වෘත්තීය පුහුණුවට ස්කිල්ස් පාස්පෝට් | සිළුමිණ

වෘත්තීය පුහුණුවට ස්කිල්ස් පාස්පෝට්

 රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිපුණතා වැඩසටහන ගැනත්, පවතින දේශපාලන තත්ත්වය ගැනත් නිපුණතා සංව‍ර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අදහස් දක්වයි.

l ශ්‍රී ලංකා නිපුණතා ගැන කතා කරලා මාතෘකාවට යොමුවෙමු නේද ඇමැතිතුමා?

වසරකට පාසලේ එකේ පන්තියට ‍ඇතුළත්වන ළමයි ගණන ලක්ෂ තුනකට වැඩියි. මේ ළමයිගෙන් 28,000ක් විතරයි විශ්වවිද්‍යාලයට ‍තේරෙන්නේ. තවත් 10,000ක් විතර ‍විදේශගත වෙනවා. ඉතිරි සියලු දෙනාට ලබාදෙන්න තියෙන්නේ වෘත්තීය අධ්‍යාපනයයි. ඒකට අමාත්‍යාංශයට අයත් නොවන ආයතන 60,000ක් විතර තිබෙනවා. අනික් හැම දරුවකුගේම වගකීම තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේයි. විශ්වවිද්‍යාල දරුවෝ විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. වෘත්තීය පුහුණුව ලබපු අයත් උද්ඝෝෂණය කරන්න ගියොත් රට ගෙනියන්න බැරිව යනවා. ඒනිසා අපේ අරමුණ දරුවන්ට සහතිකයක් ලබාදීම පමණක් නොවේ. දරුවන්ට සහතිකයක් වගේම වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන අතරේම ඒ හැම දරුවකුටම රැකියාවක්, වෘත්තියක් එහෙම නැත්නම් ජීවනෝපායක් සහතික කිරීමයි.

l ඒ වෙනුවෙන් මොනවගේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ?

අපිට විශාල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝ කාලීන කියලා තුන් විදිහටම විසඳන්න බැලුවේ නැත්නම් විසඳෙන්නේ නැහැ.

ජපන් ටෙක්, ජර්මන් ටෙක්, කටුනායක තාක්ෂණ විද්‍යාලය, එන්.අයි.බී.එම්. යන අපේ ආයතන වලට යන දරුවන් එයින් පිටවෙන කොට 100%කට ම රැකියා ලැබෙනවා. හැබැයි ජපන් ටෙක්, ජර්මන් ටෙක් එහෙම නැත්නම් කටුනායක ආකාරයේ තාක්ෂණික විද්‍යාලයක්වත් අලුතින් ආරම්භ කරලා නැහැ. ඒවාට ඇතුළු වෙන්න 1500ක් විතර ඉල්ලපුවහම ඇතුළත් කරන්නේ 300ක් විතරයි. ජර්මන් ටෙක් එක ගත්තම ඒකට 12,000ක් විතර අයදුම්පත් දානවා. ඒත් 500-600ක් විතරයි ඇතුළත් කරගන්නේ. ඉතින් පළමු වැනි දේ තමයි ගොඩනැගිලි ඇතිව, නැතිව හරි මේ ආයතනවලට ගන්න තියෙන ප්‍රමාණය වැඩි කරන්න ව්‍යාප්ත කරන්න එක. ඒ එක්කම මේ ආයතන ව්‍යාප්ත කරන එක තමයි අපේ පළමු වෙනි අරමුණ ඒ අතරම හඳුනගත්තේ නැති තැන්වල ආයෝජනය කරලා ඒ සියලු සම්පත් තියෙන මධ්‍යස්ථාන ඉදිකරන්න.

l වෘත්තීය පුහුණුවට ගිය විට සහතික ලැබෙන ආයතන රැසක්ම රටේ තිබෙනවා. ඒ අතරට තවත් පිරිසක් එක්වනවාට වඩා රැකියා ලබාගැනීම සඳහා අවශ්‍යවන වෘත්තීය තත්ත්වයන් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් මෙහිදී ක්‍රියාත්මක වෙනවාද?

ඔව්! ඒ අය රැකියා ගත කිරීම සඳහා අපිට අවශ්‍ය කරන තත්ත්වයට ඉහළ නැංවීමට අවශ්‍ය වෙනවා.

