එදිනෙදා වැඩ පහසු කරගත හැකි වෙබ් අඩවි කීපයක් | සිළුමිණ

 එදිනෙදා වැඩ පහසු කරගත හැකි වෙබ් අඩවි කීපයක්

ලොව වටා නගරවල වේලාව බලාගන්න http://www.qlock.com

ඔබේ ඈත රටක සිටින ඥාතියෙක් හරි, පෑනේ එහෙම නැත්නම් අද කාලේ හැටියට කීබෝඩ් මිතුරෙක් සමග සම්බන්ධ වෙන්න ඔබ සමාජ ජාල වෙබ් අඩවියක් හෝ වීඩියෝ ඇමතුම් භාවිතා කරනවා ඇති. ඒත් හිතන්නකො එයා හොඳටම නිදාගෙන ඉඳිද්දි ඔබ ඇමතුමක් දීලා “ආ, නිදිද?“ කියලා ඇහුවොත් සිද්ධවෙන ඇබැද්දිය. ඒ හින්දා මීට පස්සෙ ඇමතුමක් දෙන්නට කලින් ඒ නගරයේ වෙලාව බලලා කරදරයක් නැති වෙලාවක ඇණයක් වෙන්න මේ වෙබ් අඩවිය ඔබට භාවිතා කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට වුණත් වෙන රටක ඉන්න තමන්ගෙ පාරිභෝගිකයෙක් හෝ වෙනත් විදේශීය ව්‍යාපාරිකයෙක් සමග සම්බන්ධ වෙන්න මෙය බොහොම උපකාරී වේවි. මෙහි මුල් පිටුවේ පළමු ටැබයෙන් ලෝක සිතියමක් හරහා මේ මොහොත වන විට ලොවට සූර්යාලෝකය පතිත වී ඇති ආකාරය දක්වා තිබීම සිත් ගන්නාසුලු දෙයක්. මේ නිසා වෙනත් මෙවන් සේවා සපයන වෙබ් අඩවිවලට වඩා මෙහි නගරවල වේලාව ටයිප් කරමින් කාලය නාස්ති නොකර පහසුවෙන් එය බලාගන්න පුළුවන්. මෙය වසරක් තුළ අධ්‍යයනය කළොත් ඔබට උත්තර ධ්‍රැවයට සහ දක්‍ෂිණ ධ්‍රැවයට හිරු එළිය පතිත වීමේ විෂමතාව බලාගන්නටත් පුළුවන්.

පරිගණක වයිරස සඳහා ගොනුවක් පිරික්සන්න http://jotti.org

ඔබේ පරිගණකයේ ඇතැම්විට පරිගණක වයිරස ආරක්‍ෂකයක් යොදා ඇති. නූතන වින්ඩෝස් වෙළුමක් භාවිතා කරනවා නම් අවම වශයෙන් ඒ සමග පැමිණෙන වයිරස ආරක්‍ෂණය යොදවා ඇති. වින්ඩෝස් බහුතරය අතර උබුන්ටු වැනි ලිනක්ස් වෙළුමක් භාවිතා කරනවා නම් වයිරස සඳහා ඇති අවදානම ඔබට මඳක් හෝ අඩු ඇති. ඉතින් මේ කුමක් වුවත් ඔබ සතු වයිරස ආරක්‍ෂකය ලොව ඇති සෑම වයිරසයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙමයි කියලා වයිරස් ආරක්‍ෂක සියයක් පමණ ස්ථාපනය කරගෙන පරිගණකයේ වේගය බාල කරගන්නත් බැහැ. අනෙක ඔබ ආරක්‍ෂකය යාවත්කාලීන නොකරනවා නම් අළුතින් බිහිවන වයිරස සඳහා ආරක්‍ෂාවක් නොලැබීම නියත දෙයක්. මේ ප්‍රශ්න සියල්ලම එකවර විසඳගන්නට ඔබට මෙම වෙබ් අඩවිය භාවිතා කරන්නට පුළුවන්. මේ හරහා ඔබ ඊට උඩුගත කරන ගොනුවක් වයිරස් ආරක්‍ෂක විස්සකට අධික ප්‍රමාණයකින් එකවර පරීක්‍ෂා කරවාගන්නට පුළුවන්. පරිගණකයේදී වගේම තමයි, ඔබ ඉහළ ප්‍රමාණයක ගොනුවක් මෙයට යෙදුවොත් එය උඩුගත වෙන්නට සහ පරීක්‍ෂා වෙන්නට ගතවන කාලය ඉහළ යන බව සිහි තබාගන්න අවශ්‍යයයි . මේ හරහා ගොනු ඕනෑ තරමක් නොමිලේ පරීක්‍ෂා කරවාගන්න පුළුවන්.

