කසළ කළමනාකරණය මෙහෙම කරමු

 කැළි කසළ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ජනගහනය වැඩිවත්ම භාවිතයට ගනු ලබන භාණ්ඩ ප්‍රමාණය වැඩි වේ. අනෙක් අතට තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. එහෙව් කල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුව මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටලුවක්ද නොවේ. මේ තත්ත්වයට අපට විසඳුමක් ඇත්තේම නැද්ද?  පරිසරයට එකතුවන කුණු කළමනාකරණය කරගන්නට කළ හැකි දෑ කිහිපයක් ගැන සටහනක් තබන්නට අප කල්පනා පාඨක ඔබේ අවධානයත් ඒ වෙත යොමු කර ගැනීම සඳහායි.

ප්ලාස්ටික් භාවිතයට වාරණ

අද වනවිට බොහෝ දේ සඳහා අපි ප්ලාස්ටික් භාවිතයට ගනිමින් සිටින්නෙමු. ප්ලාස්ටික් යනු අධික ස්කන්ධයක් සහිත කාබනික බහු අවයවක හැටියට හඳුන්වන්නට පුළුවන. මේ බහු අවයවක භාවිතය ඈත අතීතය දක්වාම විහිදී යන බව විද්‍යාඥයෝ පවසති. එසේ වුවත් ඒ අතීතයේදී මිනිසා භාවිතයට ගත්තේ ජෛව ව්‍යුත්පන්න සහිත බහු අවයවක බව දැක්වේ. ලෝකය කාර්යබහුල තැනක් බවට පත් වනවිට කෘත්‍රිමව නිෂ්පාදනය කරගත් බහු අවයවක භාවිතය වැඩි වන්නට පටන් ගත්තේය. මේ තත්ත්වය වඩාත් හොඳින්ම දැකිය හැකි වන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. කාර්මික විප්ලවයත් සමඟ - එනම් එක්දහස් අටසිය ගණන්වලදී, කාර්මික රසායනික විද්‍යාව දියුණු විය. එතැන් පටන් පුදුමාකාර වේගයකින් ප්ලාස්ටික් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, ප්ලාස්ටික් නිෂ්පාදනය සහ ප්ලාස්ටික් භාවිතය සමාජය තුළ ප්‍රචලිත විණ. අද වනවිට බ්‍රිතාන්‍යය තුළ පමණක් වසරකට ටොන් මිලියන 5ක පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් භාවිතයට ගැනෙන බව පැවසුවහොත් සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත.

ප්ලාස්ටික් විවිධ ස්වරූපවලින් භාවිතයට ගැනේ. බෝතල්, බෝතල් මූඩි, භාජන ආදියට මෙන්ම ප්ලාස්ටික් බෑග්, බත් ඔතන කොළ ආදිය වශයෙනුත් එය භාවිතයට ගන්නා බව රහසක් නොවේ. මෙසේ භාවිතයට ගැනෙන ප්ලාස්ටික්වලින් විශාල ප්‍රමාණයක් නොදිරන සුලුය. එනිසා ඒවා පරිසරය තුළ එකතුවීම නොවැළැක්විය හැකිය. අප කළ යුත්තේ එක්කෝ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයයි. නැත්නම් දිරනසුලු ප්ලාස්ටික් භාවිතයට ගැනීමයි. ඒ හැරුණු විට නොදිරන ප්ලාස්ටික් පරිසරයට එකතුවීම වැළැක්වීමට අවශ්‍ය නීති රීතිත් සම්පාදනය විය යුතුව තිබේ. මිනිස් චර්යාවන් නීති රීතිවලට පාලනය කළ හැකිද යන්න අනෙක් ගැටලුවයි. එනිසා ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඉතා විධිමත්ව රැගෙන යෑමද අනිවාර්ය අංගයකි.

කඩදාසිවලින් ඩිජිටල්වලට

කුණු වශයෙන් එකතුවන තවත් ප්‍රධානම දෙයක් වන්නේ කඩදාසිය. ඉවක් බවක් නැතිව කඩදාසි භාවිතයට ගැනීම ගැන සමාජය තුළ එතරම් කතා කිරීමක් සිදුවන්නේද නැත. එසේ වුවත් 2015 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ එවකට ජනාධිපතිවරයාව සිටි බරක් ඔබාමා ඒ ගැන ඉතා තදින් කතා කළේය. ඔහු එහිදී කියා සිටියේ ඉතා ඉක්මනින් තම රට මුළුමනින්ම ඩිජිටල් පද්ධතියකට යා යුතු බවකි. ඒ සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් සකසන්නට බැරක් ඔබාමා අනුමැතිය පවා ලබා දුන්නේය. කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් තත්ත්වයේ ලියකියවිලි භාවිතයට ගැනීම කාලය, මුදල් මෙන්ම අවකාශයද පිරිමසා දෙන්නකි.

