විවෘත ආර්ථිකයෙන් තැබුවේ යෝධ පියවරක් | සිළුමිණ

විවෘත ආර්ථිකයෙන් තැබුවේ යෝධ පියවරක්

මෙරටට දේශපාලනයේ සුවිශේෂී සිදුවීමකට වසර හතළිහක් සැපිරීම පසුගියදා සිදුවිය. ඒ 1977 වර්ෂයේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකය හඳුන්වා දීමය‍. ඒ සමඟ ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර හතළිහක් සැපිරීම ද ඉතා වැදගත්ය. මේ කරුණු දෙකම සලකා කතිකාවකට යායුතු කාලයක් ලෙස අද දවස මම දකිමි.

විවෘත ආර්ථිකය සැලකූ විට අපේ සමහර පුද්ගලයන් වපර ඇසින් බැලීමට හුරුව තිබෙන බවද කිව යුතුය. 1977 දී එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකය හඳුන්වා දෙන්නේ සුවිශාල විප්ලවයක් කරමිනි. මාක්ස්වාදයේ මූලික ග්‍රන්ථය වන ඩාස් කපිටාල් අනුව ලාභය හඳුන්වන්නේ සූරාකෑමක් හැටියට ය. නමුත් නිදහස් ආර්ථිකයේ සාධනීය ලක්ෂණ පැත්ත බලන අය එය දකින්නේ දිරි ගැන්වීමක් ලෙස ය. අද වන විට ලාභය සූරා කෑමක් කියන මතයෙන් චීනය, වියෙට්නාමය වැනි රටවල් ඈත්වී විවෘත ආර්ථිකයට යොමුවී තිබේ. එදා ලංකාව මාක්ස්වාදයේ මූලික සිද්ධාන්තවලට ආයුබෝවන් කියා විවෘත ආර්ථිකයට යොමුවන විට චීනයේ ඩෙන් ෂියාඕ පින් විවෘත ආර්ථික මාවතට යොමුවී තිබුණේ නැත. එමෙන්ම ඉන්දියාවේ නරසිංහම් රාඕ පමණක් නොව බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් වත් විවෘත ආර්ථිකයට යොමු වී සිටියේ නැත. එකල වන විට බර්ලින් තාප්පය පවා බිඳවැටී නොතිබුණු අවධියකි. එමෙන්ම සෝවියට් දේශය ද බිඳ වැ‍ටී නොතිබිණි. එවැනි පසුබිමක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනාගතවාදී දැක්මක් සහිත නායකයකු ලෙස හෙට දවස දැක විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දුනි.

මෙහිදී 1977ට පෙර මෙරට තිබූ තත්ත්වය මදක් පැහැදිලි කළ යුතුව ඇත. එකල අපට පැවැතියේ සංවෘත ආර්ථික ක්‍රමයකි. ඒ වැසී පැවැති ආර්ථික ක්‍රමය නිසා ජනජීවිතය සම්පූර්ණයෙන්ම ආවරණය වී පැවැතිණි. මේ නිසා ජනජීවිතය කෙතරම් සංකීර්ණ වී තිබුණාද යත් පාන් භාගයක් මිලදී ගැනීමට කාඩ්පතක් රැගෙන ජනතා කොමිටි ඉදිරියට යන්නට සිදුවී තිබිණි.

