වනේ ගිජි­දාය අකලේ වන­සාය

අරුණෝදය උදාවෙමින් තිබුණේ ය. පෙර’ඹර කිති කවන හිරුගේ රක්තවර්ණ වලාකැරැලි අහසේ මෝදු වන්නට විය. සුදෝසුදු මිහිඳුම් දුමාරයකින් වැසී ගිය හම්බන්තොට වරාය ඈතින් දිස්වෙයි. වියැළි බිමට පවන් සලන යෝධ සුළං ස්තම්භයෝ හතියෙන් දඟලති. ශුෂ්ක භූමියක නිසරුබව තුරන් කළ කළපු අන්දර වනාන්තර යාය දුක්බර ශෝකාන්තයක ගිලී ඇත. ඒ මැදින් දිවෙන සුවිසල් මාවත පාළු ස්වභාවයක් ඉසිලී ය. පවනට බඳු වේගයෙන් ඇදී යන මාතලී දිවරථ සුළ‍ෙඟ් ගසාගෙන යන දුහුල් පරඬැල් සේ නිමේෂයකින් මා නෙත් මානයෙන් මැකී යයි.

වනසතුන්ගේ ලෝකය දෙකඩ වී ඇත. හිරු පුදට වඩින මොනර ගණ තැන තැන රැස්ව වික්ෂෝපයෙන් බලා සිටිති. උන්ගේ හෙට දවස අඳුරු ය. මායා සංවර්ධනයේ අවිධිමත් කඩතිර දසත පැතරී ඇත. වේදනාබර හෝඩුවාවක සැබෑ තතු දකිනු රිසියෙන් මගේ බයිසිකලය වරෙක නැග්මෙන් ද වරෙක බැස්මෙන් ද හෙබි රැළි මාවත ඔස්සේ වේගයෙන් පහළට ඇදී යයි. කළපු දිය පිස එන සුළ‍ෙඟ් ලවණ රසය තොලඟ තැවරෙද්දී අමිහිරි දුර්ගන්ධයකින් නාස්පුඬු හැකිලී ගියේ ය. ලද හෝඩුවාව නිවැරැදි විණැයි මට සිතිණ. ගැබ්බර ඇතින්නකගේ දුක්බර මරණයකි.

අලුත් යමක් දකිනු වස් පෙරදින සැඳෑ කාලයේ මම පාළු වැව්තෙරක රැඳී සිටියෙමි. දැඩි හිරු රැසින් දැවී පුපුරා ගිය වැව් පත්ලේ හිතුවක්කාර මී හරකකු පවා රැඳී සිටියේ නැත. ලෙනාඩ් වුල්ෆ් එදා දුටු වැව් සිරිය අද හම්බන්තොටට අහිමි ය. නීල අහස පසුබිමේ නිදහසේ සිරි මවන කුරුල්ලකුට පියා යුග විදා ලැග සිටින්නට වත් වියළි ගස් සැකිල්ලක් නිරාවරණ වැව් තෙරක ඉතිරි කර නැත. ඒ වියළි රුක් රාජයන් දරට ම කපා ඉවර කර ඇත. ළගත් රුක් භාවනාව මා අබියෙසට මිනිස් රුවක් රැගෙන ආවේ ය. මිය ගිය අලියකු පිළිබඳ හෝඩුවාව මා සවනත වැකුණේ ඔහුගෙන් ය.

ප්‍රධාන මාවතෙන් සමුගත් බයිසිකලය අතුරු පාරකට හැරිණ. එයිනුදු කිලෝ මීටර් දෙකක් පමණ මා යා යුතු ය. බලාපොරොත්තු වන ඇළ මාර්ගය හමුවන තුරු මම ඉදිරියට ගියෙමි. ඒ ඔස්සේ කැලය තුළට ගමන් කිරීමට ඇත්තේ වල් අලි නිරතුරුව ගමන් කරන අඩි පාරකි. ඒ පටු මංනිල දෙපසින් මිරිකෙන කළපු අන්දර වනාන්තර යාය මගේ තනිකම දුරැලීය. ඒ තරමට ම කටු අන්දර අතු මගේ ගත පිරිමැද්දේ ය. තැන තැන ශේෂව අන්දර යායට ඉහළින් අහසට නැඟුණු පලු වෘක්ෂ කිහිපයක් තම අතීත සෞභාග්‍යය කියාපාන්නට මෙන් බලා සිටිය ද ඒ රුක් රාජයන්ගේ ද අතු කඳන් බිඳ හීලෑ කර දමා තිබුණේ ය.

