පළාත් පාලන මැතිවරණය හා කුණු පාතාලයක දුගඳ | සිළුමිණ

පළාත් පාලන මැතිවරණය හා කුණු පාතාලයක දුගඳ

 පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක කාලයක් ගත වී ඇතත් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව ඉදිරි දින කිහිපය තුළදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සමස්ත ලංකා පළාත් පාලන සංසදය සැරසෙයි. මැතිවරණය නොපැවැත්වීම මගින් හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ මානව හිමිකම් කඩ වී ඇති නිසා හිටපු ජනාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ, මේ පිළිබඳව මෙරට සිටින විදේශ තානාපතිවරුන් දැනුවත් කර ඉන් අනතුරුව ඔවුන්ගේ මාර්ගයෙන් ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා පවසයි. මේ සඳහා මහා නායක හිමිවරුන් සහ අගරදගුරුතුමා ද දැනුවත් කිරීමට නියමිත බව හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. එසේම පළාත් පාලන මැතිවරණය කල්දැමීම ඔස්සේ ප්‍රාදේශීය ලෙස සෞඛ්‍ය ගැටලු රැසක්ද මතුව ඇති බැවින් රටපුරා සිටින ජනතාව ඒකරාශි කර ගනිමින් මැතිවරණය පවත්වන තුරු ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කරන බවද අතුකෝරල මහතා එහිදී කියා සිටියේය.

මොවුන් මෙලෙස ප්‍රකාශ කරන්නේ රෙදි ඇඳගෙන දැයි කෙනකු තුළ ප්‍රශ්නයක් මතුවේ නම් එය නිවැරදිය. මැතිවරණ සීමා නිර්ණය කිරීම තමන්ට අවශ්‍ය ආකාරයට සිදු කිරීමට අනිසි ලෙස බලය පාවිච්චි කරමින් කටයුතු කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. නැවත එය නිවැරදි කර යථාතත්ත්වයට පත් කිරීමේ වගකීම වත්මන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට පැවරී ඇත. ඒ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා සීමා නිර්ණය තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කිරීමට පියවර ගත් හෙයින් මේ තත්ත්වය ඔඩුදුවා ඇති බවය. අඩු තරමින් මෙම කටයුත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව මත එහි වගකිවයුතු පාර්ශ්ව ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කිරීමට කටයුතු කළේ වී නම් මේ ගැටලුව මෙතරම් උග්‍ර නොවන බවය.

එලෙස එක එක පුද්ගලයින්ට අවශ්‍ය ආකාරයට සීමා නිර්ණය කිරීමට පුළුවන් කමක් නොමැති වුවද එකල රාජපක්ෂ රෙජිමය ගෙනගිය අත්තනෝමතික පාලනය හමුවේ සිදු කළ නොහැකි දෙයක් නොවිය. ජනතාව විසින්, සිවිල් සංවිධාන කළ නොහැකි යැයි සිතා සිටි බොහෝදේ ඔවුන් ගේ ඒකාධිපති පාලනය හමුවේ සිදු විය.

මෙරට අග විනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සියධුරයෙන් පහකර හරින ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ ‘දිවි නැගුම පනත‘ සම්බන්ධයෙන් නීතිය නිවැරැදිව ක්‍රියාවට නැවීම ඊට හේතුවයි. මේ අනුව රටේ නීතිය වල්වැදුණු අතර, තමන්ට අවශ්‍ය ආකාරයට නීතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය නිලධාරීන් යොදාගෙන තමතමන්ගේ දේශපාලන ඕනෑ එපාකම් ඉටුකර ගැනීම සඳහා මැතිවරණ සිතියම කණපිට පෙරලුවේ බැසිල් රාජපක්ෂ මහතාය. මේ නිසා සුළු ජාතික පක්ෂවලට ගැටලු කාරී තත්ත්වයක් උද්ගතව පැවතියේය.

පළාත් පාලන ඡන්දය තවත් තුන් මසකින් කල් ගියේ ආණ්ඩුව ඡන්දයකට යාමට ඇති බිය නිසා නොව නෛතික අවශ්‍යතානුකූලව ගැසට් පත්‍රය නිකුත් කිරීමට සිදු වූ බැවිණි. එහි දිනය වරදවා තේරුම්ගෙන ඡන්ද කල් දැමීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට සිදු කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටින්නේ.