ආයතනයක දුරකතන අංකය සොයාගන්න http://phonebook.lk/

නූතන දුරකථනවලට පැමිණි ඉලෙක්ට්‍රොනික දුරකතන අංක පොතට පින් සිද්ධ වෙන්නට පොඩි පොතක් තියාගෙන ඒකෙ දුරකථන අංක අත්තා මුත්තාගෙ ඉඳලා ලියලා, හදිසියක් වුණ වෙලාවක මුල ඉඳන් අගටයි - අග ඉඳන් මුලටයි එහාට මෙහාට පෙරළ පෙරළා හිටපු කාලය අහවර වුණා. ඒත් මෙච්චර කාලයක් වෙලත් මම බසයෙදි දැකලා තියෙනවා සමහරු බෑගයෙන් එවන් පොතක් අරගෙන ඒකෙන් ජංගම දුරකථන ඇමතුම් ගන්න අය ඕන තරම්. දුරකතන සමාගම්වලිනුත් දුරකතන නාමාවලි නොමිලේ නිකුත් කළත් සෙල්ලිපි වගේ විශාල සහ බර මේවායෙන් හදිසියට අංකයක් සොයා ගැනීම කෙසේවෙතත් කාටහරි දමලා ගහන්නට නම් පුළුවන්. ඉතින් මේ ඉපැරණි ක්‍රමවලට කොටු නොවී තාක්‍ෂණය අතට ගන්න කාලෙ හරි. මේ වෙබ් අඩවිය ශ්‍රී ලාංකාවේ නිශ්පාදිත වෙබ් අඩවියක්. මේ හරහා ව්‍යාපාරික ආයතනවල සහ රාජ්‍ය ආයතනවල දුරකතන අංක පහසුවෙන් සොයාගන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ ආයතනයේ නම පළමු අකුරු කොටුවේත්, නගරයේ නම දෙවැනි අකුරු කොටුවේත් යතුරුලියනය කර ‘සෙවීම’යි. ඔබ අනුමාන නමක් ඊට ලබාදුන්නොත් ඊට සමාන නම් ඇති අදාළ නගරයේ සියළු ආයතන පෙළගැස්වෙනවා. මෑතදී භාර දෙන්නට පරක්කු වුණු පොතක් ගැන පුස්තකාලයට කියන්න මාතර නගර සභාවේ දුරකතන අංකය සොයන්න අවශ්‍යවුණු වෙලාවේ මෙය මට බෙහෙවින් පිහිට වුණා.

නැණවත් සෙවුමක් කරන්න http://www.wolframalpha.com/

සාමාන්‍යයෙන් කුමක් ගැන හෝ දැනගන්නට අපට අවශ්‍ය වුණාම බොහෝ විට ගූගල් වැනි සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරනවානෙ. හැබැයි එලෙස ලැබෙන ප්‍රතිඵල හෙවත් වෙබ් අඩවි සබැඳුම් වෙත පිවිසිලා ටිකක් අපහසුවෙන් තමයි ඇතැම් දුර්ලභ දේවල් ගැන සොයන්නට අපිට සිද්ධ වෙන්නේ. ඒත් අප යමක් ඇසූ සැණින් ඕනෑම විෂයයකට අනුකූලව පිළිතුරු ලබා දෙන ඉලෙක්ට්‍රොනික සහායකයෙක්ට ඔබ අකැමැති වෙන එකක් නැහැ. මේ වෙබ් අඩවිය හරහා ඔබට ගණිතය, කලාව, සාහිත්‍යය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, කාලගුණය, වෛද්‍ය විද්‍යාව ආදී පුළුල් විෂය පථයකින් යුත් තොරතුරු රැසක් විමසන සැණින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පරිගණක තාක්‍ෂණයේදී සහ නිෂ්පාදනවලදී පළමු අස්ථායී වෙළුම සඳහා ඇල්ෆා යන නාමය භාවිතා කරනවා. මෙම සේවාවේ නාමය සඳහාම එය භාවිතා කිරීමෙන් ඉඟි කරන්නේ කෙතරම් ඉගෙන ගත්තත් එය අවසන් නොවන බව නොවේද?

සබැඳිව ලිපිගොනු ලියන්න http://docs.google.com/

මේ සේවාවන් රැසක් ගෙනෙන ගූගල්හි තවත් අගනා සේවාවක්. එදිනෙදා ඔබ ගොනුවක් සංස්කරණය කරන්නට පරිගණකයේ ස්ථාපිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් මිලදීගත් වෙළුමක් හෝ ලිබ්‍රෙ ඔෆිස් වැනි නිදහස් හා නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති. ඒත් ඔබට ඒවා නොමැති වෙනත් පරිගණකයකදී හෝ අළුතින් ගත් ඔබේ පරිගණකයේ එවැන්නක් ස්ථාපනය කරගන්නට අපහසු අවස්ථාවකදී මෙවන් මාර්ගගත කාර්යාල සේවාවක් භාවිතා කිරීම නුවණට හුරුයි. මඳක් මේවාට හුරුවීමෙන් පසුව ඔබට පරිගණකයේ මෘදුකාංගයක් ස්ථාපනය කරගෙන ඩිස්ක ඉඩ නාස්ති කර නොගෙන වෙබ් බ්‍රවුසරයම ගමරාලගෙ අමුඩෙ වගේ මේ වැඩේටත් යොදාගන්නට අවස්ථාව ලැබේවි. මෙහි අනෙක් මෙවන් සේවාවලට සාපේක්‍ෂව ඇති තවත් විශේෂත්වයක් තමයි කිහිප දෙනෙක්ට එකවර ලිපි සංස්කරණය කළ හැකි වීම. එනම්, ඔබේ මිතුරාට යම් ලිපියකට අවසර ලබාදීමෙන් පසු ලොව දෙකෙළවර ඉඳගෙන දෙදෙනාටම එකම ලිපියක් සකසන්නට පුළුවන්. අනෙත් කෙනා ඔබ බලාගෙන ඉද්දිම යතුරුලියනය කරන හැටි දකින්නට ලැබීම ඔබට මහත් විනෝදයක් වනු නොඅනුමානයි.

තඹරු විජේසේකර

Comments