නීල ගෙලින් එබී බලන මොනරුන් පවසන රහස මම තේරුම් ගතිමි. දුෂ්කර වුවත් ගමනට විරාමයක් දීමට කාලයක් නැත. දියලු මඩ පසින් නිර්මිත පටු පාර හස්ති පා සලකුණින් කැටයම් වී තිබිණ. අලුත හෙළූ අලි වසුරු ගොඩක් මැද මගේ බයිසිකලය ඉබේම නතර විය. පය බිමට තැබූ සැණින් සෙරෙප්පුවට ඉහළින් මඩ තලියක් උඩට පැන්නේ ය. නිහඬව මුත් තියුණු නෙතින් මම වටපිට බැලුවෙමි. ඉදිරියෙන් ඇත්තේ සරුසාර කෙසෙල් වගාවකි. බයිසිකලය පඳුරු මුවාවක් යට සැඟවූ මම ලිස්සන මඩ මතින් සෙමෙන් සෙමෙන් පා තබමින් ඉදිරියට ගියෙමි.

කෙසෙල් වගාබිම පෙරදින රැයේ අලින්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ පීදුණු, පැසුණු කැන් සමඟ ගස් බොහෝමයක් පෙරළා පාගා පොළොවට සමතලා කර ඇත. “අපේ නිජබිමෙන් නොපමාව පිටවනු” යන අභියෝගය ඒ විනාශය තුළ සැඟව තිබිණ. අලියකු කෑ ගසන හඬ ළඟ ළඟම ඇසුණේ ය. සිත මඳක් සලිත විය. සැඟවෙන්නට තැනක් හෝ පැන යන්නට මඟක් හෝ නොතිබුණෙන් හදිසියකදී ගත යුතු පියවර කෙරෙහි මගේ අවධානය යොමු විය.

අටංපහුරු ඉදිකළ පලු ගස් දෙකක් ඈතින් පෙනිණ. මේ අනවසර හෙන් බිම් දිවා කාලයට මිනිසුන්ගෙන් තොර ය. එබැවින් ඒ දෙසට ගමන් කළ ‍මම බොහෝ වේලාවක් එහි රැඳී සිටියෙමි. නොකඩවා හමන කුණු ගඳ අලි සිරුර තිබෙන ස්ථානයට මා ළඟා වී සිටින බවට ඉඟි කෙළේ ය. විමසුම් නෙතින් හතර අත බලමින් තව තවත් ඉදිරියට පියවර තැබීමට මා සිත පෙලඹිණ. මන්ද ඉදිරි දෙසින් වැවක් ඇති බවට ඇළ මාර්ගය සාක්ෂියක් විය. ගුවනේ විසිරෙන ජලජ පක්ෂීන්ගේ හඬ රාවය ද නොකඩවා ගලා ආවේ ය.

එක්වර ම අලි වෙඩිල්ලක් පුපු‍රා ගියේ ය. අහල පහලක මිනිසකු ගැවසෙන බවට එය ඉඟියකි. සගයාගේ සිරුර අත්හැර යන්නට අකමැති අලි රංචුව ළඟ ළඟ ම සැරි සරනවා විය හැකි ය. වෙඩිල්ල පුපුරා ගියේ වැව දෙසින් නිසා අලි කුණ වෙත යන්නට පෙර නැවත වරක් කෙසෙල් වගාව ඇති දිසාවට පැමිණීම යෙහෙකැයි මට සිතුණේ ය. මගේ උත්සාහය සාර්ථක විය. වගා බිමේ ඈත ඉමේ ඇදෙන මිනිස් පා යුගලක් කෙසෙල ගස් අතරින් දිස් විය. කෙසෙල් කොළ වැස්මට ඔහුගේ උඩුකය මුවා වී තිබුණේ ය. විදිලි වැට ළඟට ගොස් මම කිහිප වරක් අත්පුඩි ගැසුවෙමි. මඳ චකිතයකින් ටික වේලාවක් නතර වී සිටි ඔහු ගස් යටින් එබී බලා මා සිටින දෙසට ආවේ ය.

