රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කැඩ්මියම් | Page 2 | සිළුමිණ

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කැඩ්මියම්

රජරට වකුගඩු රෝගීන්ට ප්‍රධාන ලෙසම වකුගඩු රෝගය වැළැදී ඇත්තේ ඔවුන් එහි වවන වී වගාවෙන් ලබාගන්නා සහල් හා ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් කැඩ්මියම් ශරීරගත වීම නිසාය. ඌව හා මධ්‍යම පළාත්වල ජනතාව තම වගාවන් කරන්නේ අහස් දියෙන් නිසා ඔවුන්ට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රවණතාව අඩුය.

* වසර 5 ක සිදු කළ අලුත්ම පර්යේෂණයක අලුත්ම තොරතුරු
* දැනටම ලක්ෂ 4 කට රෝගය
* වසර 15 ක් යනතුරු විසඳුමක් නොලැබුණොත් වකුගඩු රෝගය නිසා අපේ අය දස ලක්ෂයක් මියයාවි
* රජරට හාල්වලින් හා ජලයෙන් අපේ ජනතාවට වැඩිපුර කැඩ්මියම් ලැබෙනවා

අපේ රටේ උතුරු මැද උතුරු නැඟෙනහිර හා වයඹ පළාත්වල බහුලව පැතිර ඇති වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කඳුරට ජලයෙන් ලැබෙන කැඩ්මියම් බවට තමා වසර 5 ක් ඇතුළත කළ අධ්‍යයන හා පර්යේෂණ අනුව හෙළිවූ බව එංගලන්තයේ ඉම්පීරියල් සරසවියේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි.

අවුරුදු 5 ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙරට විශ්වවිද්‍යාල හා ප්‍රවීණ විද්‍යාඥයන් හා වෛද්‍ය විශේෂඥයන් කළ පර්යේෂණ පිළිබඳ ඇගැයීම් හා ගවේෂණ සිදු කිරීමෙන් අනතුරුව ආචාර්ය ගම්මන්පිල මේ මතය ප්‍රකාශ කරයි.

අපේ රටේ වී ගොවිතැන බහුලව ඇති උතුරු මැද හා උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ප්‍රධාන කෘෂිකාර්මික කටයුතුවලට වැඩිපුර ගොවි ජනතාව පාවිච්චි කරන්නේ කන්ද උඩරටින් ලබාදෙන මහවැලි ජලයයි. මේ මහවැලි ජලයේ වැඩිපුර කැඩ්මියම් තිබෙන බව අප කළ පර්යේෂණ මඟින් හෙළිවිය. ඒ ජලය තනිකරම සිමෙන්තියෙන් නිම කළ ජල මාර්ග ඔස්සේ බොහෝ දුරට ගලා එන නිසා එහි වස විස පොළොවට උරා ගැනීමක් සිදුනොවේ. ඒ අනුව ඒ ජලයෙන් ගොයම් ඇතුළු විවිධ බෝග වගා කළ පසු ජලයේ ඇති කැඩ්මියම් ආහාර හරහා අපේ ශරීරගත වීම සිදුවේ.

අපේ රටේ වියළි කලාපයේ උතුරු මැද පළාතේ වටිනා වී වගාවෙන් වී කිලෝවක් නිපදවීමට ජලය ලීටර් 1000 - 5000 අතර ප්‍රමාණයක් අවශ්‍යවේ. මේ අනුව ඒ ජල ධාරිතාවේ කෙතරම් කැඩ්මියම් අඩංගු ද? ඒවා අපේ ප්‍රධාන ආහාරය ව‍ූ බත මඟින් ශරීරගත වීම වැළැක්විය හැක්කේ කාටද?

මම කළ පර්යේෂණ අනුව උතුරු මැද වකුගඩු ‍රෝගීන්ට වැඩිපුර ම කැඩ්මියම් ශරීරගත වී ඇත්තේ ප්‍රධාන ආහාරය වූ බත් මඟින් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට හා තීරණවලට අනුව ප්‍රධාන ලෙසම කැඩ්මියම් මඟින් වකුගඩු රෝගය හැදෙන බව අවධාරණය කර තිබේ. අපේ රටේ සමහර පර්යේෂකයන් වකුගඩු රෝගයට ආසනික්, ලෙඩ්, ෆ්ලෝරයිඩ් හේතුවන බව පැවසුවත් ඒවා නිසා ප්‍රධාන ලෙස වැළදෙන තවත් ලෙඩ ‍‍‍රෝග රැසක් ඇත.

