ජනප්‍රියම ක්‍රීඩකයාට තුන්කොන් සටනක් | සිළුමිණ

ජනප්‍රියම ක්‍රීඩකයාට තුන්කොන් සටනක්

ලාංකේය පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙලවන සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් තිස්නව වැනි සම්මාන උළෙල 25 දා කොළඹදී පැවැත්වේ. මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් 1985 දී වසරේ පාසල් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරන අසංක ගුරුසිංහ එක්වනු ඇත.

මෙකී සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයාට අමතරව ජනප්‍රිය ම ක්‍රීඩකයා ඇතුළු පාසල් ක්‍රිකට් පිටියේ සමස්ත ලංකා පළමු කාණ්ඩය සහ දෙවන කාණ්ඩය වශයෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අංශ ගණනාවක් යටතේ ඇගැයීමට ලක්වේ.

මෙවර සමස්ත ලංකා ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයට ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක, එම විදුහලේම ලක්ෂින රොද්රිගෝ සහ තර්ස්ටන් විදුහලේ සංජුල අබේවික්‍රම අතර ඇත්තේ ප්‍රබල සටනකි.

සමස්ත ලංකා පළමු කාණ්ඩය යටතේ වසරේ ක්‍රීඩකයා, හොඳම පිතිකරු, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් ශූරයා සහ අනුශූරයා තෝරා ගැනීමට නියමිත අතර, හොඳම නායකයා ජයග්‍රහකයා පමණක් තෝරා ගැනීමට නියමිතය. මීට සමගාමීව දෙවැනි කාණ්ඩය යටතේ ඉහත අංශයන්ගෙන්ම විශිෂ්ටයන් තෝරා ගැනීම සිදු කෙරේ. සමස්ත ලංකා හොඳම කණ්ඩායම, සහ පළාත් මට්ටමින් ද හොඳම කණ්ඩායම් ඇගැයීමට ලක් කෙරේ. හොඳම නැඟී එන සහ විනයගරුකම කණ්ඩායම් ද මෙහි සම්මානයට පාත්‍රවෙයි.

Comments