ඒ අතරම මේ රටේ කණ්ඩායමක් ඉන්නවා, වැඩ දන්නවා සහතික නැහැ. 2005 තමයි අපි NVQ ආරම්භ කළේ. ඒ වැඩ දන්න නමුත් සහතික ලැබිලා තියෙන්නේ 40,000කට විතරයි. මේ අවුරුදු 12ට. උදාහරණයක් හැටියට අපේ මේසන් කට්ටිය ඉන්නවා. ඒ අයට සහතික නැහැ. භාෂාව දන්නෙත් නැති නිසා පිටරටකට යන්න බැහැ. ඒ අයගේ නිපුණතාව මත නිසි ඇගයීමකින් අදාළ NVQ සහතිකය කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

මේ රටේ ත්‍රීවීල් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් තියෙනවා. ත්‍රීවීල් වලට බලපත්‍ර දෙන්න එපා කිව්වට හරි යන‍්නේ නැහැ. අපි ඒ අයට වෙනම රැකියා දෙන වැඩපිළිවෙළක් සකසන්න ඕනේ. ඒ අයට‍විදුලි කාර්මික, ජලනළ කාර්මික වැඩසටහන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

l මෙවැනි රැකියාවලට නව පරම්පරාව එතරම් කැමැති නැහැ. ඔවුන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද?

ඔව්! ඔබ කිව්වා වගේ වඩු කාර්මිකයෙක් වෙන්න, මේසන් කෙනෙක් වෙන්න, අලුත් පරම්පරාව එතරම් කැමැත්තක් දක්වන‍්නේ නැහැ. මොකද මේ ‍රටේ මෙවැනි රැකියා ප්‍රතික්ෂේප කිරීමේ මානසිකත්වයක් තියෙනවා. ඒ නිසා විශාල මානසික වෙනසක් ඇති කරන්න අපට සිදුවෙලා තියෙනවා. ඒ සඳහා අපි ඒ අයට නිසි සහතිකයක් ලබා දෙනවා.

ලංකාවේ මේ අය වැරහැලි ඇඳගෙන වැඩ කටයුතු කළාට ලෝකයේ ‍විදුලි කාර්මිකයෙකුට, ජලනල කාර්මිකයකුට, මේසන් කෙනකුට වගේම හැම වෘත්තියකටම නිල ඇඳුමක් තියෙනවා. ඒකට පාටක් තියෙනවා. ඉතින් අපි මේවා වෘත්තීය තත්ත්වයට ගේන්න. ඊ‍ට පස්සේ මේවායින් හැම එකකම වෘත්තීයමය කවුන්සිලයක් ඇති කරන්න කටයුතු කරනවා.

එතකොට ඒ අයට වෘත්තීය වගකීමක් එනවා. දැන් ලෙඩකුට අනවශ්‍ය විදිහට බේත් කළොත් මෙඩිකල් කවුන්සිල් එකට පුළුවන් වෛද්‍යවරයාගේ සහතිකය නැති කරන්න. නීතිඥයකු අනවශ්‍ය දෙයක් කළොත් ඔහුගේ‍ කෝට් එක ගලවන්නත් පුළුවන්. නමුත් මේසන් කෙනකුට, විදුලි කාර්මිකයකුට එහෙම නැහැ. ඒ වෘත්තීය පිළිගැනීමක් නැහැ. ඒ වගේ පිළිගැනීමක් ඇති කරලා ඒවටා ගොනු කරන්න අප බලාපොරොත්තු වෙනවා.

ඒක නිකම්ම කරන්න බැහැ. මේ සියල්ල ගොනු කරලා යොමු කිරීම කරන්නත් මෙතැන්ට එන්නේ දුප්පත් ළමයි. ඒ අයට මේ ඉගෙන ගැනීම කරන්න අමාරුයි. ඒ සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දෙන්න අප සූදානම් කරනවා.

ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා වෘත්තීය පුහුණුවට නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ වැඩ පිළිවෙළක් ගැන. නොමිලේ අධ්‍යාපනය ලැබුණත් මේවාට එන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 3-4 පාඨමාලාවක් කිරීමේ හැකියාවක් පවුල් වලට තිබුණේ නැහැ. එහෙම තෝරගත්ත පවුල්වලට අපි ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ඒවාගේම තාක්ෂණික වැඩ කරනකොට විවිධ අනතුරුවලට ලක්වෙනවා. ඒ අයට රක්ෂණ ක්‍රමයක් ලබාදෙන්න අපි අදහස් කරනවා.

l මෙහිදී ලබාදෙන පුහුණුව අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්විය යුතුයිනේද?

