19 වැනි ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාව අසීරු ඉසව්වක | සිළුමිණ

19 වැනි ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාව අසීරු ඉසව්වක

ශ්‍රී ලංකා කණ්ඩායම වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, ජනිත් සුරත්, එච්. දිසානායක, චාමර මිහිරාන්, ඩබ්. ලක්මාල්, ෂමිල් මලින්ද, කසුන් චතුරංග, නිලංක සංජය, ගයාන් මධුසංඛ, ලසිඳු මෙත්මාල්, දීප්ති රොමේෂ්. පුහුණුකරු චාල්ස් තිලකරත්න, සහාය පුහුණුකරු සම්පත් අබේසිංහ.

බන්දුල ජයමාන්න

උපරිම දේ කරන්න බලනවා

ෂමිල් මලින්ද - නායක

මේ තරගාවලිය කියන්නේ ම අසීරු තරගාවලියක්. මේ අසීරු කඩඉම කොහොම හරි ජය ගන්න තමයි බලන්නේ. පාසල් මට්ටමින් මම එතරම්ම උඩට ආපු ක්‍රීඩකයෙක් නොවෙයි. ටොරින්ටන් ක්‍රීඩා සමාජය හරහා තමයි මම ක්‍රීඩාව ප්‍රගුණකර ගන්නේ.

බෝමිරිය ජාතික පාසලෙන් තමයි ක්‍රීඩාවට අවතීර්ණ වුණේ. පාසල් මට්ටමෙන් මහා ලොකුවට ක්‍රීඩා කරන්න තරම් පසුබිමක් තිබුණේ නෑ. සාමාන්‍ය මට්ටමින් ඉහළට ආවා. අපිට හොඳ පාසල් කණ්ඩායමක් තිබුණේ නෑ. 2000 දී විතර තමයි විජේරත්න සර් හම්බවෙන්නේ. විජේරත්න සර් හරහා තමයි මම වොලිබෝල් ක්‍රීඩාවේ ඉහළට එන්නේ.

ආසියානු කනිෂ්ඨ තරගාවලියට 2004 තේරීම් පරීක්ෂණයක් තිබ්බා. එතැන ඉඳලා මම අවුරුදු 12 ක් ජාතික කණ්ඩායම නියෝජනය කළා. පළමු වැනි වතාවට තමයි නායකත්වය ලැබුණේ. මේ තරගාවලියේ උපරිම දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

වොලිබෝල් සම්මේලනයට හැකි ආකාරයට අපිට පහසුකම්, නේවාසික පුහුණුව මේ හැම දෙයක් ලබා දුන්නා.

 

අපේ ඉලක්කය ඉදිරිය

චාල්ස් තිලකරත්න - පුහුණුකරු

 

ආසියානු ජේ්‍යෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවලියේ අපි තරග කරන්නේ සී කොටසින්. අපේ පළමුවැනි ඉලක්කය පළමු අටදෙනා අතරට එන්න උත්සහ කිරීම.

මෙවර අපි අටට එන්න ජපානය සහ කොරියා තරග දිනන්න ඕනෑ. 2015 දී අපි 14 වැනියා වුණා. ඒකේ අවාසිය තමයි මෙවර අපිට බලපාලා තියෙන්නේ. ජාතික පිරිමි කණ්ඩායමේ පුහුණුවීම් කරන පළමුවැනි අවස්ථාව.

අපි මේක ඉලක්ක කරගන්නේ ඉදිරි සාග් තරගාවලියක ඉන්දියාව පාකිස්තානය පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීම කොරියාව ගැන අත්දැකීමක් තියෙනවා. ලෝකයේ හොඳම කණ්ඩායම් දෙකක් අපේ කාණ්ඩයේ ඉන්නවා. ලෝක ලීග් තරගාවලියට ජපානය හා කොරියාව තරග කළා. මේ ලීග් තරගාවලියේම තරග 20 ක් විතර ක්‍රීඩා කරලා තමයි ඔවුන් මේ තරගාවලියට එන්නේ.

 

දහනමවැනි ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලිය ඉන්දුනීසියාවේදී හෙට සිට (24) අගෝස්තු 01 දා දක්වා පැවැත්වේ. රටවල් 16 ක් මෙවර තරගාවලියට එක්වන අතර එකී රටවල් කාණ්ඩ හතරක් යටතේ තරග කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරග කරන්නේ සී කාණ්ඩයෙනි. මෙවර සී කාණ්ඩයෙන් 2015 ශූරයන් වූ ජපානය, දකුණු කොරියාව සහ වියට්නාමය තරග කරයි. ජපානය 1975 සමාරම්භක තරගාවලියේ පටන් මෙකී ශූරතාවට වැඩිම වාර ගණනක් එනම් අටවතාවක් ශූරයන් වී තිබේ. සී කාණ්ඩයෙන් තරග කරන දකුණු කොරියාව හතරවතාවක් ශූරයන් වෙමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාව මෙකී ශූරතාවලියේ දැනට හිමිකර ගෙන තිබෙන ඉහළම ස්ථානය 2011 දී හිමිකරගත් අටවැනි ස්ථානයයි.

 

 

Comments