හිරු එළිය මිනිසා රැගෙන බොහෝ දුර යනු ඇත

 එක අහසක, එකම ඉර හඳ යට එක පොළොවක ජීවත් වෙන විවිධ මිනිස්සු ඉරත්, හඳත් වෙනස් වෙනස් විදිහට සමරනවා. ඉර එළිය පොළොවේ තියෙන බොහෝ දේ ආලෝකයෙන් සරසන්න පටන් ගන්නවා. ඒත් එක්කම මිනිස්සුන්ගේ හදවත් ආදරෙන් පිරෙනවා කුරුල්ලට දැනුණා. මනුස්සයෙක් තවත් මනුස්සයකුට සුබ පතනවා. ඒ තුළ ආශ්චර්යක් විහිදෙනවා කුරුල්ලා බලා හිටියා.

ඈත අතීතයේ දවස්වල තමාගේ මැදිහත්වීමෙන් තොරව, තමා අවට පරිසරයේ සිදුවන සංසිද්ධීන් ගැන මිනිස්සු හිතන්න පුරුදු වුණා. ඉර හඳ තරු, ගස් ගල්, සතා සිවුපාවුන්, සුළඟ, වැස්ස, අකුණු ගෙරවිලි හඬ මේ හැම දේකින්ම මිනිස්සු පුදුමයට පත්වුණා. මේ නිසාම ඔවුන්ගේ හිත­්වල නොනවතින කුතුහලයක් ඉපදුණා. මිනිස්සු සමහර දෙනකු පවතින දේ හොයන්න පටන් ගත්තා. සමහරු ඒ දේවල් අදහන්න පටන් ගත්තා. වන්දනාමාන කරන්න පටන් ගත්තා. මේ ඇඳහිලි, විශ්වාස, චාරිත්‍රද වාරිත්‍ර, ඇවතුම් පැවතුම්, යාග හෝම, හුරු පුරුදු සියල්ලම කාලයත් සමඟ වැඩෙමින්, වෙනස් වෙමින් මිනිසුන්ගේ ජීවිතයට එකතු වුණා. කුරුල්ලට අතීතයේ සිට ආ හඬක් ඇහෙන්න පටන් ගත්තා.

“ලොව පවතින්නේ හිරු එළියෙනුයි අම්මගේ කිරිවලිනුයි.”

-මක්සීම් ගෝර්කි-

ඒ හඬට ඇහුන්කන් දීගෙන බහු සංස්කෘතීන් සහ බහු ආගමික රටාවන්ට හුරු පුරුදු වුණු මිනිස්සු ජීවත්වෙන මේ පොළොවට ටිකක් උඩින් කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා. කුරුල්ලට මොහොතින් මොහොත විවිධ සංස්කෘතික පුරුදුවලට හුරුවුණු, විවිධ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සමඟ මුසුවුණු, නොයෙකුත් භාෂා භාවිත කරන විවිධ මිනිසුන් මුණගැහුණා. කුරුල්ලා දැක්කා සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී වු විවිධ ජන වර්ග එකතුවෙලා එකම ඉරක්, එකම හඳක් වෙනස් වෙනස් විදිහට සමරනවා. බොහෝ තැන්වල විරසක වුණු හැම මනුස්සයකුම පරණ තරහා-මරහා, හිත් අමනාපකම් අතෑරලා අලුත් හිරු එළියට අලුත් වෙනවා කුරුල්ලා බලා හිටියා. හැම භූමියකම අම්මා තාත්තා දූ දරුවන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, හිතවතුන්, යාළුමිත්‍රයන්, ගුරුවරු ශිෂ්‍යයන්, ආගමික නායකයින්, පාලකයින් පුරවැසියන්, ලෝවැසියන් දක්වාම උනුන් සුබපතා ගනිමින් ආශිර්වාද කරගන්නවා.

