ඒ කඳුළැලි පිසදමන්න බැරි නම් කුමටද නීතිය! | සිළුමිණ

ඒ කඳුළැලි පිසදමන්න බැරි නම් කුමටද නීතිය!

 අතුරුදන් වුවන්ගේ කාර්යාල පනත හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික සම්මුති පනත් කෙටුම්පත යනු එකක් නොව දෙකක් බව ඒක්කෝ ඒ පිළිබඳ විවේචන කරන සමහරු නොදනිති; එක්කෝ මේ දෙකම එකට පටලවාගෙන නන් දොඩවමින් සිටිති; එසේත් නැත්නම් ඇත්ත බොරුව කුමක් වුවත් ජනතාව නොමඟ යැවීමට දරන දුෂ්ට හා අලජ්ජී වෑයමකි. දේශපාලනයේදී අත්‍යවශ්‍ය වන්නේ සංවර්ධන හා යථාර්ථවාදී විවේචන විනා දෙඤ්ඤම් බැටේ විවේචන නොවේ; එහෙමත් නැත්නම් අලියා සහ අන්ධයන් සිහිපත් කරන විවේචනද නොවේ.

එදා රාජපක්ෂ ආණ්ඩුව මේ රට පාලනය කරද්දී අනුගමනය කළ ඇතැම් ක්‍රියාදාමයන් මෙන්ම ඔවුන්ගේ අභිමතය පරිදි හිතුවක්කාර ලෙස ගත් ඇතැම් තීරණ පිළිබඳවද අද බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. රාජපක්ෂ පාලනයේදී ඉඹලා පිළිගත් චීන්නු අද ඔවුන්ට එකපාරටම වහකදුරු වී තිබීම අපට නම් ගැටලුවකි. චීනයට රට විකුණනවායි මොරදෙන මේ මහත්වරුන්ට එදා තමන් ඔප්පුතිරප්පු ලියා වරාය නගරයට මේ භූමිය සින්නක්කරව පවරා දුන් ආකාරය අමතක වී තිබේද? කොටුවේ ෂැංග්‍රිලා හොටල් සඳහා චීන සමාගම්වලට කොළඹ හදවත බඳු භූමිය පවරා දුන්නෝ කවරහුද? “එහෙන් චීන වරාය නගරයයි. මෙහෙන් චීන හෝටල් ජාලයයි. අපි කෙසේ අත් පා දිග හරිමුදැ?”යි කියමින් පපුවට ගසාගන්නා මහත්වරුන්ගේ දේශප්‍රේමය ගමේ උපමාවකින් කිවහොත් ‘වත්ත බද්දට දී ඇස්සට දත නියවීමකි’.

දේශපාලන මෝල්ලු

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත් වී චීනය සමග මිත්‍ර ලීලාවෙන් කටයුතු කර චීන-ලංකා ගිවිසුම්වල බරපතළකම හෑල්ලු කර නොගත්තේ නම් චීන වරාය නගරය උඩින් ගුවන්යානයක් තබා හෙලිකොප්ටරයක් වත් පියාසර කරවීමට නොහැකි වනු ඇත. ජනතාවගේ භූමියක් මේ ආකාරයෙන් පිටරටකට ලියා දෙන දේශපාලන මෝල්ලු ලෝකයේ කිසිම රටක සිටිත්දැයි අපි නොදනිමු. හම්බන්තොට චීන වරාය සඳහා එදා පොරොන්දු වූ ඉඩම් ප්‍රමාණය අඩු කරගැනීමට පමණක් නොව, ඒ ප්‍රමාණය 30% : 70% ලෙස වෙනස් කරගැනීමටද වත්මන් ජනපතිවරයාට හැකි විය. කොටස් මිල දී ගැනීමේ අනුපාතය මේ රටට හානියක් නොවන ලෙස සකසාගැනීමට හැකි වූවා පමණක් නොව, අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.

