දිස්ත්‍රික්ක 14ක දරුණු නියඟයක් | සිළුමිණ

දිස්ත්‍රික්ක 14ක දරුණු නියඟයක්

 අපේ රටේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 100ක මේ දිනවල බල පවත්වන නියඟ තත්ත්වය නිසා පුද්ගලයන් ලක්ෂ 11කට ආසන්න ගණනක් පීඩාවට පත් වී, අක්කර දහස් ගණනක වගා පාළු වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මන්නාරම, වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය, මොනරාගල හා මුලතිව් දිස්ත්‍රික්කවලටය. මීට අමතරව මඩකලපුව, හම්බන්තොට, අම්පාර, බදුල්ල දිස්ත්‍රික්කවලද නියඟ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි පිළිබඳ අධ්‍යක්ෂ අතුල කරුණානායක පවසන්නේ ඉහත ප්‍රදේශවලට ඔක්තෝබර් මස මැද වන තෙක් හොඳ වැස්සක් නොලැබෙන බවයි.

මේ අතර නියඟයට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් රජය වැඩකටයුතු රැසක් ක්‍රියාවට නංවා ඇත. මියන්මාරයෙන් හා පකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වීමට හා පීඩාවට පත් අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ‍නොඅඩුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ ආයතනවලට උපදෙස් දී තිබේ.

දැනටමත් නියඟයට පත් සියලු ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සැමට පානීය ජලය ලබාදීමට රුපියල් ලක්ෂ 43ක් සමඟ ජල බවුසර් ට්රැක්ටර් 200ක් හා ලීටර් 1000ක් ජල ටැංකි 6000ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා පවසයි.‍

මේ අතර ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ ඉදිරියටත් මේ ප්‍රදේශවලට පානීය ජලය හා අන් පහසුකම් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට අරමුදල් හා වාහන ලබාදෙන බවයි. 

Comments