පසුගිය වසර 40ක කාලය තුළ ලෝකය පුරා කඩදාසි භාවිතය 400%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවලින් අනාවරණය වේ. ඒ අනුව කුණු කඳු මතට කඩදාසි එකතුවීම 40%කින් පමණ අමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් වැඩි වී ඇත. ප්‍රමාණාත්මකව දැක්වුවහොත් අමෙරිකාව තුළ කුණු ගොඩවලට අද වනවිට එකතුවන කඩදාසි ප්‍රමාණය වාර්ෂිකව ටොන් මිලියන 71.6කි. මේ සංඛ්‍යා ලේඛන අනුව වසරකට ලෝකය පුරා කුණු ගොඩවලට එකතුවන කඩදාසි ප්‍රමාණය කොතෙක්දැයි අනුමාන කිරීම අපහසු නැත. ඩිජිටල් පද්ධතිවලට හුරුවීම කාලීන සමාජ අවශ්‍යතාවක් බව අප පසක් කර ගතයුතුව ඇත.

සිගරැට් කොට පරිසරයට එකතුවීම අවම කිරීම

මහමඟ ගමන් ගන්නා විට සිගරැට් කොට වැටි තිබෙනු අප ඕනෑ තරම් දැක ඇත. අමෙරිකා එක්සත් ජනපදනය වැනි ඇතැම් රටවල මහමඟ ඇති අපද්‍රව්‍යවලින් 38%ක ප්‍රමාණයක ඇත්තේ සිගරැට් කොට සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන බව සනාථව තිබේ. ඕනෑම රටක වෙරළ තීර, උද්‍යාන වැනි සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල පරිසරය තුළ සිගරැට් කොට බහුලව දකින්නට පුළුවන. සිගරැට් කොට දිරා යන්නේ නැත. මෙනිසා ඒවා පරිසරය තුළ දීර්ඝ කාලයක් පවතී. එහි ඇති වඩාත් බරපතළම තත්ත්වය, සිගරැට් කොට තුළ තිබෙන දුම්කොළ නිසා ඒ ආශ්‍රිත විෂ ද්‍රව්‍යද පරිසරයෙහි දීර්ඝ කාලයක් තිබීමය. එබැවින් සිගරැට් කොට ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇත. අමෙරිකා එක්සත් ජනපදනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් එවැනි වැඩපිළිවෙළක් සාර්ථකව සහ තිරසාරව ක්‍රියාත්මක වනු දැකිය නොහැකිය.

කොම්පෝස්ට් භාවිතය

2012 වසරේදී ලෝක සංවිධානයක් නිකුත් කළ වාර්තාවලින් දැක්වෙන්නේ ඒ වසරේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලීන් තුළින් එකතු වුණු ටොන් මිලියන 26කට අධික අපද්‍රව්‍යවලින් 5%ක් පමණක් ඉඩම් ගොඩකිරීම වැනි කර්තව්‍යයන්ට නුසුදුසු බවකි. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ඇතිවන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි බවත් වාර්තාවන්හි සඳහන් වේ. මේ තත්ත්වය වඩාත් හොඳින් පෙනී යන්නේ අපේ මුළුතැන්ගෙවලින් එදිනෙදා එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලීමේදීය. ඒ අපද්‍රව්‍ය අතර වැඩිපුරම තිබෙන්නේ පහසුවෙන් දිරා පත්වන දේවල් නොවේද? ඒවා ඇසුරු කරගෙන පොහොර නිෂ්පාදනය කර ඒ පොහොර භාවිතයට හුරුවුව හොත් අතන - මෙතන දමා යන කුණු ප්‍රමාණය කෙතරම් අඩු වනු ඇතිද?

කැළිකසළ කටයුතුවලට නව සූත්‍ර

කැළිකසළ ඉවත් කිරීම, ප්‍රතිචක්‍රීකරණය, නැවත භාවිතය යනාදී ක්‍රියාවලීන් සඳහා නව තාක්ෂණය මුසු වීම යුගයේ අවශ්‍යතාවකි. 2013 වසරේදී එවැනි නිර්මාණයක් බිහිවිය. එය ඉදිරිපත් කළේ ස්වීඩනයේ අධ්‍යයන ආයතනයක ශිෂ්‍යයකු වන ඔමෙර් හසිඔමෙරොග්ලූය. මේ නිර්මාණය ඉදිරිපත් කෙරුණේ ගොඩනැඟිලි සකස් කිරීමට යොදාගෙන තිබෙන කොන්ක්‍රීට් පළුදු නොවන අන්දමට ඉතා සීරුවට ඉවත්කර ගැනීම සඳහාය. ගොඩනැඟිල්ලක් බිඳ දැමීමේදී මෙතෙක් අප කළේ බිත්ති සමඟ කොන්ක්‍රීට්ද කඩාබිඳදැමීම මිස අනෙකක් නොවේ. නව උපකරණය භාවිතයෙන් බිත්තිවලින් කොන්ක්‍රීට් වෙන් කරගන්නට පුළුවන. එසේ වෙන්කර ගන්නා කොන්ක්‍රීට් නැවත භාවිතයට ගන්නට හැකියාව ඇත.