ඒ තුළ පවතින විචිත්‍රත්වයත්, විවිධත්වයත් ගැන කුරුල්ලා කල්පනා කරන්න පටන් ගත්තා. මිනිස්සු විතරක් ම නෙමෙයි, ගස් වැල්, සතා සිවුපාවුන්, ඇළ දොළ ගංඟා, කඳුවැටි, මේ හැමදේක ම වෙනසක් පවතිනවා. පවතින හැම දෙයක්ම එකි නෙකින් වෙනස් වන තරමට විවිධ වෙන තරමට ඒ වෙනසේ පුදුම සහගත අාශ්චර්යක් තියෙනවා කුරුල්ලට පෙනුණා. ඒ හැමදේකට ම සුවිශේෂ වුණු රිද්මයක් පවතිනවා. එකිනෙකට හාත්පසින්ම වෙනස් වෙනස් තලවලින් ඒ රිද්මයන් ස්වාභාව ධර්මය ගීතවත් කරනවා. ඒ ගීත හැමදාමත් විශ්වය ඉදිරියට ගෙනියනවා. කුරුල්ලා ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා ඒ හැම ගීතයක්ම යහපතත් සතුටත් පිළිබඳ ගැයෙනා සුමිහිරි ගීතයක් වේවා...! කුරුල්ලා ඒ ප්‍රාර්ථා එක්කම පොළොවට පියාඹලා රතුපාට මල්වලින් පිරුණු එරබදු ගහක අත්තක වැහුවා. පොළොවේ පුංචි කලබලයක්, මිනිස්සු හිරුට උස්සව පවත්වන්න ලෑස්ති වෙනවා. කුරුල්ලා දැක්කා මේ පොළොවේ ජීවත් වෙන මිනිස්සු අලුත් ලිප් බැඳලා කිරි මුට්ටි ලිපේ තියලා දවස් තුන්සිය හැටපහකට පස්සේ එන අලුත් දවස පිළිගන්න සන්තෝෂයෙන් ලෑස්ති වෙනවා. මේ පොළොවේ උතුරන කිරිවලින් හැම මනුස්සයකුගේම බලාපොරොත්තු, ආශාවන්, සිතුම් පැතුම් මෝරලා වැඩෙන්න පටන් ගන්නවා. කිරි මුට්ටියේ කිරි උතුරලා හැම පැත්තෙන්ම ගලා හැලෙනවා. ඒ දිහා බලා ඉන්න මිනිස්සුන්ගේ හිත්වල සතුට පිරිලා ඉතිරිලා යනවා කුරුල්ලා දැක්කා. ඒ සතුට මුළු විශ්වයටම ආශිර්වාදයක්. ඒ සතුට මනුස්සයකු තවත් මනුස්සයකු සමඟ සුබ පැතුමක් විදිහට හුවමාරු කර ගන්නවා. කුරුල්ලාට ඇහුණා මිනිස්සුන්ගේ හදවතේ උපදින හඬ. ඒ තුළින් ඉපදෙන මානව ප්‍රේමයේ චමත්කාරයත් කුරුල්ලා විඳින්න පටන් ගත්තා.

හැම ගෙදරකම ඉදෙන කිරිබත්වල සුවඳ කුරුල්ලට දැනෙන්න පටන් ගත්තා. ඒත් එක්කම කුරුල්ලා ට පේන්න ගත්තා මේ ලෝකයට තමන්ට ඉස්සෙල්ලා ආපු හැම මනුස්සයකුටම, පස්සේ ආපු මිනිස්සු බුලත් හුරුල්ලක් දීලා නමස්කාර කරනවා. ඒ හැම කෙනෙක්ම හැමෝටම ආශිර්වාද කරනවා කුරුල්ලට ඇහුණා.

එක තැනක මිනිසෙක් තවත් මිනිසෙකුට “සුබ අලුත් අවුරුද්දක් වේවා”කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් තැනක තවත් මිනිසකු තවත් මිනිසකු “ඉනිය පොංගල් නල් වාල්ත්තුක්කල්”(සුබ තෛපොංගල් උස්සවයක් වේවා.!) කියමින් සුබ පතා ගන්නවා. ඔහු එසේම වේවා ...! කියලා අනෙක් මනුස්සයට පෙරලා සුබ පතනවා. ඒ හැමෝම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත්, “ඉනිය පොංගල් නල් වාල්ත්තුක්කල්” කියලත් එකිනෙකා අතර සතුට බෙදාහදා ගන්නවත් කුරුල්ලා දැක්කා. කුරුල්ලා හිතුවා ආගම් භේද නැති , ජාතී භේද නැති පොළොවක මොන භාෂාවකින් ආමන්ත්‍රණය කළත් මිනිස්සු මිනිස්සු විදිහට සුබපතා ගන්න කොට මොන තරම් ප්‍රේමයක් මහ පොළොවේ ඉපදෙනව ද? ඒ ප්‍රේමය හැමදාමත් ‍මේ විදිහටම තියෙනවනම් මේ ලෝකේ මොන තරම් නම් අපුරූ වෙයි ද? ඒ ප්‍රාර්ථනා එක්ක කුරුල්ලා පොළොවට බැහැලා ඇවිදින්න පටන් ගත්තා. මේ පොළොවේ ඉන්න හැම මනුස්සයකුටම කුරුල්ලා ආශිර්වාද කරන්න පටන් ගත්තා.