අපේම දරුවෝ

චීන විරෝධයේ ඇත්ත කථාව එහෙමය. අපි දැන් අතුරුදන් වූවන් සම්බන්ධ පනත ගැන රටට පෙන්වන භයානක චිත්‍රයේ ඇත්ත නැත්ත ගැනද විමසා බලමු. බටහිර බලවතුන්ගේ උදවු-උපකාරද ඇතිව දෙමළ ඩයස්පෝරාව හා ඇතැම් ඇන්ජීඕ ක්‍රියාකාරීන් විසින්ද කලක් තිස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව නගනු ලබන බරපතළ චෝදනාවක් තිබේ. ඒ පසුගිය බිහිසුණු සමය තුළ සිදු වු අතුරුදන් වුවන් පිළිබඳ රජය විධිමත් විමර්ශනයක් නොකිරීම හා එබඳු අපරාධවලට දායක වූවන් නීතිය ඉදිරියට නොගෙනේමය.

1971, ’83 , ’88- ’89 මෙන්ම එල්ටීටීඊ ගැටුම් පැවති කාලයේදීත් අතුරුදන් වීම් සිදුව නැතැයි කිසිවකුට කිව නොහැකිය. ඒවායේ සැබෑ ගණන්හිලව්ද කිසිවෙක් නොදනිති. පසුගිය සිවිල් යුද සමයේදී හමුදා සෙබළුන් 5100ක් පමණද එසේ අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. සංඛ්‍යාලේඛන කුමක් වුවත් මෙලෙස අතුරුදන් වී ඇත්තේ මේ මහ පොළොවේ උරුමය ලද අපේම දරුවන්, සොහොයුරු-සොහොයුරියන් ඇතුළු නෑයින් බව අපගේ අවංක අදහසය. මේ අතුරුදන්වීම්වල වේදනාවන් වෙනුවෙන් අපේ අම්මලා පමණක් වුවද හෙළූ කඳුළු සාගරයක් බවද අපි දනිමු.

සාසනීය පියවරක්

සිය බඩරස්සාව සඳහා මානවහිමිකම් හා දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් කථා කරන අය මෙන්ම දේශපාලන රැකියාවේ සූත්‍රගත කළ දේශප්‍රේමය තවරාගත් අයද හැමදාමත් කළේත් කරන්නේත් මේ අතුරුදන් වූවන් හා අතුරුදන් කරවීම් පිළිබඳ ප්‍රශ්නය අවුල් ජාලයක් කිරීමය. දෙමළ ඩයස්පෝරාවද මේ අවනඩුව ලෝකයට රැගෙන ගොස් එය යැපීම් මාර්ගයක් බවටද පත් කරගෙන සිටිති.

මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව මේ මානුෂික, සංවේදී ප්‍රශ්නය විසඳීමට හා මතු යම් දිනක එබඳු විපත් සිදු වීම වැළැක්වීම සඳහාද ගත් සාධනීය පියවරක් ලෙස අතුරුදන් වූවන්ගේ කාර්යාලය හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත හැඳින්විය යුතුය. දැනට ජනපතිවරයා විසින් අනුමත කරනු ලැබ ඇත්තේ එකී අතුරුදන් වුවන්ගේ කාර්යාල පනත පමණි. එය බලාත්මක වන්නේ ජනපතිවරයා විසින්ම එය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමෙන් පසුය. අනෙක් වැදගත්ම කරුණ නම් මේ කාර්යාලයට කිසිදු අධිකරණ බලයක් ලබා නොදීමය. එහෙත් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද මේ කාර්යාලය ස්ථිර එකක් වීම නිසා එයට මෙරටේ ක්‍රියාත්මක වූ කමිෂන් සභාවලට අත් වූ ඉරණම අත් වන්නේද නැත. අධිකරණ බලයක් නැති, කොටින්ම හැපීමට දත් නැති වර්ගයේ ආයතනයක් අතුරුදන් වුවන්ට ඉටු කරන යුක්තිය කුමක්දැයි කෙනකු විමසීමට බැරි නැත. මෙහි ඇති වැදගත්ම ලක්ෂණය මෙය හුදෙක් මේ විපතින් වින්දිතයන් බවට පත්ව සිටින, නැතහොත් පීඩාවට ලක්ව සිටින අය වෙනුවෙන්ම කැප වූ ආයතනයක් වීමය.

