පාවහනක් නොමැතිව ළතවූ අපට පාවහනක් ලැබුණා පිනට | සිළුමිණ

පාවහනක් නොමැතිව ළතවූ අපට පාවහනක් ලැබුණා පිනට

 පුංචි දරුවන් මල් වගේ කියල කියන්නෙ. එයාලගෙ හැම පැත්තම ලස්සන නිසයි. හුරුබුහුටි බව වගේම අධ්‍යාපනය ලබා ගන්න දරන වෑයමත් පිපෙන මලක් වගෙයි. පොහොට්ටුවෙන් ටිකෙන් ටික මල පිපෙනව වගේ තමයි එයාලගෙ අධ්‍යාපනයත් රඳා පවතින්නෙ.

මල පිපෙන්න ගහට පොහොර වතුර ටික වෙලාවට වැටෙන්න ඕන. එහෙම වුණේ නැත්නම් ඒ මල් අකාලයේ පරවෙනවා. පුංචි දරුවන්ගේ ජීවිතත් එහෙමම තමයි. එයාලගේ අධ්‍යාපනය ළමා ලෝකයට හැම තිස්සෙම ආධාර උපකාර දෙන්න වෙනවා. ඒ සියල්ලම කලට වේලාවට ලබා දුන්නෙ නැත්නම් ළමා ලෝකය ලස්සන කරන්න බැහැ.

යුද්ධය අවුරුදු 30කට කිට්ටු කාලයක් පැවතුණු උතුරු නැඟෙනහිර පළාත්වල දරු දැරියන් ගෙව්වේ පුදුමාකාර දුක්ඛිත ජීවිතයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමහර දවසට රෑට කැලෑවෙ නිදිය ගන්නත් ඒ අයට සිද්ධ වුණා. අද වුණත් නාගරිකව තියෙන පාසල්වලට ඇරෙන්න ගම්බද පාසල් වල සිසුන් ගෙවන්නේ හරිම අසීරු ජීවිතයක්. සමහරු තවම ඉස්කෝලෙ යන්නෙ සෙරෙප්පු දාගෙන. ඕක තමයි අපේ ඒ දරුවන්ගේ තත්ත්වය. මේ දරුවන් විඳින දුක තේරුම් ගන්න ඒ ගම්මානවලට ගිහිල්ලම බලන්න වෙනවා. හුඟක් ගෙවල්වල දරුවන් නිදා ගන්නෙ බිම. සමහරුන්ට පැදුරක්වත් නැහැ.

මේ තත්ත්වය ඇසින් දැකපු කැලණිය රොටරි සමාජයේ නිලධාරීන් කැනඩාවේ ‘Sleeping Children Around the World’ (SCAW) ආයතනයෙන් මේ දරුවන්ට උපකාර කරන්නැයි ඉල්ලීමක් කළා. ඒ අනුව කැනඩාවේ SCAW ආයතනයෙන් මේ දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ලබා දෙන්න තීරණය කළා. මේ කටයුතු සම්බන්ධීකරණය කෙළේ නැඟෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයයි. විශේෂයෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මේ සම්බන්ධිකරණ කටයුතු සිදු කළා.

මෙහිදී දරුවන් වෙනුවෙන් මිලියන 20කට ආසන්න පාසල් උපකරණ ඇතුළු භාණ්ඩ ප්‍රදානය කළා. සතියක් පුරා පාසල්වල සිදු කරන ලද මේ සත්කාර්යය නිසා ප්‍රදේශයේ දරුවන්ගේ විශාල පිබිදීමක් ඇති වුණා. පුරා සතියක් සිදු කළත් මේ කාර්යය වැඩිය අඩ බෙර ගහමින් සිදු කරන්න කාටවත් ඕන වුණේ නැහැ. ඒ වුණත් මේ තරම් සමාජ සත්කාරයක් සිදු කිරීම ගැන වචනයකින් හරි සටහනක් තබන එක කළ යුතුමයි කියල හිතුණා.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල තෝරාගත් පාසල්වල වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන්ට සපත්තු යුගලක්, ටී ෂර්ට්, කලිසම්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ සහ මදුරු දැල්, ඇඳන්, කොට්ට, පැදුරු, කොට්ටඋර, ඇඳ ඇතිරිලි අඩංගු නිදන කට්ටල 5000 ක් මෙහිදී බෙදාදෙනු ලැබුවා. .

වෙල්ලාවලි මහා විද්‍යාලයේ පසුගිය සඳුදා පැවැති තිළිණ ප්‍රදානයට අම්පාර මල්වත්ත 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ද සහභාගි වුණා. ඒ කාර්යය සහෝදරත්වය ජාතික සමඟියට ලොකු පිටිවහලක් වුණා.

මේ වැඩසටහන පුරාම සෑම තැනකටම ගොස් කටයුතු සොයා බලමින් මේ කාර්යය සිදු කරන්නට කැනඩාවේ SCAW හි කණ්ඩායම් නායිකා කෙට් සැන්ඩ්ෆොඩ් මහත්මිය වගේම කැලණිය රොටරි සමාජයේ කණ්ඩායම් නායක සරත් ගුණවර්ධන මහතා ද කටයුතු කළා.

සතියක් පුරා තිළිණ කළ මේ ත්‍යාගවල වටිනාකම රුපියල් 19250000.00 ක් බවයි වාර්තා වුණේ. මේ තිළිණලාභී දරුවන් අතර කිසිදාක මදුරු දැලක් පාවිච්චි නොකළ අයත් සිටියා. කිසිදා දෙපයට සපත්තු නොපැලඳූ අයත් හිටියා.

මේ වගේ කාර්යයක් සිදු කරමින් ජාතික සංහියාවට තවත් පාරක් කපන්න අත දුන් සැම විශාල පුණ්‍ය කර්මයක් සිදු කර ගත්තා. ඒ වගේ තවත් පුණ්‍යකර්ම ජාති ආගම් භේද නොසලකා සිදු කිරීමයි අප අගය කළ යුත්තේ.

තාරක වික්‍රමසේකර

 

Comments