“කළු කපුටා සුදුවෙන තුරු
මෝල් ගහේ දලු එන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝ වේවා.!”

කුරුල්ලා දැක්කා කිරිබත්, කැවිලි, කෙසෙල් පුරවපු පිඟන් අරගෙන මිනිස්සු එළියට බැහැලා අනෙක් මිනිස්සුන්ගේ ගෙදරට බොහෝ සතුටින් ගොඩවෙනවා. ඒ සමහර පිඟන්වල පොංගල් බතුයි, මුරුක්කුයී, පාට පාට රස කැවිලී පුරෝලා. කුරුල්ලටත් සුවඳ දැනුණා. හැම වර්ගයකම කෑම හැම ගෙදරකින්ම කුරුල්ලන් වෙනුවෙන් ගස් උඩ කරුවල ගොක් කෙළ ගොට්ටක තියලා තිබුණා. මිනිස්සුන්ගේ ආදරේ කුරුල්ලාට දැනෙන්න පටන් ගත්තා.

කුරුල්ලා ටික දුරක් ඇවිද්දා විතරයි කුරුල්ලාගේ කකුල්වලට පෑගීලා පාට පාට වර්ණ විසිරෙන්න පටන් ගත්තා. කුරුල්ලා ඉක්මනට පොළොවෙන් අයින්වෙලා කොහොඹ ගහේ අත්තක් උඩට පියෑඹුවා. කුරුල්ලා දැක්කා පොළොව සරසලා තියෙනවා. කුරුල්ලා වටපිට බලනවත් එක්කම දැක්කා.

පොල්අත්තක් උඩ
පොල් කිච්චෙක් ඉඳ
කීචී බීචී බොල
කීචී බීචී
වළලු කුට්ටම්
හතක් දමා ගෙන
සිලිං සිලිං බොල
සිලිං සිලිං

කුරුල්ලා හරිම සතුටින් ඇහුන්කන් දෙන්න පටන් ගත්තා.

උඩින් උඩින් වර පෙත්තප්පූ.
බිමින් බිමින් වර පෙත්තප්පූ.
උඩින් උඩින් වර
බිමින් බිමින් වර
කේජු කන්න වර පෙත්තප්පූ.

කුරුල්ලාට කජු මතක් වුණා. කජූ කන්න ආසා හිතුණා. කුරුල්ලා ‍ සතුටින් කජූ අත්තකට පියාඹලා පුහුලන් පිරුණු කජුගහෙන් කජු පුහුලමත් එක්කම කජු කඩා ගත්තා. කජු පුහුලමත් කටින් අරගෙන කුරුල්ලා බංකුවක් උඩට පියාඹලා කජු කන්න පටන් ගත්තා. එතකොටම රබන් හඬ ළං ළංව දෝංකාර දෙන්න පටන් ගත්තා.

කැත්තක් අරගෙන වත්තට යනකොට.
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා.

කුරුල්ලාට ඒ හඬ ඇහිලා ආඩම්බර හිතුණා. කුරුල්ලා ගැන මිනිස්සු කවි කියන්න පටන් අරන් ඒ චාම් සංගීතයේ රැඳුණු අව්‍යාජබවත්, සරලබවත් කුරුල්ලගේ හිත තදින්ම අල්ල ගත්තා. ඒ හඬේ පරාර්ථකාමී මිනිස් හඳවතේ නාදයත් කුරුලු හදවතේ නාදයත් එකතුවෙලා තියෙනවා කුරුල්ලට දැනුණා.

