ගේය පද ලීලාවෙන් හෙළි වන කෙටි වීමේ රහස | සිළුමිණ

ගේය පද ලීලාවෙන් හෙළි වන කෙටි වීමේ රහස

“හොඳ රචනය - හොඳ පුවත්පත් ලිපිය මිනිගවුමක් හෙවත් කොට ගවුමක් වනැයි, මා නොයෙක් වර අසා ඇත. කොට ගවුම හෙවත් කොට සාය, විෂයය වැසෙන තරමට දික් විය යුතු ය. රසවත් වන පමණට ඇවිස්සන පමණට කෙටි ද විය යුතු ය!”

මෙය උපුටා ගත්තේ ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ ‘ගේය පද ලීලා’ කෘතියේ පෙරවදනෙනි. දුනුනන් හට පුවත්පත් විශේෂාංග කලාව පිළිබඳ කෙරෙන කරුණු පහදා දීම්වල දී ලේඛකයා මේ අපූරු කියමන් ටික උපුටා දක්වනු මා අසා ඇත. ඉංග්‍රීසි කියමනක් ඇසුරු කර ගනිමින් සිංහල පාඨකයන්ගේ මනසෙහි උපහාස රසයක් ජනිත කරවන අයුරින් බස හැසිරවීමේ ගුණය මෙහිදී කැපී පෙනේ. මේ ගුණය ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ රචනා රීතියෙහි සුවිශේෂ ලක්ෂණයක් බව පෙනේ.

සුප්‍රකට කියමනෙහි ඇති පරිදි ද ගේය පද ලීලාවට ඇතුළත් වනුයේ කෙටි ලියැවිලි සමූහයකි. ඒවා පමණට වඩා කෙටි යැයි බැලූ බැල්මට පෙනුණ ද විෂය ආවරණය කිරීමේ සමත්කම අනුව කෙටි නැත!

මේ ලේඛකයා සමකාලීන ලේඛකයන් අතර ගැදි බස හික්මවා ගැනීමේ ඉහළම සමත්කම් ඇත්තෙකි. ඒ සමත්කම දශක පහකට වැඩි කලක් පාඨකයන් හට ඒත්තු ගන්වා තිබේ. එහෙයින් ඉතා කලාතු‍ෙරකින් ලේඛකයකු හට ලැබෙන වරමක් ඔහුට හිමි වී තිබේ. එ නම් යම් ලේඛනයකින් වගන්තියක් දෙකක් කියවූ විට මේ නම් අසවලාගේ ලේඛනයකැයි කීමේ හැකියාවක්, ඉවක්, සංවේදී බවක් පාඨකයාට ලැබීමයි. මනා ශික්ෂණයක් ඇති පාඨකයකු හට වැටහෙන මේ ගුණය අසිරිමත් අත්දැකීමකි. පාඨකයාට මෙසේ සොම්නසක් ඇති කිරීමෙහි සමත් වූ ලේඛන වහරක් ඇති ලේඛකයෝ විරල වෙත්.‍ සිංහල ලේඛක පරපුරෙහි මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, බී‍.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර සහ එස්.ජී. පුංචිහේවා යනු තමන්ට ම අනන්‍ය වූ ලේඛන රීතියක් ගොඩනඟා ගැනීමට සමත් වූ ලේඛකයෝ වෙති. ඩබ්ලියු.ඒ. අබේසිංහයන්ගේ නම ද ඒ නාමාවලියට ඇතුළත් වෙයි.‍

ඔහු අතිදක්ෂ තීරු රචකයෙකි. ඔහු ලියූ තීරු රචනා කාණ්ඩ ගණනාවක් ඔස්සේ පළ වී තිබේ. ගේය පද ලීලා යනු එනමින් ම ලියූ තීරු රචනා සමුච්චයකි. තීරු රචකයා යනු නිකම් ම නිකං සිල්ලර ලියන්නෙක් නොවේ. විශේෂඥයෙකි. ඒ විශේෂඥ බව එක් විෂයකට ම සීමා නොවේ. විෂයයන් කිහිපයක පැතිරුණු දැනුමැත්තකු වීම තීරු රචනය ප්‍රබල එකක් වීම කෙරෙහි බලපායි. වත්මනෙහි ලෝක මට්ටමෙන් ගත් විට තීරු රචනා විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා ද නිර්දේශ කෙරේ. ඇමරිකන් තීරු රචකයන් අතරින් වඩාත් ප්‍රබලව කැපී පෙනෙන්නේ “වචන හාරසීයේ වෙඩි තබන්නන්” ය. තීරු ලිපිය කෙටි ම කෙටි වීමේ වරදක් නො පෙනේ. අවිවේකී මිනිසාට මහ දිග ලියැවිලි කියැවීමේ ඉස්පාසුවක් ද නැත.