අපේ අරමුණ තමයි ලංකාවේ ඉන්න හැම කෙනකු ගැනම එක සාක්කුවක පාස්පෝට් එකක්, අනිත් සාක්කුවේ ස්කිල්ස් පාස් පෝට් එකත් තියාගෙන ලෝකයේ ඕනෑම තැනකට ගිහිල්ලා මෙන්න මගේ පාස්පෝට් එක කියලා, මෙන්න මගේ ස්කිල්ස් පාස්පෝට් එක කියලා පෙන්වන්න. ඒකේ ලෝකයේ පිළිගත්තු වෘත්තීය 140ක් සඳහන් වෙනවා. ඉන් තමන්ගේ නිපුණතාව තිබෙන වෘත්තියේ NVQ කීයද තියෙන්නේ කියලා සඳහන් වෙනවා. භාෂා කුසලතාව සඳහන් වෙනවා. කලින් වැඩකළ ආයතන ගැන සහතිකයේ සඳහන් වෙනවා. බාර්කොඩ් එකක් එක්කයි මේක තියෙන්නේ. අපේ ඩේටා බේස් එකත් එක්ක සම්බන්ධවෙලා තියෙනවා.NVQ කවුරු හරි සහතික කරන කොට ඒ ඩේටා අපේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. කවුරුහරි රටකට ගිහින්ලා, ශ්‍රී ලංකා ස්කිල්ස් පාස්පෝට් එක තියෙන්නේ. මගේ NVQ මට්මට මේකයි කිව්වම, ඉංග්‍රීසි පුළුවන් කිව්වම, එයාට තියෙන්නේ වෙබ් අඩවියට ගිහින්ලා බාර් කොඩ් එක මේක තියන්න. එතකොට සත්‍ය අසත්‍යතාව දැන ගන්න පුළුවන්.

තමන්ගේ වෘත්තියට අමතරව හැමකෙනාටම තොරතුරු තාක්ෂණ සහතිකයක් සහ ඉංග්‍රීසි භාෂා සහතිකයක් දෙනවා. තොරතුරු තාත්ෂණ සහතිකය අනුමත කරන්නෙ මයික්‍රොසොෆ්ට් ආයතනයෙන්. ඉංග්‍රීසි පිළිබඳ සහතිකය අනුමත කරන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් වලින්. එතකොට ලෝකයේ ඕනෑම තැනක පිළිගන්නවා. ඒවායේ අපේ අනාගත තාරුණ වෘත්තිකයන් හැටියට මූලිකවම අභිමානය ලබාදීලා ඒ අයට වෘත්තීය පුහුණුව යොමු කරවන්න. ඒවාගේම වෘත්තීය පුහුණුවෙන් ඉවතට යනකොට ඒ අභිමානය ලබා දෙන්න. අපි කටයුතු කරනවා.

‍ඒ වාගේම මේ හැම ආයතනයකම අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරලා තියෙන්නේ. පෞද්ගලික අංශයේ අදාළ කර්මාන්ත වලින් මේක පුහුණු කරන්න ඕනේ. පෞද්ගලික අංශවල ඇබෑර්තු වලටනේ. ඒ සඳහායි වෘත්තීය අවශ්‍යතාව තියෙන ඒවාට තමයි අපි පුහුණු කරවන්නේ.

ඒ අයගේ අවශ්‍යතාව අනුව පුහුණු කරපුවාම ඒ අයට රැකියා නැති වෙන්නේ නැහැ. රැකියා අවශ්‍යතාව පිළිබඳත් නිරන්තර අවබෝධයෙන් ඉන්නවා. ලංකාවේ පමණක් නොවේ පිටරටත් ඒ රටට තියෙන අලුත් තාක්ෂණය බලලා, අලුත් අවශ්‍යාතවත් බලලා අපි ඒ අවශ්‍යතාව තාක්ෂණයට ගැළපෙන ආකාරයට තමයි පුහුණු කරන්නේ.

