ඇමැතිකෙනෙක් ගායකයෙකුට ඊරිසියා කරන්නේ නෑ! | සිළුමිණ

ඇමැතිකෙනෙක් ගායකයෙකුට ඊරිසියා කරන්නේ නෑ!

 සක්දෙවිඳුන්ගේ පුරෝහිත වශයෙන් සොක්‍රටීස් පඬිතුමා පත් කර තිබිණි. පඬිතුමා සක්දෙවිඳු හා පිළිසඳරක යෙදී සිටියේය.

‘රජ කෙනෙක් නළුවෙකුට ඊරිසියා කරන්නේ නෑ’ සොක්‍රටීස්තුමා කීවේය.

‘ඒ මොකද රජ කෙනෙක් නළුවෙකුට ඊරිසියා කරන්නේ නැත්තෙ?’ සක් දෙවිඳු ඇසුවේය.

‘නළුවෙක් රජ කෙනෙකුට ඊරිසියා කරන්නෙත් නෑ’ සොක්‍රටීස් තවත් ප්‍රශ්නයකින්ම සක් දෙවිඳුන්ට පිළිතුරු දුන්නේය.

‘ඒ මොකද?’ සක් දෙවිඳු කෙටි ප්‍රශ්නයක් ඇසුවේය.

‘ඇමැති කෙනෙක් ගායකයෙකුට ඊරිසියා කරන්නෙත් නෑ’ සොක්‍රටීස් පඬිතුමා පිළිතුරු දෙනු වෙනුවට ප්‍රශ්නය තවත් දුර දිග ගෙන ගියේය. එවර සක් දෙවිඳු ම තමන් මෙතෙක් සොක්‍රටීස් පුරෝහිතතුමාගෙන් ඉගෙනගෙන තිබුණු දේ ඇසුරෙන් කතාවට එක් වූවේය.

‘ගායකයෙක් ඇමැති කෙනෙකුට ඊරිසියා කරන්නෙත් නෑ’

‘ඔව් ඊරිසියා කියන්නේ මහ පුදුම දෙයක්. නළුවෙක් රජකෙනෙකුට ඊරිසියා කරන්නේ නෑ, ඊරිසියා කරන්නෙ තවත් නළුවෙකුට. ඒ වගේ ම ඇමැති කෙනෙක් ගායකයෙකුට ඊරිසියා කරන්නේ නෑ. ගායකයෙක් ඊරිසියා කරන්නේ තවත් ගායකයෙකුට. පඬිවරයෙක් පොත් කඩකාරයෙකුට ඊරිසියා කරන්නේ නෑ, ඊරිසියා කරන්නේ තවත් මහාචාර්ය කෙනෙකුට. පොත් කඩකාරයෙක් මහාචාර්ය කෙනෙකුට ඊරිසියා කරන්නේ නෑ ඊරිසියා කරන්නේ තවත් පොත් කඩකාරයෙකුට.’

සක්දෙවිඳුන්ට සොක්‍රටීස් පඬිතුමාගේ අවබෝධය ගැන පුදුම හිතිණි. තමන් දිවැසින් දකින දේටත් වඩා දේ තමන්ගේ පුරෝහිත සොක්‍රටීස් පඬිතුමා මනසින් දකින බව එතුමන්ට සිතිණි. සක්දෙවියන්ටත් වඩා සොක්‍රටීස් පඬිතුමාගේ දැනුම ගැන මට සිහිනයෙන් පුදුම හිතිණි.

ඉන් අනතුරුව සක්දෙවිඳුන් පුරෝහිතතුමාගේ හිතෙන් කල්පනා කරන්නට වූවේය. හැබැහින් කෙසේ වුවත් සිහිනයෙන් එසේ සිදු විය හැකිය.

‘එකම ක්ෂේත්‍රයේ තමයි ඕක තියෙන්නේ. ඒ වුණාට ඒක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. විජය ගාමිණීට තරගයක් දුන්නා. ගාමිණි විජයට තරගයක් දුන්නා. හැබැයි දෙන්නගෙම දක්ෂකම හින්ද සිනමාව ඉහළ නැග්ගා. දෙන්නටම වැඩක් වුණා; රටේ සිනමාවත් දියුණු වුණා. ඒක නිසා නළුවෙක් හොඳට රඟපානවා නම් අනිත් නළුවෝ සතුටු වෙන්න ඕනැ. මොකද: චිත්‍රපට කලාව ජනප්‍රිය වෙනවා. ඒකෙන් තමන්ටත් වාසියක් ලැබෙනවා.’

සක් දෙවිඳු එසේ කල්පනා කළ පසුව සොක්‍රටීස් පඬිතුමා සක්දෙවිඳුගේ කල්පනාවේ ඉතිරි කොටස තමන් කල්පනා කළේය.

‘එක ඇමැතිකෙනෙක් හොඳට වැඩ කරනවා නම් අනික් ඇමැතිකෙනෙක් සතුටු වෙන්න ඕනැ. එතකොට ඇමැතිවරු ගැන ජනතාවගේ තියෙන ආදරේ වැඩි වෙනවා. තමන්ටත් ඒ ආදරයෙන් කොටසක් ලැබෙනවා.’

ඉන් පසුව ඒ කතාවට මමද සම්බන්ධ වූයෙමි. කෙසේ වුවත් ඒ සිහිනයෙනි.

‘ඊරිසියාව කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්. ඒත් තේරුමක් ඇති දේවලට වඩා තේරුමක් නැති දේවල්වලට මිනිස්සු අහු වෙනවා වැඩියි. ඒකයි ගොඩක් අය ඊරිසියාවට අහුවෙලා ඉන්නේ.’

‘යකෝ! අපි හිතන දේවල් මූත් හිතනවනේ...’ මා හිතන දේ දිවැසින් දුටු සක් දෙවිඳු කීවේය. මම ඇහැරෙන්නටද බිය වූවෙමි; සිහිනය දිගටම දකින්නටද බිය වූවෙමි. ඒ නිසා පිහිටක් පතා සොක්‍රටීස්ගේ මුහුණු බැලුවෙමි. ඔහු අතුරුදන්ව සිටියේය.. 

Comments