එදා හොඳයි

 

එනිසා ඒ පවුල්වල සමාජිකයන්ට අතුරුදන් වූ තම නෑයා, හිතවතා පිළිබඳ සත්‍ය වාර්තාවක් ලබාගැනීමට මෙයින් අවකාශ ලැබේ. තම නෑයාට වූයේ කුමක්ද? ඔහු අතුරුදන් කරවීමේ ක්‍රියාවලිය සිදු වූයේ කෙසේද? යනාදී තොරතුරු ඔහුගේ නෑයන්ට ලබාගත හැකිය. අපරාධයක් සිදු වී ඇත්නම් විමර්ශන තොරතුරු අනුව අධිකරණයක් වෙත යෑමටද අතුරුදන් වූ පුද්ගලයාගේ පාර්ශ්වයට හැකි වනු ඇත.

අද ‍මේ කාර්යාල පනතට අනිසි බියක් දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම ප්‍රශ්නය ලෝකයට රැගෙන ගිය බවද අපට මතකය. 1989 දෙසැම්බර් 04 වැනිදා හැන්සාඩ්ගතව තිබෙන්නේ එදා මේ රටට අන්තර්ජාතික රතුකුරුස සංවිධානය පැමිණීම ඔහු අගය කළ බවයි. එසේම බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් හෝ අතුරුදන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමටත්, ඇමිනෙස්ටි අන්තර්ජාතික සංවිධානයටත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත. මේ එදා රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් හඬ නැඟූ ආකාරයයි.

“මේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් අපි ජිනීවාවලට නොවෙයි, අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම තැනකට, නැත්නම් අපායට වුණත් ගිහින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරනවා. මේ රටේ අහිංසකයන්ගේ දුක්ගැනවිලි ලෝකේ කොහේ හිටියත් කියන්න ඕනෑ.” (1990 ඔක්. 25 හැන්සාඩ් වාර්තාව)

‘89, ‘90 වැනි වර්ෂවල අතුරුදන් වීම් වෙනුවෙන් නැඟූ ඒ සිංහනාදයට සිදු වුයේ කුමක්ද? එදා අම්මාවරුන්ගේ අඳෝනාවලින් සසල වූ හදවත කළුගලක් බවට අද පත් වී තිබේද? යන්නට පිළිතුරු දිය යුතුතේද රාජපක්ෂ මහතාම පමණි. මොනවා වුවත් අද මහින්ද පාර්ශ්වය මේ සත්ක්‍රියාවට එරෙහිව බේගල් සමාජගත කරමින් ඒ කඳුළ සුසුම හෑල්ලු කරගැනීමට පීඩිතයන්ගේ අම්මලාට, නෑයන්ට ඉඩ නොදීම දේශපාලන කුහකකමකටත් වඩා මෘග ක්‍රියාවක් නොවේදැයි සිතා බලනු යෙහෙකි.

මානුෂික යුක්තිය

මහින්ද පිලේ විද්වතුන් ලෙස පෙනී සිටින අයත්, අනෙකුත් පදනම් හෝ ගැඹුරක් නැති දේශපාලන විකට චරිතත් අද මේ ආයතනය පිළබඳ ජනතාවට කියන්නේ මොනතරම් කෙප්පද? අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට තිබෙන මානුෂික යුක්තිය රට පාවාදීමක් ලෙස හඳුන්වන්නේ කෙබඳු මානසික තැති ගැනීමකින්දැයි අපට පැහැදිලි නැත.

ලෝක පරිමාව අනුව ගත් කල අතුරුදන් වූවන් පිළිබඳ නරකම වාර්තාව ඉරාකයට තිබෙන බව කියති. ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඔවුන්ට පහළින් වුවද අපේ ස්ථානය මුල් රටවල් තුන හතරට අයත් බවද කියති. රාජපක්ෂ පාලන කාලයේ ඇති කළ පරණගම කොමිසමට අනුව අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 60,000කි. අදටත් මේ කිසිවෙක් ගැන හෝඩුවාවක්වත් ඔවුන්ගේ සමීපතමයෝ නොදනිති.

