ජේ.ආර්. හා රනිල් සමඟ ඡන්දෙ කළ හැටි තාම මතකයි | සිළුමිණ

ජේ.ආර්. හා රනිල් සමඟ ඡන්දෙ කළ හැටි තාම මතකයි

සියවසක් ගෙවී ගොසිණි. සැබවින් ම, සියවසකුත් දෑවුරුද්දකි. ලෝකය වෙනස් වනවා යැයි කීවාට, ගෙවුණු මේ අවුරුදු 102 තුළ තමන්ට හුරු පුරුදු කිසිවක් එතරම් වෙනස් වී නැතැයි ඔහුට සිතෙයි.

විසල් වත්ත පිටිය... ගහකොළ... අවුරුදු හැට හැත්තෑවක් පරණ නිවෙස තවමත් එලෙසමය.

පරම්පරා දෙක තුනක් ගතවුණද නිතර මිනිසුන් යන එන තැනක් බවට පත්ව ඇති, ලියනගේ ජයසේකර නොහොත් රෝහණ මුදලාලිගේ යූ.ඇන්.පී. පාට ගෙය, තවමත් නොදන්නා කෙනෙක් පළාතේ නැත. ඒ බව ඔහු ද දනී. සිතට දැනෙන්නේ සතුටකි.

දෙල්ගොඩ හන්දියෙන් එක් අතකට දිවෙන පූගොඩ පාර, එකල අද මෙන් ජනාකීර්ණ නොවිණි. ඡන්ද වැඩ වෙනුවෙන් යන ගමන්වලදී පූගොඩ තාර පාරෙන් පන්සල පාරට හැරෙන ජේ.ආර්. මහත්තයා ගේ නඩය කරත්ත පාර දිගේ විත් මේ මිදුලට ගොඩවූ යුගය ඔහුට අදත් මතකය. එකල ඔහු, එක්සත් ජාතික පක්ෂයේ ගමේ ශාඛා සමිතියේ සභාපතිවරයාය. එදා පටන් පක්ෂයට කළ වැඩ කොටස හිතට සතුටකි. ඊට කලකට පසු රනිල් මහත්තයාගේ නඩය ද එසේ ම ආහ. වරක් නොව කිහිප වරකි.

කිරිබත් කෑල්ලක් කෙසෙල් ගෙඩියක් කා තේ කෝප්පයක් බොන ජේ.ආර්. මහත්තයා, රෝහණ මුදලාලි සමඟ පක්ෂය පිළිබඳ කතා කරයි. ප්‍රදේශයේ ඡන්ද කටයුතු පිළිබඳ සොයා බලයි.

ජේ.ආර්. යුගය අවසන් වෙත් ම, ඊළඟට පක්ෂ නායකත්වයට එන්නේ කවුරුන්දැයි බියගම ජනතාව මෙන් ම රෝහණ මුදලාලි ද සිටියේ විමසිල්ලෙනි.

රනිල් වික්‍රමසිංහ නම් ඉලන්දාරියකු පක්ෂයට එකතු වී ඇති බවත් ඔහු ජේ.ආර්. මහත්තයාගේ බෑණා කෙනකු බවත් රෝහණ මුදලාලිට ආරංචි වී තිබිණි.

“එක දවසක් අපිට ආරංචි වුණා, ඒ රනිල් මහත්තයා රක්ගහ වත්තෙ පාලම ළඟ ගෙදරකට එනවා කියලා. මායි ගමේ තව කෙනකුයි පයින් ම ගියා. ගිහින් කතා කළා. ‘මං මේ ගමන ඉල්ලන්නයි ඉන්නේ. මට උදව් කරන්න ඕනෑ...’ රනිල් මහත්තයා කිව්වා.

‘අපිටත් ඕනෙ පක්ෂෙ දිනවන්න. අපි ඕනෙ උදව්වක් කරනවා...’ අපිත් කිව්වා. එදා ඉඳලා එතුමා එක්ක දිගට ම වැඩ කළා.

රනිල් මහත්තයා, 77 කාලෙ වල්ගම, මල්වාන, උඩුපිල, කඳු‍ෙබාඩ, දෙල්ගොඩ... ඔය හැම ගමක ම ඇවිද්දා. පක්ෂ සාමාජිකත්වය වැඩි කළා. එතකොටත් මට වයස හැට ගණනක්. ජේ.ආර්. මහත්තයා, කැලණිය ඡන්ද කොට්ඨාසෙ නියෝජනය කරන කාලෙ ඒ මහත්තයාට උදව් කළා වගේ ම, රනිල් මහත්තයටත් අපි උදව් කළා.... ඒ සියල්ල මැද හතළිස් වසරක් ගෙවී ගියේය. රනිල් වික්‍රමසිංහ යනු, දැන් පරිණත දේශපාලනඥයෙකි.