මේ තත්ත්වය දුටු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ‍රටේ අනාගතය ගැන දැක අපේ රට ලෝකයට විවෘත කළේය. 1977 එතුමා බලයට පැමිණෙද්දී මුහුදු කරයේ පැවැතියේ ලෑලි ගෙවල් ය. පොල් අතු පැලවල් ය. ඒකාලයේ පැතිවල ජනතාවගෙන් බහුතරයක් ජීවත්වූ‍යේ පොල් ලෙලි තලමිනි. ලණු ඇඹරීම ද ඔවුන්ගේ ජීවිකාවක් වී තිබිණි. නමුත් 77න් පසුව අපට මාලිගා වැනි නිවාස මේ ප්‍රදේශවලින් දකින්නට පුළුවන් විය. දරු­ෙවා් අධ්‍යාපනය පතා විදේශයන්ට ගියහ ලෝකය සමඟ ඔවුහු අද සම්බන්ධ ව සිටිති.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ තිබූ දැක්ම අනුව ඔහු පෞද්ගලික අංශය ගැන විශ්වාසයක් තබා කටයුතු කළේ ය. රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද සම අවස්ථාවක් ලබාදී තිබිණි. සම අවස්ථාවක් ලබාදීම නිසා තරගය තුළින් අපේ ආර්ථිකය ඉදිරියට පැමිනුණි. තරගයෙන් ජයගත් පිරිස පොහොසත් විය. ඒ සමඟම තරගයෙන් පසුබසින ජන කොටස් රැකබලා ගැනීමට සමාජ සාධාරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ඒ ගෞරවය 77 විප්ල‍වයේ පීතෘවරුන්ට තිබේ. මේ නිසා මහපොළ හඳුන්වා දුනි. නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම යන සටන් පාඨය අපේ ශබ්ද කෝෂයට හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ අනුව ජනසවිය ව්‍යාපෘතිය ඇරඹිණි. රුපියල් 2500.00ට වඩා අඩුවෙන් ආදායම් ලැබූ දරුවන් රැකියාවලට යොමුවන විට ඔවුන්ට ලකුණු 25ක් වැඩියෙන් ලබාදුනි. මෙහෙකාරකමට ගිය ගම්බද දරුවන් කර්මාන්තශාලාවලට යොමු කිරීම සඳහා කර්මාන්තශාලා ගමට රැගෙන ගියේය. ‍මේ අනුව ඇඟලුම් කර්මාන්ත ශාලා පමණක් 200ක් ගම්බද ප්‍රදේශවල පිහිටුවන ලදී. නිදහස් ආර්ථිකයෙන් පන්නරය ලැබූ පවුල් කුල පීඩනය, පන්ති පීඩනය පරදවා ගොස් ධනවත් පන්තියේ වලව් පවා මිලදී ගන්නා තත්ත්වයක් ඇතිවිය. මෙලෙස වැඩවසම් ක්‍රමයේ නෂ්ටාවශේෂ විනාශකරන තත්ත්වයක් ඇතිවුණේ විවෘත ආර්ථිකය නිසාය. බොහෝ පිරිස් මෙහි සෘණ පැත්ත කතා කරනු දැක ඇත. එහෙත් මා නම් මෙහි දකින්නේ ධනාත්මක සාධක රැසක් අන්තර්ගත බවය.

මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වාමාංශික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැසුණු ආර්ථිකයක් ගැන විශ්වාසය තබා කටයුතු කරන විට, එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය එකම ගමන් මගක තිබූ බවයි. ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය හරහා සිදුවූයේ එය වඩාත් වේගවත් මාවතකට අවතීර්ණ වීමය. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතා පක්ෂය ආරම්භ කරමින් කළ මංගල කතාවේ ආරම්භක වාක්‍යය වූයේ, Ò අපි සිංහල‍ වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකික ජාතියක්. ශ්‍රී ලාංකික ජාතියට ආශිර්වාද ෙව්වා" යන්න ය. පංති, ආගම්, ජාති වලින් පිරුණු බෙදුම්වාදී සිතිවිලි කිසිවක් ඒක්සත් ජාතික පක්ෂයට උරුම වී තිබුණේ නැත. ඒ වෙනුවට ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට තිබුණේ සියලු දෙනා ඒක රාශී කරන චින්තනයකි.

විටක පැය 24න් සිංහල භාෂාව කියන ප්‍රතිපත්තිය අනුව ‍ගිය අප රටේ ඇතැම් පක්ෂ එය නිවැරදි කරගන්නා විට ජීවිත වලින් සහ දේපළ වලින් වන්දි ගෙවා තිබිණි. කතෝලික ආක්‍රමණයක් ගැන කතා කර කතෝලික පාසල් රජයට පවරා ගැනිණි. දශක කිහිපයකට පසුව ඒ පාසල්වල ගුරුවරුන්ට වැටුප් ලබාදීමට සිදුවන්නේ රජයට ය. මෙලෙස අපි ප්‍රශ්න තේරුම් ගන්නා විට අපේ හිත් පාරාගෙන අවසන් ය.

දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ගත්විට ඒවා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ශීඝ්‍රයෙන් දියුණුවිය. අල්පෙනෙත්ත නිෂ්පාදනය කළ මිනිසා බයිසිකලය නිර්මාණය කළේය. බයිසිකලය නිර්මාණය කළ මිනිසා කාරය නිපදවීය. ඒ හැකියාව පිරුනු මිනිස්සුන්ට ශක්තිය දෙන්න පසුබිම විවෘත ආර්ථිකයෙන් නිර්මාණය විය. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැති යමක් බිහිකෙරෙන සමාජයක් ඇතිවිය. ඒනිසා එම රටවල් ව‍ඩාත් වේගයෙන් සංවර්ධන ඉලක්ක කරා යොමුවිය. එහෙත් අපට එසේ නොවිණි. අපේ දේශීය පන්තිය නැති කර විනාශ කර දැමිණි. එයින් රට ආපස්සට හැරිණි. දශක ගණනාවකට පසුව අතීතය පාඩමක් ලෙස ගෙන අප ආපසු හැරෙන විට අප බොහෝ ප්‍රමාදවූ ජාතියක් වී සිටී.

මෙලෙස 1977න් පෙර යුගය සහ පසු යුගය දෙස බැලුවිට රට ඉදිරියට ගෙන ගිය යුගයක් ලෙස විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ගෙවී ගිය කාලය පෙන්වා දිය හැකිය.‍ එය සැබෑ ලෝකය කුමක්ද යන්න මෙරට ජනතාවට පෙන්වා දුන් යුගයක් විය. විවෘත ආර්ථිකය නිසා මෙරට මිනිසුන්ගේ ජීවිත වල වෙනසක් සිදුවුණු බව අප පිළිගත යුතුය. ඒ ගැන අපට විවාදයක් නැත. බොහෝ අය අද ආර්ථික කඩාවැටීමට මෙය හේතුවූ බව කියතත්, එය‍ එසේ වූවක් නොවේ. එය ‍එසේ වී ඇත්තේ ආර්ථිකය කළමනාකරණය කළ මිනිසුන්ගේ වරදින් විනා ‍ විවෘත ආර්ථි‍කයේ වරදින් නොවේ.

මේ යුග පෙරලියෙන් දශක හතරකට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අද සිටිනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. එක අතකින් රටට වැදගත් විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදී වසර හතළිහක් පිරෙන මොහොතක එතුමාගේ දේශපාලන දිවියද සුවිශේෂි කඩ ඉමකට පැමිණ තිබේ. මගේ මතකයේ හැටියට ඔහු සහ මා පළමු වරට මුණ ගැසෙනුයේ 1973 වර්ෂයේදී පැරණි සිරිකොත මන්දිරයේදී ය. ඔහු ගැන සෘණාත්මක පැතිවලට වඩා මම දකින්නේ ධනාත්මක පැතිය. ඔහු සහ මගේ පළමු හමුවේදී මා ඔහුට 'මිස්ටර් රනිල්' යැයි ඇමැතුවේය. එවිට ඔහු මට කිව්වේ '‍රනිල්' කියා ඇමතීම ප්‍රමාණවත් බවය. බොහෝ දෙනා මහ රජාණෝ, රජතුමාණෝ ලෙස වැඩවසම් චින්තනයෙන් තමන්ව ඇමතීමට රුචි කලක එතුමාගේ ඒ ප්‍රවේශය මා දැක්කේ සුවිශේෂ සලකුණක් ලෙසය‍. එමෙන්ම අද මෙරට දේශපාලනයේ සිටින අයකු ගෙන් ලංකාව ගැන, ලෝක දේශපාලනය ගැන, ආර්ථික විද්‍යව ගැන යමක් විමසුව‍ හොත් සෘජු ‍එමෙන්ව වැදගත් පිළිතුරක් ගත හැකි නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවේ. ඔහුගේ දැනුම සුවීශේෂීය. එමෙන්ම එය දිනෙන් දින අලුත් වීම මා දක්නා විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය ගත්විට අප පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු දේශපාලනයට පිවිසියේ ගම්වලිනි. නැත්නම් ශිෂ්‍ය දේශපාලනය, තරුණ දේශපාලනය, බල මණ්ඩල හරහාය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා, සහ ටිරෝන් ප්‍රනාන්දු මහතා වැනි තෝරාගත් තරුණ නායකයන් කිහිපදෙනකු උගත්කම, දැනුම සහ පසුබිම මත ‍තෝරාගන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව 1977 පිහිටුවනු ලැබු ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ ඒ මහතාය. එකල විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ හමීඩ් මහතා නිතර නිතර විදෙස් ගතවීම නිසා කැබිනට් මණ්ඩලයට නිතරම සහභාගී වීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබිණි. මේ නිසා කෙටි කලකින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට ඔහුට හැකිවිය.

