා ඇති බව පෙනේ.

පසුගියදා මේ ලියුම්කරු තම දියණියට ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෝමාගම රෝහලට ගියේ ය. රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඇතුළු බොහෝ තැන්හි බිත්තිවල වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැන්වීම් අලවා තිබිණ. රෝගීන් බියට පත් කරවන ප්‍රකාශ ඒවායෙහි ඇතුළත් විය.

“මේ බිත්තිවල නැවත තීන්ත ගාන්ඩ වෙනවා නේද?”

මම සාත්තු සේවකයකුගෙන් ඇසීමි.

“ඒවාට වියදම් කරන්ඩ වෙන්නෙත් ආණ්ඩුවටම තමයි.”

ඔහු වෛද්‍යවරුන්ට අප්‍රසාදය පළ කළේය.

මට 1980 දශකය මතක් විය. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි බිත්ති ශිෂ්‍ය සංගම්වල සටන් පාඨවලින් අපවිත්‍ර වී තිබිණ.

“අවුරුද්දකට මේවා අලුත්වැඩියා කරන්න ලක්ෂ පනහකට වඩා යනවා.”

විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරිවරයකු වූ තලගුණේ මහතා ප්‍රකාශ කළේ ය. වත්මන වනවිට එම විශ්වවිද්‍යාලයේ ඉදි කර ඇති පුවරුවල දැන්වීම් අලවනු විනා ගොඩනැගිලි බිත්ති විනාශ කිරීමට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ කටයුතු නොකරති. ඒ අනුව වත්මනෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇද වැටී ඇත්තේ 80 දශකයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මට්ටමටය.‍

“රෝහල් කියන්නෙ රජයේ දේපළ. රජයේ වෛද්‍ය සංගමයට නීතියෙන් දඬුවම් දෙන්න බැරිද?”

නීතිඥ තුෂාර ද සිල්වාගෙන් ඇසීමි.

“කවුරු හරි පැමිණිල්ලක් කළොත් නීතිය අනුව කටයුතු කරන්න පුළුවනි” ඔහු කීය.

මෙයින් හැඟී යන්නේ රාජ්‍ය දේපළ හානි කිරීමේ වරද අනුව රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීම වරදක් හැටියට දකින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද රාජ්‍ය දේපළ හානි කරන්නන්ගේ ගොඩට ඇද වැටී ඇති බවය. ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් මෙය “එක මල්ලේ ලුණු කෑම” ය.

“රාජ්‍ය දේපළ හානි කිරීමක දී වරෙන්තු අවශ්‍ය නැහැ. පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. ඇප ලබාදීමට නම් සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතුයි. එමෙන් ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමාජ තරාතිරම සලකා බැලිය යුතු යැයි සිතීම වරදක්. අත්අඩංගුවට ගැනීමට බාධා කිරීම, සැඟවී සිටීමට අනුබල දීම යන චෝදනා ඇති අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වීම අලුත් දෙයක් නොවේ. මේ ක්‍රියාදාමයට එරෙහිව කවුරු හරි පෙනී සිටිනවා නම් ඔවුන් අපේක්ෂා කරන්නේ කැලේ නීතිය රජයන සමාජයක්” නීතිඥ තුෂාර ද සිල්වා පවසයි.

මේ අතර වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මානව හිමිකම් කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බව ‍ප්‍රසිද්ධ කෙ‍රිණ. මේ සම්බන්ධයෙන් නීතිඥ ඇස්.ජී. පුංචිහේවාගේ අදහස විමසීමි.

“මානව හිමිකම් කොමිසම ඒ අය ගෙන්වලා වාඩිවෙන්න කියලා විස්තර අහගනී. ආ එහෙමද? කියලා ආපහු ගෙදර යවයි. මේක ගැන නීතිමය කටයුතු කෙරෙමින් තිබෙන නිසා, මානව හිමිකම් කොමිසමට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ ශිෂ්‍යයො දේශපාලන කණ්ඩායමක රූකඩ බවට පත්වී තිබීමයි මෙයින් පෙනෙන්නේ.”

රාජ්‍ය දේපළ හානි කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පෙනෙන්නේ වරදක් බවටය. එනිසා එම සංගමය නැවතත් රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කරයි.

දැන් ඉතින් රාජ්‍ය දේපළ හානි කිරීමට ඉඩ නොදීමේ වරදට රෝගීන්ද තම ජීවිත බිලි දිය යුතුය.

මෙවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් ජීවත්වන ලොව එක ම රට ශ්‍රී ලංකාව විය යුතුය. උසස් අධ්‍යාපනය ලැබූවකු හා රට වැසියකු වශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන්ගේ සහ එම අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ගේ විළි ලැජ්ජා නැතිකම පිළිබඳ මම ලැජ්ජාවට පත් වෙමි!

තිඹිරියාගම බණ්ඩාර
[email protected] 

අදහස්