හතර වරක් රටේ අගමැතිවරයාව, වාර්තාවක් ද තබා තිබෙයි.

ඒ ආඩම්බරයේ සතුට මෙන් ම සිහින් අයිතිවාසිකමක් රෝහණ මුදලාලිට ද දැනෙයි. ජේ.ආර්.... රනිල්... එක්සත් ජාතික පක්ෂය... මේ සියල්ලෝ ඔහුට එකම පවුලක් මෙනි.

ඒ ගුණයට කළ ගුණසැලකීමට, අගමැතිවරයා පසුගිය දිනෙක කටයුතු කළේය. ඒ සිය අඛණ්ඩ පාර්ලිමේන්තු ජීවිතයට වසර 40ක් සපිරෙන දා ‘බියගම එක්සත් ජාතික පක්ෂ 77’ බල මණ්ඩල සාමාජිකයන් අරලියගහ මදුරට කැඳවා සුහද හමුවක් පවත්වා, ඔවුන් සමඟ දිවා ආහාරය ගැනීමෙනි.

“එදා මට හරි සතුටක් දැනුණා. 77 කාලෙ මං රනිල් මහත්තයාගෙන් දැක්කෙ හරි ළපටි පාට තරුණයෙක්. එයා කතා කරද්දිත් පොඩි ළමයෙක් වගේ. දැන් කොණ‍්ඩෙ සුදු වෙලා ‍පොඩ්ඩක් විතර වයසට ගියාට තව ම අර ලස්සන තියෙනවා. ඒ කාලෙ ඉඳන් මං රනිල් මහත්තයට හරි ආදරෙයි.”

ඒ, ඔහුගේ සිතට එන සැබෑ හැඟීම්ය. සංස්කරණය කොට ලියන්නට දෙයක් එහි නැත.

“එදා උත්සවේ ඉවරවෙලා එතුමා මාව දැක්කා. ‘ආ...’ කියාගෙන මගේ ළඟට ආවා. ‘සර් මට දැන් 102 යි...’ මං කිව්වා. මං ජේ.ආර්. මහත්තයා අපේ ගෙදර ආපු වෙලාවක ගත්තු පරණ ෆොටෝ ටිකකුත් අරගෙන ගියේ. එතුමා ඒවත් බැලුවා. හරි සුහදව කතා කළා. මං එතුමව එදා දැක්කෙ අවුරුද්දකට විතර පස්සෙනේ...”

අගමැතිවරයාගේ හමුව, ඔහුට පැරණි නෑකමක් අලුත් වූවා මෙනි. ඒ හමුවීමෙන් වියපත් සිතට ගෙනා අප්‍රමාණ වූ සතුට, ඔහු ගේ මුහුණෙහි ලියැවී තිබිණි.

1977 න් පසු බියගම විසල් සංවර්ධනයක් ලැබූ බව නොරහසකි. රෝහණ මුදලාලිට අනුව, රනිල් මහත්තයා මූලික වී බියගම වෙළෙඳ කලාපය ඉදිකළේ මිනිසුන් මැණික් ගැරූ ඉඩමකය. වෙළෙඳ කලාපයත් සමඟ බියගම මහත් ප්‍රසිද්ධියක් ලැබූ නගරයක් වූයේ ඉන් පසුවය.

“1977 බියගම ආසනයේ රනිල් මහත්තයාගේ හැම යූ.ඇන්.පී. රැස්වීමකට ම මං වැඩ කළා. සුරනිමල රාජපක්ෂ මහත්තයා රනිල් මහත්තයගේ ඡන්ද සටනේ පෙරමුණේ සිටියා. ඒ දවස්වල ඡන්ද වැඩවලට ලේසි වෙන්න බියගම පැත්තෙ නවතින්න තැනක් හෙව්වා. ‘මගේ ගෙදර නවතින්න කියලා මං කිව්වා. ඒ මහත්තයට ඉස්සරහා කාමරේ දීලා, කන්න බොන්න දීලා බොහොම ආදරෙන් මං සැලකුවා.

මල්වානේ, පස්දුම්මුල්ල, දෙල්තොට, වල්ගම පැතිවල සුරනිමල මහත්තයා ඡන්ද කටයුතු කළේ එහෙම අපේ ගෙදර නැවතිලා. ඒ දවස්වල ඡන්ද වැඩවලට අපේ ගෙදරටත් නිතර සෙනඟ ආවා...”