ඒ අතරම ඔහු පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධන සහිතව තවම පාර්ලිමේන්තුවේ සම්මත වී තැති බවත්, ඒ නිසා පළාත් පාලන ආයතනවලට පත් විය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සක්‍රියව තැබීමට අවශ්‍ය නිසා එම ගැසට් නිවේදනය නිකුත් කළ බවය. එසේ නොමැතිව එදිනට පෙර මැතිවරණය පැවැත් වීමට කිසිදු නෛතික බාධාවක් නැති බව ය. එසේ වීනම් ප්‍රශ්නයක් නැති තැන ප්‍රශ්නයක් මවා බොරදියේ මාළු බෑමට මේ ඊනියා ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කරමින් සිටී. තමන් විසින්ම ජනිත කළ ගැටලුව නිවැරැදි කිරීමට උත්සාහ ගැනීම නිසා සිදුව ඇති ප්‍රමාදය දඩමීමා කරගෙන මෙසේ හැසිරීම දේශපාලන ජයග්‍රහණයක් නොව දේශපාලන බංකොලොත් භාවය ප්‍රදර්ශනය කිරීමකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ රීතිමය ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා “මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළා. මේ පළාත් පාලන ආයතනවල ධුර කාලය සළකා බැලිය යුතුයි. තාක්ෂණික සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනැත් තිබෙනවා. පනත් කෙටුම්පත සම්මත කළ හොත් ඡන්දයක් පැවැත්විය හැකියි. මම මගේ රාජකාරිය ඉටු කළා “යැයි පවසා සිටියේය. එසේ නම් කළ යුතුව ඇත්තේ පනත්කෙටුම්පත සම්මත කිරීම විනා ඉන් දේශපාලන වාසි සෙවීම නොවේ.

නව මැතිවරණ ක්‍රමය නිසා ගැටලු ඇති වෙනවා නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරමින් එය නිවැරැදි කිරීමට ක්‍රියා කරනවා මිස නව මැතිවරණ ක්‍රමයට බිය වී පරණ ක්‍රමයටම මැතිවරණය පැවැත් වීමට යෝජනා කිරීම විහිළු සහගතය. සමානුපාතික ක්‍රමය මේ තාක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පැන නැගුණ ගැටලු විසඳීම සඳහා සමානුපාතික ක්‍රමයේ හා කේවල ක්‍රමයේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යා යුතු බව කලක පටන් සාකච්ඡාවකට බඳුන් වන්නකි. එනිසා වත්මන් මැතිවරණ ක්‍රමය ප්‍රකාශයට පත්වීම යනු එහි ප්‍රතිඵලයකි.

එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් එහි ප්‍රතිඵලය භූක්ති විඳින්නේ මුලුමහත් ජනතාවය. එය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු පැන නැගිය හැකිය. එය ඕනෑම දෙයක ස්වභාවය වේ. එහිදී කළ යුත්තේ රටක ඉදිරි ගමනට අදාළ වන පනතක් ප්‍රතික්ෂේප කිරීම නොව එය සාධනීයව භාරගෙන ඊට මුහුණ දීමය. එහිදී මතු වන ගැටලු දෙවනුව විසඳා ගත හැකිය. නව නීතියක වුවත් ස්වරූපය මෙය වේ. උදාහරණයකට තොරතුරු දැනගැනීමේ පනත ගත්තොත් එය භාවිතයට නොගෙන සිටීමෙන් එහි නෛතික රාමුව නිවැරදිව සකස් නොවේ. මේවා හැකි තරම් භාවිතයට යොදා ගැනීම මගින් මේ නෛතික රාමුව සංවර්ධනය කර ශක්තිමත් කළ හැකිවේ. එලෙසින්ම නව මැතිවරණ ක්‍රමයද භාවිතයේ යෙදවීම ඔස්සේ වඩා ශක්තිමත්, ජනතාවට වගකියන පාර්ලිමේන්තු නියෝජිතයින් පත් කර ගත හැකිය. එය ජනතා ජයග්‍රහණයකි. නැතිව මෙය කිසියම් පක්ෂයක ජයග්‍රහණයක් නොවේ.