ඔහු මා විමසීමට පෙර මම ඔහු හා කතා කළෙමි.

“අලි කෙසෙල් වගාව විනාශ කරලා නේද?”

ඔව්! ඊයේ රාත්‍රියේ අලි ඇවිත් ඔක්කොම විනාශ කරලා දැම්මා. ඔය පේනවා නේද? එලෙව්වට යන්නෙත් නැහැ. අලි වෙඩිවලට බයකුත් නැහැ. වැටත් පෙරළලා. ගසුත් කඩා දාලා.”

“ඒ වුණාට කෙසෙල් ගස් කාලා නැහැ නේද?” මම ඇසුවෙමි.

“අතන අලියෙක් මැරිලා ඉන්නවා. ඒකේ කේන්තියට තමයි රංචුවම ඇවිත් මේ විනාශය කරන්න ඇත්තේ.”

ඔහු අත් ඔසවා ඉදිරි දෙසට සන් කළේ ය.

“මට බලන්න යන්න පුළුවන්ද”

“යං මං පෙන්නන්නං.”

ඔහු මා කැටුව අලි කුණු දෙසට ගියේ ය. අලියා මැරී සිටියේ යාබද හේනක් අද්දර කුඩා පඳුරු ගොමුවක් තුළ ය. කිට්ටුවට යන්නට බැරි තරමට දුර්ගන්ධය දසත පැතිරෙයි. දහස් ගණනින් ඉහඳ පණුවෝ සිරුර මත නළියති. සතා මිය ගොස් දින පහක් ගත වී ඇති බව හේන් සගයා පැවසීය. ලේන්සුවකින් නහය ආවරණය කරගෙන අපහසුවෙන් හුස්ම ඉහළට අල්ලමින් වරින් වර කුණ අසලට යමින් සතාගේ ඇඟේ කිසියම් තුවාලයක් ඇත්දැයි විමසුම් කර බැලුවෙමි. එවැන්නක් දැකගන්නට නොවී ය. සිරුර යහමින් ඉදිමී ඕජස් ගලමින් තිබුණේ ය.

“මොකද දන්නේ නැහැ මැරිලා කියන්නේ”. මම නිකමට ඇවිද ඇවිද හිටියා.“ නවක මිතුරා උත්තර දුන්නේ ය.

මේ වනවිට ඇතින්න මැරී සිටි හේන් ‍යායේ අයිතිකරු ද එම ස්ථානයට පැමිණ සිටියේ ය. ඔහු මා සමඟ පැවසුවේ වෙනත් කතාවකි.

“මේ ඇතින්න සති දෙකකට වැඩි කාලෙක ඉඳලා හරියට ඇවිද යන්න බැරුව මේ හේන්වලම කැරකි කැරකි හිටියා‍. රෑට ඇවිත් මගේ හේනේ කුරක්කං ටිකයි, රටකජු ටිකයි, බඩ ඉරිඟුයි, වට්ටක්කයි තමයි කෑවේ. එලෙව්වට යන්නේ නැහැ. හැබැයි හොඳින් කතා කළා ම බැරි බැරි ගාතේ පිටවෙලා යනවා. මැරෙන්න කලින් දවසේ ඇවිත් කුරක්කං ටිකයි වැළේ තිබුණ අන්තිම වට්ටක්කා ගෙඩියයි තමයි කෑවේ.”