අබේසිංහයන්ගේ තීරු රචනා අතරින් කෙටි ම කෙටි ලියැවිලි හමුවන්නේ ගේය පද ලීලාවෙහි ය. ඔහු තීරු රචනා කලාවෙහි පරිණතිය අත්පත් කරගෙන ඇත. වචන සංඛ්‍යාවෙන් පමණක් නොවේ‍. ලේඛනය ඔස්සේ විදිනන උණ්ඩවල ශක්තිය හා ප්‍රවේගය ද අතිනි.

සිංහල ගීතවංශයෙහි අමරණීය සිහි වටන වන් ගීතවල පදපෙළ ගනිමින් ඊට සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍ර ද ස්පර්ශ කරමින් තීරු ලිපිය ලියැවී ඇත. එක් තීරුවකට ඇතුළත් වන්නේ එක් ගීයකි.

සිංහල ගීත ශ්‍රාවකයන්ගේ අප්‍රමාණ ආදරයට පාත්‍ර වූ අන්න බලන් සඳ, ඉර හඳ පායන ලෝකේ, මොනවද අම්මේ අකුරු ජාතියක්, සැඳෑ කළුවර කුර ගගා විත්, වැලි තල අතරේ, සුදු සඳ එළියේ නල මත පොපියන, ගීත ඇතුළු ගීත තිස් අටක් පිළිබඳ විමර්ශන කෘතියට ඇතුළත් වෙයි.

තෝරාගත් ගීතය පිළිබඳ විවරණය මුලින් එයි. සම්පූර්ණ ගීය ත‍ීරු ලිපියේ අගට එක්වෙයි. මෙය අමුතු ලියවිල්ලකි. කඳු මුදුනට දුක් විඳ නැග සිරිපා දකින්නාක් මෙනි.

මීට දශක කිහිපයකට පෙර අතිශයින් ජනප්‍රියට පත්වූ අනාර්කලී ගීය ගැයූ එච්.ආර්. ජයරත්න ගායකයා මිය ගොස් ය. එසේ වුව ද ගීය තවමත් පවතී. එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවා ගී වැඩසටහන ඔස්සේ මේ ගීය නිතර විකාශය කළ අයුරු ලියුම්කරුට සිහිපත් වේ‍.

සරත් සමේ මඳක් පිපුණු

දෙළුම් කුසුම් කැකුළ ඔබයි

අනාර්කලී

කැකුළු දෙපා පියුම් නැමේ

රස ලීලය හදෙහි මැවේ

අනාර්කලී

පය බැඳී ඒ ගිගිරි වළලු

දෙරණ පුරා නාද නගයි

අනාර්කලී

වහස් බැලුම් තරු කැල්මේ

සැලෙන දෙඅත් විදුලි ලතා

අනාර්කලී

රජ මැඳුරේ දිලෙන ලෙ‍ෙළන

සිහින් සිඟිති පහන් සිළුව අනාර්කලී

සරත් සමේ මඳක් පිපුණු

දෙළුම් කුසුම් කැකුළ ඔබයි

අනාර්කලී ගීයෙහි රචකයා වන මහාචාර්ය තිලක් රත්නකාර ද මේ වනවිට ජීවතුන් අතර නොමැත. ගීයෙහි පද වැල, තනුව, සංගීතය සහ ගායකයාගේ කට හඬ එකල අපගේ සිත් ගත්තේ ය. එසේ වුව ද අනාර්කලීගේ පුරාවෘත්තය අප දැන සිටියේ නැත‍. මේ ගීය දැන් ඉඳ හිටවත් නෑසේ. එසේ වුව ද ගීය පිළිබඳ විවරණය කියවූ කළ ගීය සෙමෙන් ඇසෙනු වැන්න. අනාර්කලී පුරාවෘත්තය ගීයේ නින්නාදය පරිද්දෙන් ම ලේඛකයා අප වෙත ගෙන එයි.