කුරුල්ලා ආපස්සට හිතන්න පටන් ගත්තා. අවුරුදු තිහක් කූඩුවක හිරවෙලා ඉන්න සිද්ධවෙච්ච හැටිත්, ඒ කාලයේ කුරුල්ලා හැමදාමත් ඉල්ලපු නිදහස දැන් ලැබිලා තියෙනවා ද? කියලා කුරුල්ලා කල්පනා කරන්න පටන් ගත්තා. පොළොවට සීමාවන් දාලා කම්බි ගහලා තාප්ප බැඳලා වෙන් කරලා ඒක ඇතුලේ ඉඳගෙන නිදහස කවදාවත්ම හිමිවෙන්නෙ නැති බවත් කුරුල්ලට තේරුම් ගියා. කුරුල්ලාට තේරුණා කුරුල්ලා කුරුල්ලෙක් විදිහට ජීවිතේ විඳිනවා. නමුත් මිනිස්සුන්ට මිනිස්සු විදිහට ජීවිතේ විඳින්න තරම් මේ පොළොව සැබෑ නිදහස මිනිස්සුන්ට හිමි වෙලා ද?

වරද පෙනෙන තරමට වැරදුණා වේ
වරද ඇතත් නිකරුණෙ වැඩ කළා නොවේ
වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ
වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ

(සිංහල ජන කවියක්)

හිරු දවස් තුන්සිය හැටපස් දවසකට පස්සේ එන දවසේ දී මීන රාශියෙන් මේෂ රාශියට ඇවිත් අලුත් ගමනත් ආරම්භ කරනවා. කුරුල්ලා දැක්කා හිරු එළියට යටත්වෙන මහපොළොවේ පවතින හැම දෙයක්ම වෙනස් වෙනවා. කුරුල්ලා හිතුවා මානව සම්බන්ධතා දියුණු කිරීම, වෙනස් කිරීම සහා අලුත් වීමට ඉඩ හැරීම සංස්කෘතිය මත පමණක් යැපෙමින් සිදු කළ නොහැක්කක් බව. ඒ සඳහා ගෙවෙන හැම දවසක්ම දවස් තුන්සිය හැට පහකට පසුව එන අලුත් දවසක් ලෙස මිනිසුන් බාර ගත යුතුය. හැම මොහෙතකම මනුස්සයෙක් තවත් මනුස්සයකුට, ජන වර්ගයක් තවත් ජන වර්ගයකට සිය වැරදි හදා ගැනීමට අවස්ථාවක් දිය යුතුයි. කුරුල්ලට ශේක්ෂ්පියර්ගේ හඬ මතක් වුණා.

“හොඳ මිනිසුන් කියන්නේ වැරදි නොකරන අය නෙවෙයි, වැරදි හදාගත්ත අයයි.”

-විලියම් ශේක්ෂ්පියර්-

හැම දෙනාම එකතුවෙලා කරපු වැරැදිවල මතුවෙච්ච වැරැදි තවමත් මේ මහා පොළොවේ මිනිස්සුන්ගේ හිත්වල ඉතිරි වෙලා. ඒ සියලු දේ අමතක කරලා මිනිස්සුන්ට අලුත් වෙන්න පුළුවන් හදවතක් හැම මනුස්සයෙකුටම තියෙනවා. ඒ හදවත් තුළ ජාති, ආගම් භේදයකින් තොරව හැම මනුස්සයකුටම සිය අනෙකාට සමාව දීමට තරම් සාධුත්වයක් ඇති විය යුතුයි. ඒ මතින් පමණක් අනෙකාව ඉහිලීමටත් දරා ගැනීමටත් මිනිසුන්ට හැකි වනු ඇත. එවිට සැබෑ මානව ප්‍රේමයෙන් අනෙකාව වැළඳගන්නට මිනිසුන්ට හැකිවනු ඇත. එහි සුන්දරත්වයේ ජීවයෙන් මහ පොළොව නැවත නැවතත් ප්‍රණවත් වී “මිනිසා, හිරු එළිය යට බොහෝ දුර යනු ඇත”.

ඩිලූෂා නදීකමාලී 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.