අපද්‍රව්‍යවලින් බලශක්තිය

ලොව ඇතැම් රටවල් අපද්‍රව්‍යවලින් විදුලි බලය නිෂ්පාදනය කරන්නට පෙලඹී ඇත. එය සිදු කරන්නේ අපද්‍රව්‍ය දහනය කිරීමේ ක්‍රියාවලිය හරහායි. අපද්‍රව්‍යවලින් බලශක්තිය නිෂ්පාදනය කිරීමට පසුබිම නිර්මාණය වුණේ අපද්‍රව්‍ය දහනය කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම ඇරඹීමත් සමඟයි. එවැනි යන්ත්‍රයක් පළමුවෙන්ම නිෂ්පාදනය කෙරුණේ 1874දී බව දැක්වේ. එය බ්‍රිතාන්‍යයේ නොටිංහැම්හිදී නිෂ්පාදනය කෙරී ඇත. දහනය කිරීමේ ක්‍රියාවලින්ද නොයෙක් අංශු වර්ග, වායු වර්ග වායුගෝලයට එකතු වන බව සත්‍යයකි. එහෙත් අපද්‍රව්‍ය දහනය සඳහා මේ වන විට භාවිතයට ගැනෙන්නේ එසේ නිර්මාණය කර වැඩි දියුණු කරන ලද යන්ත්‍රයි.

දිරාපත් වන ප්ලාස්ටික් භාවිතය

දිරන ප්ලාස්ටික් ජෛව ප්ලාස්ටික් වශයෙනුත් හැඳින්වේ. මේ ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමට යොදා ගැනෙන්නේ පුනර්ජනනී අමුද්‍රව්‍යයයි. ජෛව ප්ලාස්ටික් මත ක්ෂුද්‍ර ජීවින් ක්‍රියාකාරිත්වයක් ඇති වූ විට ජෛව ප්ලාස්ටික් අවසානයේදී කාබන්ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වේ. එනිසා අවසානයේදී මිහිමත කැළිකසළ හැටියට ඒකරාශී වන දෙයක් නැත. දිරාපත් වන බෑග් මෙහිලා නිදසුනක් හැටියට දක්වන්නට පුළුවන. එවැනි බෑග් බිලියන 500 සිට ට්‍රිලියන එක දක්වා වූ ප්‍රමාණයක් වාර්ෂිකව දැනට ලෝකය පුරා භාවිතයට ගැනෙන බව වාර්තාවල දැක්වේ.

භාවිතයෙන් ඉවත් කෙරෙන විද්යුත් මෙවලම් ප්‍රතිචක්‍රීකරණය

2012 වසර වන විට වසරකට විද්යුත් මෙවලම් ටොන් මිලියන 48.9ක් පමණ අපද්‍රව්‍ය හැටියට පරිසරයට එකතු වන බව අනාවරණය විණ. මෙලෙස පරිසරයට එකතුවන විද්යුත් මෙවලම් තුළ උග්‍ර විෂ සහිත රසායනිකයන් අඩංගුය. සංවර්ධිත රටවලින් බැහැර කෙරෙන එවැනි විද්යුත් අපද්‍රව්‍ය බොහෝ විට තුන්වන ලෝකයේ රටවල පරිසර පද්ධතීන් තුළට එක් කෙරෙන බව නොරහසකි. තුන්වන ලෝකයේ රටවලදී ඒවා ප්‍රතිචක්‍රීකරණයක් සිදුවන්නේද නැත. භාවිතයෙන් ඉවත් කෙරෙන විද්යුත් මෙවලම්වලට අවසානයේදී කරන්නේ කුමක්ද යන්න ගැටලුවක් මුත් විද්‍යුත් මෙවලම් භාවිතය අඩුවන්නේ හෝ ඒවා අපද්‍රව්‍ය හැටියට පරිසරයට එකතුවීම අඩු වන්නේ හෝ නැත. භාවිතයෙන් ඉවත් කර අපද්‍රව්‍ය හැටියට පරිසරය තුළ ගොඩගසන විද්යුත් මෙවලම්වලට අවසානයේදී කුමක් කරන්නේද යන්න ගැන ලෝකය තුළ විධිමත් කතිකාවක් ඇති විය යුතු බව මේ නිසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මංජුලා විජයරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.