ඒ අනුව ආසනික් මඟින් හමේ පිළිකා බහුලව ඇතිවේ. ලෙඩ් ස්නායු රෝග හා අධික රුධිර පීඩනය ඇති කරයි. ෆ්ලෝරයිඩ්වලින් බහුලව ඇති වන්නේ මී උණ හා දන්ත ෆ්ලෝරෝසියාවයි.

අද අපේ රටේ වැඩිපුර වකුගඩු රෝගීන් හඳුනාගන්නේ ‘ඇල්බියුමින් ප්‍රෝටීන්’ පරීක්ෂා කිරීමේ ක්‍රමයෙන් ය. නමුත් ඒ ක්‍රමයේ අඩු පාඩුවක් තිබේ. ඒ ක්‍රමය අනුව වකුගඩු රෝගීන් හඳුනාගත හැක්කේ වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේදී පමණි. රෝගය තරමක් වැළඳුනු රෝගීන් හඳුනාගැනීමට ඇල්බියුමින් ප්‍රෝටීන් ක්‍රමය සුදුසු නොවේ. නමුත් වැඩිපුර අපේ රටේ සිටින්නේ ඒ මට්ටමේ රෝගීන් ය.

කොළඹ පේරාදෙණිය හා රුහුණු සරසවිවල විද්වතුන් කළ පර්යේෂණ අනුව වකුගඩු රෝගය මුල්ම කාලයේ හඳුනාගත හැකි ක්‍රම තිබුණත් ඒවා ‍රජරට අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවා නොමැත.

මේ තත්ත්වය ඉතා කනගාටුදායකය‍. මේ අනුව අපේ රටේ සිදු කෙරෙන වකුගඩු පිළිබඳ පර්යේෂණ ප්‍රතිඵල මඟින් අප රටේ රජරට වකුගඩු රෝගීන්ට ලැබෙන ප්‍රයෝජන අඩු ය.

අපේ රටේ ජලයේ ඇති කැඩ්මියම් පිළිබඳව පර්යේෂණ කිරීම ඉතා අඩු ය. මේ නිසාම රෝගය දිනෙන් දින වැඩි වෙමින් පවතී. දැනට තිබෙන තත්ත්වය මත මෙරට වකුගඩු රෝගීන් ගණන ලක්ෂ 4 ඉක්මවනු ලැබේ. මේ රෝගයේ ප්‍රධාන හේතුව වන කැඩ්මියම් ජනතාවගේ ආහාරයට එක්වීම වැළැක්වූයේ නැත්නම් ඉදිරි අවුරුදු 15 ඇතුළත අපේ රටේ පුද්ගලයන් දස ලක්ෂයකට ආසන්න පුද්ගලයන් පිරිසක් මරණයට පත්වීමට ඉඩ තිබේ.

මෙය වැළැක්වීමට කළ යුත්තේ අපේ රටට කැඩ්මියම් ලැබෙන ප්‍රධාන ප්‍රභවය වන පිටරටින් ගෙන්වන රසායනික පොහොර නිතර නිතර පරීක්ෂා කිරීම හා වෙනත් ජල සම්පාදන ක්‍රම මඟින් රජරටට ජලය ලබාදීමයි.

නුවරඑළිය, වැලිමඩ, රාගල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල එළවළු හා මල් වගාවලට යොදන රසායනික පොහොර තුළ අන්තර්ගත කැඩ්මියම් මහවැලි ජලය ඔස්සේ රජරටට ගලා එන බව ද මේ පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. මේ ජලයට කැඩ්මියම් ලැබෙන ප්‍රධාන ප්‍රභවය වන රසායනික පොහොර මෙරටට ගෙන්වන විට එහි ඇති කැඩ්මියම් සංයුතිය පිළිබඳව අපේ රටේ විද්‍යාත්මක ආයතන දැඩි ලෙස පර්යේෂණ කළ යුතුය.