අත්වාරුවෙන් හෙමි හෙමින් ගේ පුරා එහා මෙහා ඇවිදින හැම මොහොතකම ඒ අතීතය ඔහු ඉදිරියේ නැ‍ඟී හිඳියි. ඒ, අතීත ආවර්ජනයට ඇති තරම් වේලාවත් පරිසරයක් මේ නිවෙසේ ඇති බැවිනි. බාධා කරන්නට කිසිවෙක් මේ නිවෙසේ නැත.

“මට දරුවො පස් දෙනයි. ලොකු පුතා ධර්මවර්ධන. එයා ජීවතුන් අතර නැහැ. මේ ගෙදර තමයි එයාගෙ දරු පවුල ජීවත් වෙන්නෙ. කමලසීලි මගේ ලොකු දුව. ඊළඟට මොනිකා දුව. ඥානවර්ධන සහ උපාලි පුතාලා ඊට පස්සෙ. මේ පස්දෙනාට දරුවො එකොළොස් දෙනයි. ඒ 11 දෙනාටත් දරුවො 21 ක්. මං දැන් මී මුණුපුරෝ ඉන්න මී මුත්තෙක්. මේ අයගෙන් හුඟක් දෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචිය. හැමෝටම එක එක වැඩ. ගෙදර පාළුයි. ඒ වුණාට මේ සාලෙ පුරා ළමයි දුව පැන නටපු හැටි, ඡන්ද වැඩට සෙනඟ ආ ගිය හැටි මට මතක් වෙනවා. අනික මේ ගමේ මගේ වයසෙ කවුරුවත් නැහැ. මගේ නෝනත් නවසිය අසූගණන්වලදි මිය ගියා. මගේ යුගයෙ හැමෝම මිය ගිහින්. ඒත් මං තව ම අලුත් පරම්පරාව එක්ක...”

1915 ජූලි 07 වැනිදා උපන් ලියනගේ ජයසේකර මහතා, දීර්ඝායු ලැබීමේ වාසනාව ලද්දෙකි. සැලකිය යුතු මතක ශක්තියක් ද තවම ඔහු සතුය.

“මට දෙයක් කියන්න අමතක වුණා. 1942 අප්‍රේල් මාසෙ ජපනා බෝම්බ දැම්මා. ඒ කාලයේ ම ජපන්නු අපේ පැත්තෙ අක්කර දෙසීයක විතර කුඹුරු යායවලට පාසි ගෙනැත් දැම්මා. ජේ.ආර්. මහත්තයා මෙහෙ එනකොටත් කුඹුරු පාසිවලින් වැහිලා. ජේ.ආර්. මහත්තයා මේක දැකලා ආපහු ගියාට පස්සෙ, වල් නාශක බෙහෙත් ගැලුම් හතළිස් පහේ බැරල් හතළිහක් මට එව්වා. මං ගොවිකාරක සභාවේ සභාපති. ගම පුරා මං ඒ බෙහෙත් බෙදුවා. පාසි වඳ වුණා. දේශපාලනේ තිබුණු සම්බන්ධකම් නිසා ගමට පොඩි හරි උදව්වක් කරන්න ලැබුණා. ඒක මට සතුටක්...”

විටින් විට අවදිවන ඔහුගේ මතකය තුළ ‍ජේ.ආර්. මහත්තයා පිළිබඳ තව බොහෝ මතකයන් තිබෙන්නට පුළුවන. රනිල් මහත්තයා පිළිබඳව ද මීට වඩා කතා තිබෙන්නට පුළුවන. විටින් විට වුවද ඒවා සිහිගැන්වෙන එක ඔහුට සතුටකි. පසුගියදා අරලිය ගහ මැදුරට ගිය ගමනින් ඔහු යළි ජීවයක් ලබා ඇති හැඩකි.

“මට පුළුවන් තාක් රනිල් මහත්තයට උදව් කරනවා. වැඩ කරන්න අමාරු වුණත් මං හිතින් තවම එතුමා එක්ක. මගේ පක්ෂෙ එක්ක...” ඔහු පවසන්නේ එහෙයිනි. ඉදින්, අගමැතිවරයාගේ හමුව මේ වියපත් සිතට ගෙනා ප්‍රීතිය ගැන කියන්නට තවත් නම් වදන් කුමට ද... එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා! අග්‍රාමාත්‍යවරයාගේ හතළිස් වසරක දේශපාලන දිවිය පුරා හදවතින් ම වැඩ කළ ඔහුට, දීඝායු පතමි!

ඉනෝකා පෙරේරා බණ්ඩාර 

අදහස්