කාලාන්තරයක් තිස්සේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා ම ජනතා නියෝජිතයින් අප තෝරා පත් කරගෙන ඇත්තේ ඉහත සඳහන් සුදුසු කම් පමණක් සම්පූර්ණ කිරීමෙන් බව මේ වන විට තෝරා පත් කරගෙන සිටින නියෝජිතයින් හැසිරෙන ආකාරයම ප්‍රමාණවත් සාක්ෂියකි.

උසස් පෙළ තබා සාමාන්‍ය පෙළවත් සමත් නැති 130කට ආසන්න පිරිසක් පාර්ලීමෙන්තුවේ සිටින බව සමාජ විද්‍යා මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පැවසීය. ඒ සැකෙවින් ලබාගත් නියැදියක් වන අතර මේ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද ඒ මහතා පවසයි. එසේ නම් අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අප පත්කර යවා ඇත්තේ කවුරුන්ද? එසේ නම් පළාත් පාළන මැතිවරණය පැවත් වීමෙන් පමණක් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි ද? පළාත් පාලන මැතිවරණය පෙරටුව පාර්ලිමේන්තුව දක්වා දක්වා පැමිණෙන මෙම ජනතා නියෝජිතයින් රටට කර ඇති විපත්තිය පිළිබඳ බුද්ධිමත් මහජනතාව නැවතත් සිතා බැලිය යුතුය. මේ සඳහා අප අද මුහුණ පා සිටින කුණු ප්‍රශ්නය හා මාරාන්තික ඩෙංගු වසංගතය (මෙය කුණු ප්‍රශ්නයේම අතුරු ඵලයකි) හොඳට ම ප්‍රමාණවත්ය.

දෛනික ජන ජීවිතයේ දී බැහැර වන කුණු තමන්ට ම කළමනාකරණය කර ගන්නට අවස්ථාවක් නොමැති නාගරික පරිසරය තුළ හා ප්‍රධාන වීදිවල රැඳී තිබෙන කුණු එකතු කිරීම සෞඛ්‍ය හා සනීපාරක්ෂාව යටතේ පළාත් පාලන ආයතන සතු වගකීමකි. රජයට බදු ගෙවන ජනතාව ලෙස එසේ ඉල්ලීමට හෝ බලාපොරොත්තු වීමට ජනතාවට අයිතියක් ද ඇත. ඇත්තෙන්ම මේ පිරිස රටේ ජනගහනයෙන් ඉතා සුළුතරයකි. එහෙත් තම ගෙවත්තේ ම කුණු ටික කළමනාකරණය කර ගත හැකි, ඒ සඳහා ඉඩකඩ ඇති, රටේ බහුතරය වන ග්‍රාමීය ප්‍රජාව කුණු ගෙවත්තෙන් පිටතට හෝ මහ මඟට හෝ ගෙනැවිත් දැමීම අනුමත කළ නොහැකිය. ට්‍රැක්ටරයකින් වත් යාමට නොහැකි ගම්බද අතුරු මාර්ගවල අයිනක කුණු ගෙනත් දමන තත්ත්වයට ගමේ ජනතාව පෙලඹවාලනු ලැබූයේ මේ පළාත් පාලන දේශපාලනය යි.

පසුගිය වසර දහයක පමණ කාලය පිරික්ෂා බලන කල පළාත් පාලන ආයතන වැඩි හරියක් පිරී ගියේ ඉහත දැක්වූ චර්යාවන් සහිත පුද්ගලයන්ගෙනි. එනම්, හුදෙක් මළ ගෙදරක නිඳි මරන්නට පමණක් දන්නා තම දෙපයින් නැඟී සිටින්නට හැකියාවක් නැති නුසුදුසු කම සුදුසු කම බවට හරවාගත් සමාජ විසමතාවයන්ට නායකත්වය සපයන ‘රස්තියාදුකාර‘ චරිතවලිනි. මෙය ආචාර්ය කුමාරි ජයවර්ධනගේ වචනයෙන් පවසන්නේ නම් ‘‘සමහරුන් නිකමුන් වීම හා නිකමුන් සමහරුන් වීමේ“ ප්‍රවණතාවයයි.