ඒකාබද්ධ විපක්ෂය මේ පනත සඳහා විරුද්ධ වන්නේ රණවිරුවන් පවා නොදිය යුතුය යන ව්‍යාජය යටතේය. එයින් හඟවන්නේ මෛත්‍රීගේ ආණ්ඩුව රණවිරුවන් පාවා දෙන බවද? මෛත්‍රී යනු එදා මෙන්ම අදත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින නායකයෙකි. මෛත්‍රී යනු රණවිරුවකුගේ පුතෙකි. ගොවියකුගේ පුතෙකි. හේ ජනාධිපතිවරයා ලෙස මේ පනත බලාත්මක කරන්නේ රණවිරුවන්ට මෙන්ම අතුරුදන් වුවන්ටද යුක්තිය ඉටු කිරීමටය. මෛත්‍රී යනු ගොවි බිමෙන්, වැඩබිමෙන් මානව හිමිකම් උගත්තෙකි. රාජ්‍ය නොවන සංවිධානවලට හෝ අන්ත ජාතිවාදයට හෝ අවනත නොවන එහෙත් යුක්තිය හා සාධාරණය උදෙසා බලය හා නිලය අභීතව යොදාගැනීම ඔහුගේ සාඩම්බර ගුණය වී තිබේ.

ඉමිටේෂන් දේශප්‍රේමය

මේ රටේ පහළ වූ අවංක නායකයකු වු ඩීඇස් සේනානායක කලිසම් කෝට් හැඳ සිටි බව සැබෑය. එහෙත් ඔහු තුළ වූයේ ගැමිකමය. ගැමිකම, ගොවිකම ආඩම්බරයක් ලෙස සැලකූ ඩීඇස් බෞද්ධකමද අගය කළේය. තවත් ඒ වර්ගයට ගැනෙන එක් අයෙක් දෙන්නෙක් සිටිති. මෛත්‍රීද අයත් වන්නේත් ඒ විරල ගණයටය. ඒ දේශ‍මිත්වය ඉමිටේෂන්-එකක් නොව හදවත පතුලෙන්ම නැඟුණු පිවිතුරු ගුණයකි. ඩීඇස්ලා ගොවියන් රජ කරවූ ලෙසටම මෛත්‍රීලාද ගොවියන් සුරකිති. පසුගියදා ත්‍රිකුණාමලයේ වැව් 25ක් පිළිසකර කර දුන්නේත් ඒ ගොවි දුක් නිවන්නටය. වැහි බිඳක් ඉල්ලා අහසට දෑත් දිගු කරන ගොවි ජනයාගේ දුක් සිඳින්නටය.

අතුරුදන්වූවන්ගේ පනත

යළි කිසි දිනෙක මේ රටේ යුද්ධයක් සිදු නොවේවා යනු ජනාධිපතිවරයාගේ පැතුමය. අපේ පාරම්පරික දෙමළ නෑයාට, මුස්ලිම් සහෝදරයාට අපට මෙන්ම මේ බිමේ උරුමය තිබිය යුතුයැයි ද ඔහු නිබඳව කියන්නේය. හිමිකම් අහිමි වු, අතැම් විට ගෞරවනීය මරණයක්ද අහිමි වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස්වලට අතපසු වූ ඓතිහාසික යුක්තිය ඉටු කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතට ඔහු සිය අනුමැතිය ලබා දෙයි. රටක් වශයෙන් අප මුහුණ දී සිටින දේශපාලන, ආර්ථික හා ආධ්‍යාත්මික අර්බුදය ඔහු අතැඹුලක් සේ පසක් කරගෙන සිටියි. භගවත් ගීතාවේ අර්ජුන මෙන්ම තමන්ද ක්‍රියා කරන්නේ සත්‍යය හා යුක්තිය උදෙසා බව ඔහු අවධාරණය කරයි. තම අසිපතින් කැපෙන්නේ කවරෙක්ද? හිතවතෙක්ද? නෑයෙක්ද? යන්න නොබලා අසිපත නැගීමට ඔහු සූදානම්ය. බැඳුම්කර කොමිසම ඒ අදීනත්වයේද අපක්ෂපාතිත්වයේද ලකුණක් විය. අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතද එබඳුම යුක්තිය වෙනුවෙන් නිම වූ ආයතනයකි. එපමණක් නොව ඒ පනතේ ගැල්වූ විස ඉවත් කර, එය සකස් කරන ලද්දේත් ඔහුගේ දේශපාලන විචක්ෂණභාවය නිසා බවද සඳහන් කළ යුතුය.

