ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව 2020 දී ලොව 70 වැනි තැනට

ලෝක බැංකුවේ ව්‍යාපාර පහසු කිරීමේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව වසර 2020 දී ලොව 70 වැනි ස්ථානයට ළඟාකර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබේ.

මේ අන්දමට ව්‍යාපාර පහසු කිරීමේ ‍රටවල් අතර ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ එළිදැක්වීමට කොළඹ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කැරිණි.

ලෝක බැංකුව, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා රජය, උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය එකට එක්ව මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ එළිදැක්විණි.

ලෝක බැංකුවේ නවතම ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයට අනුව ලොව සෙසු රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ව්‍යාපාර කිරීමේ වාතාවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ තත්ත්වයන් වැඩිදියුණු කරගෙන ඇත. වසර 2017 ව්‍යාපාර පහසු කිරීමේ ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී (EDB) ශ්‍රී ලංකාව තම තත්ත්වය වැඩිදියුණු කිරීමට නව ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ද ලෝක බැංකුවේ අදහසය. මේ වන විට ශ්‍රී ලංකාව එම දර්ශකයෙන් ලොව රටවල් අතර 110 වැනි ස්ථානයේ පසුවේ. වසර හතරකින් (2020) ශ්‍රී ලංකාව ලොව 70 වැනි රට බවට පත්කිරීම නව වැඩපිළිවෙළේ අරමුණයි.

වසර 1977 දී දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය විවෘත කළ පළමු රාජ්‍ය ලෙස සැලකුම් ලැබූ අප රටට, ව්‍යාපාර, ආර්ථික අංශවලින් ඉදිරියෙන් සිටියේ රටවල් 04 ක් පමණි. ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා මැලේසියාව එම රටවල්ය. අද වන විට ශ්‍රී ලංකාව පසුපසට ගොස්, අපට පිටුපසින් සිටි රටවල් ඉදිරියට පැමිණ ඇති ආකාරයක් දක්නට ලැබේ. එසේ නම් අප අද දවසේ සිදුකළ යුත්තේ කුමක්ද?

අප, නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකොට, අඩුම තරමේ ඉදිරි වසර දෙක, තුන තුළ පෙරට ආ යුතුය.

එහිදී ශ්‍රී ලංකාව විසින් ව්‍යාපාර පහසු කිරීමට, රාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල්කාරීත්ව ව්‍යාපාර ඇරඹීමට නම් අනිවාර්යයෙන්ම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව දැනට සියවස් ගණනක හෝ ඊට මඳක් අඩු වයස්වල සිට පැවත එන අණ පනත් වහාම කාලීන අවශ්‍යතා ඉටුවන අයුරින් වෙනස් කළ යුතුය.

රේගුව හා වරාය සම්බන්ධ ගැටලු, නියාමනය හා සම්බන්ධ ගැටලු, බලපත්‍ර ලබාදීම, ලියාපදිංචිය හා අවසර පත්‍ර සම්බන්ධ ගැටලු, ඉඩම් අයිතිය පිළිබඳව ගැටලු, විදේශ විනිමය සම්බන්ධ ගැටලු, ආදායම් හා සම්බන්ධ ගැටලු හා ජලය, විදුලිය වැනි උපයෝගිතා ගැටලු විසඳීමට රජය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව ඇත.

මේ අන්දමට රජය විසින් රාජ්‍ය අංශයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ප්‍රධාන අංශ අටක් යටතේ කඩිනමින් සිදුකිරීමට කාර්ය සාධන බලකායක් නව වැඩපිළිවෙළ යටතේ පිහිටුවීය. එම කාර්යය සාධන බළකා අටේ ප්‍රධානීන්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද අගමැතිවරයා අතින් සිදුකැරිණි.

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිට පවත්නා ව්‍යාපාරයක් වැඩිදියුණු කිරීම දක්වාත්, ඒවා ලියාපදිංචියේ සිට වැඩ ආරම්භ කොට නිෂ්පාදන භාණ්ඩ හා සේවා පිටරට වෙළෙඳපොළට යැවීම දක්වා වූ ක්‍රියාදාමයන් පහසු කිරීමට රාජ්‍ය අංශයේ නිලධාරීන් කැපවීමෙන් කටයුතු කරන අතර, එය තවදුරටත් කඩිනම් හා විධිමත් කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ නව වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකාව ව්‍යාපාර පහසු කිරීමට ගත යුතු නව ක්‍රියාමාර්ග රැසක් වසර 2015 සිටම ක්‍රියාවට නංවා ඇත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කටයුතු පිළිබඳ වූ ඇමැති අනු කමිටුව, මුදල් අමාත්‍යාංශයේ පිහිටි ව්‍යාපාර පහසු කිරීමේ ඒකකය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත වන් ස්ටෝප් ෂොප් වැඩසටහන මේ සඳහා ආයෝජකයින්ට උදව් ලබා දී ඇත.

මේ ආයතනික රාමු තුළ පෞද්ගලික අංශයේ දෙස් විදෙස් ව්‍යාපාරිකයිනට, නව ආයෝජකයිනට ව්‍යාපාර, කර්මාන්ත ඇරඹීමට පහසුකම් සලසා දීමට ක්‍රියාකොට ඇත.

ඊට අමතරව වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග, මංමාවත්, විදුලිබල, ජලසම්පාදනය, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමට රජය කටයුතු කර තිබේ. මේ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට රජය සූදානම්ය.

එමෙන්ම ලොව විශාලතම වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට අපේ අපනයනකරුවන්ට මංපෙත් විවර කිරීමට ලොව රටවල් රැසක් සමඟ අලුතින් වෙළෙඳ ගිවිසුම්, වෙළෙඳ හා ආයෝජන වැඩමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන සිදුකිරීමට රජය කැපවී සිටියි.

චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව, යුරෝපා සංගමයේ අමෙරිකා රටවල් පමණක් නොව අප්‍රිකා මහාද්විපික රටවල් කරා ද අපනයන ගමනාන්ත ළඟා කිරීමට සැළසුම් කොට ඇත.

මේ සියලු උත්සාහයන් තුළින් අලුත් ආයෝජන ඔස්සේ නව ඉහළ වැටුප් සහිත ස්ථාවර රැකියා බිහිවීම, අපනයන අභිමුඛ කාර්මිකකරණයක් ඇතිකිරීම, ප්‍රධාන යටිතල පහසුකම් දියුණු කිරීම, කාර්මික උද්‍යාන බිහිකිරීම සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ ආර්ථික ප්‍රබෝධය සමඟ රටේ ජනතාවගේ ආදායම් ඉහළ ගොස්, අතමිට සරුවීම, ජීවන වියදම පහළ යෑම, උද්ධමනය අඩු මට්ටමකට ළඟාවීම වැනි සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන දිදුළන ආර්ථිකයක් බිහිවනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.