අනාගතයේ ගොවිපොළ කරවන බහුකාර්ය | සිළුමිණ

අනාගතයේ ගොවිපොළ කරවන බහුකාර්ය

 මිනිසා කෘෂිකාර්මික ජීවිතයකට හුරුවීම මානව ශිෂ්ටාචාරයේ ඉතා සුවිශේෂ සන්ධිස්ථානයක් හැටියට සැලකේ. ඒ තත්ත්වයට මිනිසා ළඟා වූයේ වසර දහස් ගණනක් පුරා ඔහු ලත් අත්දැකීම් සහ දැනුම උපකාරී කරගෙනය. එහෙව් ඇරඹී කෘෂිකර්මාන්තය තුළ අද වන විට ඉතා ඉහළ තාක්ෂණයක් පාවිච්චියට ගෙනෙනු දක්නට පුළුවන. කෘෂිකාර්මික කටයුතු තුළ කෙරෙන තාක්ෂණික යෙදවුම මෙතැනින් නවතින්නේ නැත. විද්‍යාඥයන් ප්‍රකාශ කරන අන්දමට මිනිසුන් රහිත මෙවලම් රැසක් කෘෂිකාර්මික බිම් මත ඉදිරියේදී භාවිතයට ගැනෙනු ඇත. පොළොව සැකසීම, බීජ සිටුවීම, කෘෂි රසායනික ද්‍රව්‍යය ඉසීම යනාදී සෑම සියලු අංශයකම එවැනි මෙවලම් භාවිතය සුලබ වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එක්සත් රාජධානියේ හාපර් ඇඩම්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට තුඩුදෙන පර්යේෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇත. මේ පිරිස කෘෂි ඉංජිනේරු අංශය නියෝජනය කරන පිරිසකි. ධාන්‍ය වර්ග වගා කිරීමේදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ ට්රැක්ටරයක් නිර්මාණය කිරීමට මේ පර්යේෂකයෝ සමත්ව සිටිති. ට්රැක්ටරය වගා බිම තුළ හසුරුවන්නට රියදුරකු සහ සහායකයකු අවශ්‍ය වන්නේ නැත. නමුත් පොළොව ඩ්‍රිල් කිරීම, බීජ ඉසීම, කෘෂි රසායනික ද්‍රව්‍යය ඉසීම යන සෑම කාර්යයක්ම මේ ට්රැක්ටරය භාවිතයෙන් කරගන්නට පුළුවන. ට්රැක්ටරය පාලනය කෙරෙන්නේ පාලක කාමරයක් මඟිනි. පාලක කාමරයෙහි කටයුතුවලට ඒ සඳහාම විශේෂයෙන් පුහුණු කළ ශිල්පීන් යොදාගන්නට සිදු වන බව විද්‍යාඥයෝ පවසති. මිනිසුන්ගේ පාලනයෙන් තොරව භාවිතයට ගැනෙන මෙවැනි උපකරණ වගාබිමට හඳුන්වාදීම වගාවන් නිවැරදිව කරගෙන යාමට රුකුලක් වේද යන්න මීළඟ ගැටලුවයි. පර්ය්ෂණය සිදු කරන ජොනතන් ගිල්, කිට් ෆ්රැන්ක්ලින් සහ මාර්ටින් අබෙල් යන විද්වතුන් තිදෙනා පවසන්නේ මෙවැනි උපකරණවල කටයුතු පරික්ෂා කර බලන්නට ඩ්‍රෝන යොදාගත හැකි බවකි. එමෙන්ම බීජ ප්‍රරෝහණය වන ආකාරය අධ්‍යයනය කිරීමටත් ඩ්‍රෝනවලින් ලැබෙන දත්ත පාවිච්චියට ගැනීමට හැකියාව ඇත. ධාන්‍ය වගාබිම්වල මහා පරිමාණ වශයෙන් කෙරෙන වගා කටයුතු පරික්ෂාකර බලන්නට ශස්‍යය විද්‍යාඥයන් ඒ ඒ වගා බිම්වලට පැමිණීම අවශ්‍ය නැති බවත් ඔවුහු පෙන්වා දෙති.