වරද කුමක්ද?

දේශපාලනය යනු බලය පිළිබඳ ක්‍රියාදාමයක් වුවද ඒ බලය මංකොල්ල කෑමට ඉඩ දිය යුතු නැත. මෛත්‍රී යනු බල පීඩනයෙන් විඩාවට පත්ව සිටි ජනතාවගේ ප්‍රාර්ථනාව විය. මේ මහ පොළොවෙන් මතු වු රජරට ගැමියා නිල බල ඇති අප්පුහාමිලාට දිරවන්නේ නැත. ලෝකයේ ප්‍රබල නායකයන් ආසියානු රටක පුංචිම නායකයාට දක්වන සැලකිල්ල ඔවුන්ට ඔරොත්තු දෙන්නේද නැත. අවුල් හදන අය කෙළවරක් නැත. වර්ජන, තර්ජන, ගර්ජන වීදිසංචාරය කරන්නේ දවල්-රෑ දෙකේදීමය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා කලබල නොවෙයි; කළ යුත්ත කරයි. රටේ ආර්ථිකය හිතුමතයට ඇදගෙන යන කණ්ඩායම්ද අද ඔහු දෙස විමතියෙන් බලති. ආර්ථිකය මෙහෙයීමේ යතුරු අතට ගන්නට ඔහුට අවශ්‍යය. සමාජ, සාධාරණයේ කෝදුව අතට ගන්නට ඔහුට අවශ්‍යය. අනුන්ගේ පව් කර ගැසුවා ඇති බව ඔහු තේරුම් ගෙන තිබේ.

මේ රටට, මේ රටේ නැති බැරි එකාට ජීවිතයක් ලබා දීම ඔහුගේ දේශපාලනයයි. හිමිකම් අහිමි වූ අයට හිමිකම් ලබා දීම ඔහුගේ දේශපාලනයයි. ජනතාවගේ ධනය පොදු දේපොළ හොරාගත් අය කලබල වන්නේ ඒ නිසාය. ඒ ගමන නැවැත්වීමට ඔහුට එරෙහිව සන්ධානගත වන්නේද ඒ නිසාය.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීම පනත තවම අස්සන් කර නැත. එහිද සැඟවුණු අරමුණු නැත. එහි පරමාර්ථය පිරිසුදුය. මතු කිසිම දිනක බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැනි අපරාධ අහෝසි කිරීම් ඒ පනතේ අරමුණ වී තිබේ. එබඳු සත්ක්‍රියාවක් දුෂ්ට අපරාධයක් ලෙස හඳුන්වා ජනතාව මුළා කිරීම නිහීන ක්‍රියාවකි. පුද්ගල අයිතිය සුරක්ෂිත කිරීම සඳහා නීති රාමුවක් සැකසීමේ වරද කුමක්ද? මනුෂ්‍යත්වය ගරු කරන මිනිස් සමාජයක් බිහි කිරීමටත් බියෙන් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමටත් නීතියක් සම්මත කිරීම අපරාධයකැයි කිව හැකිද?

කෙසේ හෝ වේවා මේ ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සඳහා ව්‍යවස්ථා සභාව මගින් කරනු ලබන පත්වීම්වලින්ද එයට හැඩයක් ලැබෙන බව ආණ්ඩුවට පෙන්වා දිය යුතුය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට අයත් ජාතික හා සංස්කෘතික දැක්මකින් තොරව ඊනියා මානව හිතවාදීන් ලෙස කුප්‍රකට චරිතද මෙවැනි කටයුතුවලදී ළං කර නොගත යුතුය. යම් ආයතනයක ඵලදායිත්වය හා වටිනාකම් මනිනු ලබන්නේ එය මෙහෙයවනු ලබන අයගේ වටිනාකම් සාරධර්ම හා අගය කිරීම් පිළිබඳ ජනතාව තුළ තිබෙන ගෞරවය හා විශ්වාසයද අනුවය.

සුමේධ ජයබාහු

අදහස්