තමන්ගේ කුණු තමන්ට අයත් නොවන කොතැනකට හෝ වීසි කර අහක බලා ගන්නා සමහරුන්ට මොවුන් මහත් සේවාවක් ඉටු කරන දේශපාලකයින් බවට පත්ව තිබේ. කුණු ඉවත් කිරීම මඟින් ඊනියා මහජන නියෝජිතයා එකවර වාසි දෙකක් අත් කරගනී. එක් වාසියක් නම් කුණු ඉවත් කිරීම මගින් ජනතාව තුළ ඇතිවන සංතුෂ්ටිය නිසා ලැබෙන ඡන්දය යි. අනෙක කුණු ඇදීම සිදු කරනු ලබන ක්‍රියාවලිය හරහා ලැබෙන කොමිස් කුට්ටිය හා අල්ලස් ය. මෙවැනි පසුබිමක් යටතේ පසුගිය රජය පළාත් පාලන නියෝජිතයන් හට ගමේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ය කියා කොමිස් ව්‍යාපාර (පාරවල්වල කොන්ක්‍රීට් දැමීම) ලබා දීම මඟින් මේ රස්තියාදු දේශපාලනය තව තවත් සුජාත කෙරිණි. එමගින් ජාතික දේශපාලන තලය ද තව තවත් පාතාල කරණය විණි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමා පළාත් පාලන ඡන්දය ඉල්ලා කෑගසන ඝෝෂා පිටුපස එක් පසකින් ඇත්තේ මෙම පාතාල නායකයින්ගේ කුණු ගඳය.

මේ නිසා ජනතාව තේරුම් ගත යුතු කරුණ වන්නේ පළාත් පාලන දේශපාලනය යනු නොසලකා හැරිය හැකි දේශපාලන ව්‍යතිරේකයක් නොව, ජාතික දේශපාලනයට නායකයින් තෝරා පත්කර ගන්නා මුලික ක්‍රියාදාමය ලෙසය. රටේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනයට යම් දවසක යොමු වන්නේ මෙලෙස පැමිණෙන මහජන නියෝජිතයන්ය. එනිසා මේ පිළිබඳව සිහිබුද්ධියෙන් කටයුතු කිරීම ජනතාව සතු වගකීමකි.රටේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කළ යුතු ප්‍රාදේශීය සභා ආයතන කුණු එකතු කරන ස්ථානයක් බවට ඌනනය කළේ රාජපක්ෂ ආණ්ඩුවය. එනිසා තැන තැන එකතුවන කුණු අස් කිරීමට පළාත් පාලන හා ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත් විය යුතු බව ඔවුන් පවසන්නේ නම් එය සහතික ඇත්තය. මන්ද ඔවුන් රටේ සංවර්ධනය පවුලට භාර කර සංවර්ධනය සඳහා යොදාගත හැකි රාජ්‍ය ආයතන කුණු එකතු කරන ස්ථාන බවට පත් කළ නිසාය. අනෙක් අතට සයිටම්, උමා ඔය වැනි ගැටලු දෙස අවධානය යොමු කරන විට ද පෙනීයන්නේ ඒ අදූරදර්ශී අත්තනෝමතික පාලන ක්‍රමයේ ප්‍රතිවිපාකය.

මේ වන විට කරලියට පැමිණ තිබෙන ජනමාධ්‍ය නියාමනය ගැනද යමක් සිහිපත් කළ යුතුය. මෙරට බොහෝ මාධ්‍ය හැසිරෙන්නේ තම වගකීමෙන් බැහැරවය. එය පසු ගිය මැතිවරණ සමයේ ඕනෑවටත් වඩා ඔප්පුවිය. අපට අවශ්‍යව ඇත්තේ නව සමාජ දැක්මක් සහිතව ක්‍රියා කරන ආකල්පමය වෙනසකින් යුතු ජන මාධ්‍ය සංස්තෘතියකි.

බොහෝ ආයතනවල ජනමාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ තමතමන්ගේ හාම්පුතුන්ගේ දේශපාලන ඕනෑ එපාකම් අනුවය. එවැනි ජනමාධ්‍ය අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතුය. ජනමාධ්‍ය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතාව සඳහා වූ මාධ්‍යය යන්නයි. නමුත් මේවා අද ක්‍රියාත්මක වන්නේ ජනතාව ධනාත්මකව ඉදිරියට යා හැකි ලෙස ආකල්පමය වෙනසකට ලක්කිරීම සඳහා නොව ඔවුන් රවටා මුදල් උපයා ගැනීම සඳහාය. එනිසා කවුරුන් හෝ ඊට මැදිහත් වී කිසියම් නියාමනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය ය. එය වගකිව යුතු රජයක යුතු කමකි.

