ගෝ වලල ගෝ... | සිළුමිණ

ගෝ වලල ගෝ...

 මේ ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ අනන්‍යතාවක් සටහන් කරගත් පාඨයකි. කුමන ක්‍රීඩාවක වුවද තවාන් බිම, තිඹිරිගෙය පාසලය.

එහෙත් කුමන හෝ කරුමයකට ලාංකේය පාසල් පද්ධතිය තුළ තවමත් ක්‍රීඩාවට හිමි වන්නේ කුඩම්මාගේ සැලකිලි පමණි. ඒ නිසාම ක්‍රමානුකූලව ගොඩනැඟුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවට ජාත්‍යන්තරයට පිවිසෙනුයේ හිතේ හයියට, කට්ටක් කාගෙන ගොඩනැඟුණු පිරිසක් බව සෙවීමට වැඩිය මහන්සි විය යුතු නොවේ. මේ පාසල් ක්‍රීඩාවේ අසංවර්ධනය මිසක් වෙන සාධක නොවේ. එක් රජයක් යටතේ ක්‍රීඩා අමාත්‍යවරු දහ දෙනෙක් සිටිය ද පුරසාරම්වලින් ඔබ්බට යන කෙනකු සොයා ගත නොහැකි තරම්ය. කොටින් ම පාසල් පද්ධතිය අමතක කර ගමනක් යාමට තියා ගමනකට සැලසුමක් හෝ සකසා ගත නොහැකි බව බොහෝ දෙනකුට නොතේරෙන අතර තේරුම් ගත් අයකු හෝ සිටියද යන්නත් සැක සහිතයි.

එවන් අබල - දුබල තත්ත්වයක් තුළ ලාංකේය පාසල් ක්‍රීඩා පද්ධතියට නව අරුතක් ගැම්මක් - හුස්මක් එක් කළේ වලල ඒ. රත්නායක විද්‍යාලය බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ලාංකේය මධ්‍ය මහා විදුහල් අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා වලල ඒ රත්නායක විද්‍යාලය මෙරට සතරදිග්භාගයේ සිය නාමය ඉහළින්ම සටහන් කර ගන්නේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩ නඟා ගන්නා වූ වලලට අනන්‍ය වූ සුවිශේෂි දක්ෂතා හේතුවෙනි. අනූව දශකය අගභාගය වන තෙක්ම අගනුවර පාසල්වලට උරුමකම් කියූ ලාංකේය මලල ක්‍රීඩා ආධිපත්‍යය පිට පළාත්වලද අයිතියක් බව සටහන් කිරීමේ හැරවුම් ලක්ෂය වලල බව නොරහසකි.

1998 දී පැවැති 68 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව දිනා ගනිමින් ඇරඹූ ගමන් මගෙහි මේ දක්වා දිනා ගෙන ඇති ජයග්‍රහණයන්ට ළඟාවීමටත් වෙනත් පාසලකට මේ ක්ෂේත්‍රයේ තව බොහෝ දුරක් යාමට සිදුවනු නිසැකය. 2001-02 සහ 2007-08 දී පිට පිට ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ, සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සහ ජාතික සහාය දිවීමේ ශූරතාවලියේ බාලක බාලිකා ශූරතා සියල්ලම වලල සතු කර ගැනීම මෙකී ජයග්‍රහණ අතර සුවිශේෂීම ජයග්‍රහණයන්ය. හරි හැටි ක්‍රීඩා පිටියක්වත් නොමැතිව වලල, මලල ක්‍රීඩාව ජයග්‍රාහී මට්ටමකට තබා ගැනීමට නිරන්තරයෙන් ම වෙහෙසෙන සුසන්ත ප්‍රනාන්දු ප්‍රමුඛ පුහුණු කාර්යමණ්ඩලය මෙන්ම වත්මන් මෙන්ම හිටපු විදුහල්පතිවරුන්ද මෙකි කාර්යයේ දැවැන්තයන්ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.