ලෝකයේ ඉදිරි අවුරුදු පහ ඇතුළත මිලියන 80ක ශ්‍රම අතිරික්තයක් ඇතිවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ ඉන්නේ මිලියන 20යි. ඒවගේම ලෝකයේ මනුෂ්‍ය ශ්‍රමයෙන් කළ බොහෝ දේවල් අද කරන‍්නේ තාක්ෂණයෙන්. එතකොට මේ ශ්‍රම අතිරික්තය මිලියන 80 ඇතිවෙන්නේ. අනිත් පසින් වැඩ කරන අය වෙනුවෙන් නොවේ. ලංකාව වගේ සීමාසහිත ජනග‍හනයක් සිටින රටක් හැටියට අ‍පි ‍රටේ ජනතාව පුරුදු කරන්න ඕනේ තාක්ෂණයට. ශ්‍රමයෙන් කරපු දේ තාක්ෂණයෙන් කරන්න ඒ උපකරණ නිෂ්පාදනය ක්‍රියාවලියට දක්ෂයන් අපි හදන්න ඕනේ. ලෝකයේ අනාගත අවශ්‍යතාවට ගැළපෙන ආකාරයට අපේ ශ්‍රම සම්පත පුහුණුකිරීමේ වගකීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

l පාසලේ සිටම යොමුවන වැඩපිළිවෙළක් ගැනත් මෙහිදී සඳහන් වෙනවා?

‍මීට අමතරව අපි ස්කිල්ස් ක්ල්බ් අපි පාසල්වල පටන් ගන්නවා. එතකොට ළමයි ඉස්කෝලෙදීම තේරුම් ගන්නවා තමන්ගේ හැකියාව තිබෙන්නේ පොතේ පතේ නොවේ නම්. ඔවුන් ඒ පැත්තට යොමු වෙනවා. ඊට අමතරව දහම් පාසල්වලත් ආගමයි තාක්ෂණයයි, ව්‍යවසායකත්වයයි මාතෘකා ඔස්සේ වැඩපිළිවෙළවල් පටන් ගන්නවා.

l ‍වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය බැලූවිට ආණ්ඩුව විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීලා තිබෙන බව පේනවා. ආණ්ඩුව අභ්‍යන්තරයේත්, බාහිරවත් මේ තත්ත්වය දක්නට ලැබෙනවා. මේ අනුව පේන්නේ ඉදිරි ගමන ගැටලු සහගත බවද?

දේශපාලනය විටක අවුල් වෙනවා. විටක හොඳට යනවා. ආයෙත් ව්‍යාකූල වෙනවා. මෙහෙම දේවල් කාලෙන් කාලෙට වෙනවා. අපිව ජනතාව පත්කරලා තියෙන්නේ ගමට, රටට වැඩකරන්නයි.ජනාධිපතිතුමා අපිට අමාත්‍යාංශ දීලා තියෙන්නේ අපේ වගකීම් ඉටු කරන්නයි. අපි අපේ වගකීම කරනකොට ඔයගැටීම් එකක් වත් ඇතිවෙන්නේ නැහැ.

l ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ තනතුරු දරන පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙන බව ප්‍රකාශකරලා තියෙනවා. ඔබ ඉන්නේ කුමන ස්ථාවරයකද?

ඔබතුමාලා ජනමාධ්‍යවේදීයෝ. ඔබලටත් අවශ්‍යයි දහයක් යනවා. දොළහක් යනවා. පහළොවක් යනවා. කියලා අවධානය දිනා ගන්න. ඒක රැකියාවනේ. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සාකච්ඡා කරලා නැහැ ඉන්නවද යනවද කියලා. අපේ බලාපොරොත්තුව රටට හොඳ දෙයක් ආණ්ඩුව ල‍වා කරවාගන්න එකයි.

l සමහර මැති ඇමැතිවරුන් තමන්ගේ අමාත්‍යාංශ ගැන නිතරම මැසිවිලි නගනවා. අමාත්‍යවරයෙක් වශයෙන් ඔබ තෘප්තිමත්ද?

මම කරන කටයුත්ත හරියට කරන කෙනෙක්. නියෝජ්‍ය කතා නායක හැටියට ඒ කාර්යය මැනවින් ඉ‍ටු කළා. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති හැටියට ඒ කාර්යයත් මම හිතන්නේ මම උපරිමයෙන් කළා කියලයි. මේ අමාත්‍යාංශයත් එහෙමයි. අපි‍ මේ තනතුරු උපදිනකොට අරන් ආවේ නැහැ. මිනිස්සු ඡන්දය දීලා පත්කළේ. ඊ‍ටපස්සේ අපිට පක්ෂය වගකීම් පවරලා තියෙනවා. ඉන්න කම් කරන්න පුළුවන් දේ කරන එකයි මගේ වගකීම. ඒක ජනතාවගේ කැමැත්ත මතයි තීරණය වෙන්නේ.

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන 

අදහස්