‍එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුල් පසුබිම, එතුමාට දේශපාලන‍යේදී පැසුණු නායකයෙක් ලෙස කටයුතු කිරීමේ පසුබිම සැලසුවේය. අපගේ නිදහස් සටනේ වීරව‍රයෙකු වන ඩී.ආර්.විජේවර්ධන මහතා එතුමා‍ගේ මවගේ පියා විය. එතුමාගේ මෑණියන්ට හොඳ බෞද්ධ පසුබිමක් තිබිණි. ඔහුගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමසමාජ පක්ෂයේ නායකයෙක් විය. ඒ නිසා සමාජ සාධාරණත්වය පිළිබඳ ආභාෂයත් ඔහුට පිය උරුමයෙන් ලැබෙන්නට ඇත.

එතුමා තරුණ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටිනවිට ජාතික තරුණ සේවා සභාවේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව මා හට ලැබිණි. එහිදී එතුමා මෙරට තරුණයනට අමතක නොවන මතක සටහන් රැසක් ඇති කළේය. ඒ අනුව ඇතිකළ යෞවන සමාජ ව්‍යාපාරය හරහා දේශපාලනයට විශාල පිරිසක් පැමිණියේය. නිස්කෝ ව්‍යාපාරය, තරුණ මධ්‍යස්ථානය, උපාධිධාරී රැකියා ස්ථාපන කමිටුව, බෙල්වුඩ්, නිපොන් ජපන් හුවමාරු වැඩසටහන, අධ්‍යාපන පීඨ, පිරිවෙන් අධ්‍යාපනය සවිමත් කිරීම වැනිදේ එතු‍මා එකල ඇරඹූ සුවිශේෂී වැඩසටහන්ය. 77න් පසු අප ඇති කළ නිවාස වැඩපිළිවෙළ සහ තරුණ කටයුතු පිළිබඳ ගෙන ගිය වැඩපිළිවෙළ ලෝකයේ ආදර්ශවත් ව්‍යාපෘති විය. ලෝකයේ බොහෝ තරුණ සංවිධාන අපේ තරුණ වැඩපිළිවෙළින් ආදර්ශ ගත් බව ද මෙහිදී කිව යුතුය.

අද දවසේ රටේ තත්ත්වය ගැන සැලකීමේදී බොහෝ දෙනා ආර්ථිකයේ සුබවාදී ගමනක් බල‍පොරොත්තු වෙති. ‍එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටවත් මෙහිදී මැජික් විසැඳුම් ක්‍රියාත්මක කළ නොහැකිය. ඒ මෙයට පෙර පැවැති ආණ්ඩු විසින් පිළිගත් අන්තර් ජාතික නීති පවා නොතකමින් ණය රැගෙන තිබීම නිසාය. එහෙත් රටේ පවතින ඒ අර්බුදය ව‍ඩා හොඳ දැක්මක් ඔස්සේ විසැදෙමින් තිබේ. එම අභියෝගය ආණ්ඩුව මැනවින් කලමනාකරණය කරමින් තිබේ.

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන 

අදහස්