“ඈ නම් සරත් සමේ මඳක් පිපුණු දෙළුම් කැකුළක් බඳු සොඳුරකි.‍ ඇගේ කැකුළු දෙපා - ඒ කියන්නේ, යෞවනයේ භද්‍රම අවධියෙහි වන ඇගේ සියුමැලි දෙපා පියුම් නැටවෙන්නේ හද තුළ රසලීලය වඩවමිනි. ඇගේ පය බැඳි ගිගිරි වළලු දෙරණ පුරා නද දෙන්නේ ය. නෙතු යුගෙන් ඇය හෙළන වහක් බැල්ම, තරු කැට තුළින් එබී බැලීමකි. සැබැවින් ම ඇගේ නෙතු, තරු වැන්න. ඇගේ දෙඅත් සැලෙන්නේ විදුලි ලතාවන් හෙවත් විජ්ජු ලතාවන් සේ ය. මේ ඇය රජ මැඳුරේ ‘දිලෙන ලෙළෙන සිහින් සිඟිති පහන් සිළුවකි.’ රඟන මේ ලිය, රහල් හිමියන් ගේ බසින් කියනවා නම්, සැලෙන පහන් සිළුවකි.”

(ගේය පද ලීලා 157 පිටුව)

අබේසිංහයන්ට හුරු පුරුදු, සෝපාහාසී උත්ප්‍රාසවත් ශෛලිය වෙනුවට ගීතවත් බස් වහරක ශෛලිය මෙහිදී කැපී පෙනේ. එහිදී ඔහු ගද්‍ය රචකයා සහ ගීත රචකයා අතර මායිම සොයා ගත නොහැකි සියුම් ඉසව්වකට යයි. මන් ද ඔහු ද ගීත රචකයකු නිසා ය. ගීත රචකයකු ප්‍රහාරාත්මක ගද්‍ය රචකයකු බවට පත්ව සිටිය ද හංසයකු දියට බසින්නාක් මෙන් ඉඩ ලද සැණින් සුපුරුදු මඟට අවතීර්ණ වනු පෙනේ.

මේ ප්‍රවේශය ඔස්සේ අනර්කාලීගේ චරිතය සම්බන්ධ වන අතීතය ලේඛකයා අප හමුවට ගෙන එයි. ඒ අනුව මෝගල් අධිරාජ්‍යයාව සිටි මහා රණවීර අක්බාර් රජුගේ පුත්‍රයා වන සලීම් කුමරු අනාර්කලී නමැති නගර සෝභිනියක හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් ඇති වන සිදුවීම් දාමය ඔහු විස්තර කරයි. ගීත රචනයෙහි පසු බිම සොයා යන මේ ගමන මනහර ය‍. මේ රචනා සමූහය තමන් සිත් ගත් ගීතාවලියෙහි පෙළෙන් ඔබ්බට රසිකයා කැඳවා යන සුන්දර ගමනක් වැන්න. මේ කෘතිය අබේසිංහයන් අතින් රචනා නොවී එම වර්ගයේ ම වෙනත් දක්ෂ රචකයකු අතින් ලියැවුණා නම් අබේසිංහයන් රචනා කළ ‘අඩවන් වූ දෙනෙතින් ගලනා’ ගීය හෝ ‘මිහි මඬලේ අඳුරු කුසේ’ ගීය පිළිබඳ විවරණයක් මීට එක් වනු නිසැකය. ඒ අතින් ඩබ්ලියු.ඒ. අබේසිංහ ගද්‍ය රචකයාගෙන් එනමින් ජීවත්වන ගීත රචකයාට සිදුවී ඇත්තේ බලවත් වූ අසාධාරණයක් බව නොකියා ම බැරි ය.

අදහස්