අප මේතාක් පවත්වාගෙන ආ සමාජ ක්‍රමයෙන් අපට කිසිදු පිහිටක් පැතිය නොහැකිය. එහි රෝගි බව උත්සන්න වී කුණුපයක් වීමට පටන්ගෙන හමාරය. මෙවැනි සමාජ ක්‍රමයක් නඩත්තු කරමින් ආර්ථිකව හෝ සමාජීයව හෝ දේශපාලනිකව හෝ කිසිදු ප්‍රගතියක් අත් නොවන බව අමතුවෙන් කිවයුතු නැත. ජනතාව මෙවැනි අවස්ථාවක ගොඩගත යුතු ජන මාධ්‍යයන් හැසිරෙන්නේ වෙනත් රටවල මෙන් පොදුමහජනතාව ගැන සිතා නොව දේශපාලන වාසිය ගැන සිතාය. ඔවුන් කරන්නේ රටේ මහජනතාව රවටා ලාබ ලැබීම පමණකි. ඔවුන් අමතක නොකළ යුතු කාරණය වන්නේ, අවසාන විනිශ්චයේ දී තමන්ටද කටයුතු කළ යුතු වන්නේ මේ සමාජ ක්‍රමය තුළම විනා ඉන් පිටත නොවන බවය. ඔවුන්ද මේ පීඩනයේ අතිමහත් කොටස් කරුවන්ය. එනිසා එදිනෙදා ජනතාවගේ සිතීමේ අවකාශය භාර ගන්නා ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් පැවරී තිබේ. ඒ සඳහා සංදෘෂ්ටිකවාදී (EXISTENTIALIST) එළඹුමකට මේ සියලු දෙනාම පැමිණිය යුතුය.

මේ රටේ ඇති වී තිබෙන බොහෝ ගැටලුවලට හේතුව ආකල්පමය දරිද්‍රතාවය යැයි පෙරද පැවසුවෙමි. මේ සඳහා සාමූහිකත්වයට කැමැත්තක් දක්වන සාමාන්‍ය ජනයා හා බුද්ධිමතුන් අතර සංවාදයක් අරම්භ විය යුතුව තිබේ.

යථාර්ථය වසා සිටින සියලු සළුපිළි උනා දමමින් තමන් සියල්ලන්ටම අත්වී තිබෙන පොදු විපත්තිය පිළිබඳව සිහිබුද්ධියෙන් (සවිඥානිකව) සංවාද කිරීමට කාලය පැමිණ තිබේ. ඒ සඳහා සියලු සන්නිවේදන බාධා මඟ හැර ගොස් තම යුතුකම නියමාකාරයෙන් ඉටු කරන ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු. විවිධ දේශපාලන මතවාදවලට නතුව සේවය කිරීම තවදුරටත් තාර්කික නොවේ. මන්ද දේශපාලනයේ යෙදෙන්නන් වැඩි දෙනා අපටත් වඩා දරුණු ලෙස මානසික අගාධවල ගිලී සිටින බැවිනි.

කෙනකු සාංදෘෂ්ටික ව සිතනු විනා අලුත් ලෝකයක් දකින්නට වෙනත් කිසිදු විකල්පය මාර්ගයක් නොමැතිය. පවතින සමාජ ක්‍රමය අප මුළුමනින්ම අකර්මණ්‍යය කර ඇත.

විටෙන් විට නැගී සිටියද ඒ මේ කුණුපයෙන් ගැලවීමට නොව ඒ තුළම හටගන්නා සැරව හොරි දද කුෂ්ටවලට පැලැස්තර දැමීමටය. සයිටම්, ඩෙංගු, කුණු කඳු, උමා ඔය, ඡන්ද, දේශපාලන බලය හඹායෑම...එකී මෙකී සියල්ල මෙම කුණපය තුළ පවතින තවත් ව්‍යාධිය. කුණු වූ ශරීරයේ මතුවූ තවත් කුණකට බෙහෙත් කිරීමෙන් ඵලයක් නොමැති වග කවුරුත් දනිති. එසේ නම් මේ කුණපය රැකීමෙන් ඵලක් නොමැතිය. ඒ සඳහා කළ හැක්කේ කූණු වී ගඳගහන කුණපය කර තබාගෙන යාම නොව අත් හැරීමය.

කේ. ඩී. රසික 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.