“මං ළඟට ගිහිං කිට්ටු වෙලා කිව්වා” අනේ බං උඹ මට ම කරදර කරන්නේ ඇයි. උඹ ඔහෝම කළාම මගේ ළමයි ටික බඩගින්නේ නේද? කියලා. කිසි කලබලයක් නැතිව ඇතින්න යන්න ගියා. පහුවදා උදේ බලන කොට ඇතින්න හේන ළඟටම වෙලා ඉන්නවා. ඇවිද ගන්න බැරි තරමට කකුලක ආබාධයක් තියෙන බව තමයි අපි දැක්කේ.”

“උදේ අට වෙනකනුත් මගේ හේනේ එහාට මෙහාට සීරු මාරු වෙවී හිටිය ඇතින්න ඔය පඳුරු කුට්ටිය මැද්දට ඇදුණා. මැහි ‍‍උඩට නැඟලා අපි බලන් හිටියා. මං දැක්කා එක පාරටම පස්සා කකුල් දෙක නමාගෙන බිම වැටෙනවා. පැටියෙක් දාන්න ද කියලත් අපි හිතුවා. මේ වනවිට අපේ කට්ටිය වටවෙලා අලියාව එලවන්න එක එක දේවල් කරමිනුයි හිටියේ.‍ මං ඒ අයට කිව්වා මොකුත් කරන්න එපා. අලියා බිම ලැගලයි ඉන්නේ අපි ගිහිං බලමු කියලා. අපි හිමින් හිමින් උගේ ළඟට ගියා. ඇතින්න බිම වැතිරිලා වේදනාවෙන් හුස්ම ගන්නවා.”

“මං ඇහැව්වා. අනේ බං උඹට මොකද වුණේ කියලා. එතකොට අමාරුවෙන් හොඬවැල උස්සලා උගේ පිටිපස්සා පැත්තට දික්කළා. එක කකුලක උලක් වගේ දෙයක් ඇනිලා තියෙනවා තමයි අපි දැක්කේ. නමුත් ටික ‍දවසක ඉඳලා උගේ බඩ පස්සා පැත්තෙන් බිමට පහත් වෙන්න පටන් ගත්තා. අපි මේ ගැන වනජීවී එකට දැන්වුවා. ඒගොල්ලෝ ඇවිත් බලලා ගියා මිසක් පියවරක් ගත්තේ නැහැ. කෙඳිරි ගාන ඇතින්නට අපි කිව්වා උඹ ගැන ආයෙත් වනජීව‍ී එකට කියන්නං. බය නැතුව ඔහොම හිටපං කියලා. ඒත් පහුවදා උදේ අලියා මැරුණා.

අලියකු මිය ගිය පසුව අවසානයේ කුණ වළලා දැම‍ීමේ වගකීම ඇත්තේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයාට ය. බ‍ැකෝ යන්ත්‍රයක් සොයා ගෙන ඔහු එන විට ගතවන දින ගණන කිව නොහැකි ය. දින පහක් හයක් ගතවෙයි. එතෙක් කුණ රැක බලා ගැනීමේ වගකීම පැවැරෙන්නේ නිල මැස්සන්ට ය. ඉහඳ පණුවන් නළියමින් ඕජස් ගලන මළකුණෙන් පැතිරෙන දුර්ගන්ධය සද්දන්තයන්ගේ අඳුරු හෙට දවස පිළිබඳ පණිවිඩය රටටම හඬගා කියයි.

මා අලි කුණු අසල රැඳී සිටින මොහොතේ දීත් හතර වටින් වරින් වර අ‍ලි වෙඩි ගසන හඬ ඇසෙන්නට විය. අසල කැලෑ කුට්ටියේ කොටුවී සිටින අලි කිහිප දෙනා පලවා හැරීමට හේන්වාසීන් අලි වෙඩි ගසන බව පැවසූ මිත්‍රයා කොයි මොහොතේ කොතැනින් ඒ අලි පාරට කඩා වදීදැයි කිව නොහැකි බැවින් පරිස්සමින් යන ලෙස මට ද අනතුරු ඇඟවී ය.

අලියා වැලේ අවසන් වට්ටක්කා ගෙඩිය ක‍ෑවේ ය. පසුව මිය ගියේ ය. මා දකින විටත් අලියාගේ තොල් පෙදෙස යහමින් නිල් පැහැගෙන

තිබුණේ ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.