මේ පර්යේෂණ අනුව ප්‍රධාන ලෙසට පැවසිය හැක්කේ රජරට සහල්වල වැඩි කැඩ්මියම් ප්‍රමාණයක් අන්තර්ගත බවයි. ඒ අනුව රජරට සහල්වල අඩංගු කැඩ්මියම් ප්‍රමාණය පිළිබඳව රජය පර්යේෂණ ආරම්භ කළ යුතුව ඇත. එය මෙරට වකුගඩු රෝගය වැළැක්වීමට අත්‍යවශ්‍යම කටයුත්තකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අපේ රටේ රජරට ප්‍රදේශවල පුද්ගලයන් සියයට 15 කට පමණ වකුගඩු රෝගය වැළදී ඇත. නමුත් මාගේ පර්යේෂණ අනුව රජරට ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගෙන් සියයට 30 කට පමණ මෙම ‍රෝගය වැළඳී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය රාජිත වික්‍රමසිංහ හා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය කමනී වනිගසූරිය කළ පර්යේෂණ අනුව අපේ රටේ සිටින වකුගඩු ‍රෝගීන්ගෙන් සියයට 68 ක පමණ ලේවල ඇති කැඩ්මියම් සංයුතිය ඇමෙරිකානු උපරිම කැඩ්මියම් ප්‍රමිතියට වඩා වැඩි ය. එමෙන් ම එම පර්යේෂණය අනුව හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ අපේ රටේ වකුගඩු රෝග‍ීන්ගෙන් සියයට 90 ක ලේවල ඇති ඊයම් ප්‍රතිශතය ඇමෙරිකානු උපරිම ඊයම් ප්‍රතිශතයට වඩා වැඩි බවයි.

මේ අනුව සමස්තයක් ලෙස පැවසිය හැක්කේ මෙරට රජරට වකුගඩු රෝගීන්ට ප්‍රධාන ලෙසම වකුගඩු රෝගය වැළැදී ඇත්තේ ඔවුන් එහි වවන වී වගාවෙන් ලබාගන්නා සහල් හා ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් කැඩ්මියම් ශරීරගත වීම නිසා බවයි.

කන්ද උඩරට ප්‍රදේශවලින් රජරටට ගලා එන ජලයේ බහුලව කැඩ්මියම් අන්තර්ගත වී ඇති බව ද අවධාරණය කරමි. මේ නිසා රජරට ජනතාව එම ජලයෙන් වවන වී වගාවෙන් ලැබෙන සහල්වල වැඩි කැඩ්මියම් ප්‍රමාණයක් ද අන්තර්ගත වෙන බව කිව යුතු ය. කෙසේ වුවත් ඌව හා මධ්‍යම පළාත්වල ජනතාව තම වගාවන් කරන්නේ අහස් දියෙන් නිසා ඔවුන්ට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රවණතාව අඩු බව ද කිව යුතු ය.

සේයාරුව - රෝෂාන් පිටිපන 

Comments

The parson concerned in this article is me. This article is based on an interview. It is possible in such situations there could be mis-appreciations that may give rise to lack of clarity and inaccuracies. Hence, I wish to make some comments. I am retired now. Hence, although I have affiliations with Imperial College, I do not belong to it. Among others, I have also re-analysed the data of the Ministry of Health and World Health Organisation 2013 study. The most important point I wish to clarify is that it is not only from vegetable growers and their plots and fields that these toxins come but from tea plantations too. Given that tea plantations are on slopes they have a greater likelihood of wash-off of some fertiliser, their toxins, and other agrochemicals such as glyphosate. These agents are in very small quantities, but because of the rice-water foo print at an average of about 3000 liters per kilogram of rice, these agents have a magnifier effect to pollute the rice. This is not a question of users of these agents are negligent or irresponsible, but it is fact that these small quantities of toxins can make a life and death difference. Therefore we must all work together to solve this crisis.

පිටු