“... කෘෂිකාර්මික කටයුතු සහ රොබෝ තාක්ෂණය එකට ඈඳීම ගැන අපි සාකච්ඡා කරමින් සිටියේ. ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධයෙන් අප සතු දැනුමත් එකතු කරලා අපි මේ ව්‍යාපෘතියට අත ගැසුවා. ...” යයි කියා පර්යේෂක ගිල්, බ්‍රිතාන්‍යයේ පළ වන ඩේලි මේල් පුවත්පතට පවසා තිබිණ.

නව තාක්ෂණය භාවිතයට ගෙන ධාන්‍ය වගා කර, වගාබිමක් සකසා ඇති බව පර්යේෂකයෝ පවසති. පස සකසාගන්නටත්, වගා බිම මත බීජ විසිරුවන්නටත් මේ පිරිස යොදාගෙන තිබෙන්නේ ඔවුන් නිර්මාණය කරන ලද ට්රැක්ටරයයි. මේ වන විට බීජ වැපිරීමේ කටයුත්ත නිමා කර ඇති බැව් ඔවුහු පෙන්වා දෙති. දැන් ඔවුන් බලා සිටින්නේ ඒ බීජ ප්‍රරෝහණය වී පැළ ලැබෙන තුරුය. ඒ වන තුරු වගාබිම සිදු වන විපර්යාස අධ්‍යයනය කිරීම ඩ්‍රෝන හරහා දත්ත මාර්ගයෙන් සිදු කෙරෙන බවත් පැවැසේ.

ස්වයංක්‍රියව ක්‍රියාකරන මෙවලම් වගා බිමට හඳුන්වාදීම වගා බිම කටයුතු තාක්ෂණික වශයෙන් ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන්නට බාධාවක් නොවන බව පර්යේෂකයන්ගේ අදහසයි. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් සාමන්‍ය ජනයා තුළ ඇති දැක්ම වෙනස් කිරීමටත් නව මෙවලම්වලට හැකියාවක් ලැබෙනු ඇති බවට මත පළ වේ. මේ පර්යේෂකයන්ගේ මීළඟ ව්‍යායාමය, වගාබිම සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ සෑම කටයුත්තක්ම ඇමුණුමක් ලෙස කරගෙන යා හැකි පරිදි තාක්ෂණය එක් පද්ධතියකට ගොනු කිරීමයි. එවිට හෙක්ටාර ගණන් විශාල ධාන්‍ය බිම් සකසා බීජ වපුරා ඒවායින් අස්වනු නෙලීම දක්වා වූ ක්‍රියාවලිය මිනිසුන් රහිතව කරගෙන යෑමට අවස්ථාව උදාවනු ඇති බව පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

නව තත්ත්වය සෑම අතින්ම හොඳයැයි කියා කෙනකුට පෙනෙන්නට පුළුවන. එහෙත් එතුළ අපේ සාම්ප්‍රදායික ගොවියාගේ භූමිකාව කිනම් තැනකට තල්ලු වේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතු වේ. අනෙක් අතට, යන්ත්‍රසූත්‍ර භාවිතය නිසා පසෙහි ස්වභාවයට බාධා පැමිණෙන්නේයැයි කියා පස සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ හැරුණු විට වෙන් වෙන් වශයෙන් දුර්වල ශාක කෙරෙහි ගොවියකු කරන අවධානය යොමු කිරීමට සමාන කාර්යයක් මේ කුමන ආකාරයේ යන්ත්‍ර සූත්‍රයක් මගින්වත් සිදු වෙතැයි කියා බලාපොරොත්තු වන්නට බැරිය.

මංජුලා විජයරත්න

Comments