සමහර කමටහන් සමඟ දුෂ්ටකමේ සෞන්දර්ය විඳීම | සිළුමිණ

සමහර කමටහන් සමඟ දුෂ්ටකමේ සෞන්දර්ය විඳීම

පසුගිය වසරේ පළ වූ හොඳ ම කෙටිකතා සංග්‍රහය හා හොඳ ම කාව්‍ය සංග්‍රහය උදෙසා රජත පුස්තක සම්මාන පිදීමේ උලෙළ පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වසරේ හොඳ ම නවකතාව සඳහා ස්වර්ණ පුස්තක සම්මාන ලබා දීමේ උලෙළ ආරම්භ කළේ මීට දශකයකට පමණ පෙර ය. කවිය සහ කෙටිකතාව යන සාහිත්‍ය ධාරා අවතක්සේරුවකට ලක් නොකර ඒවාට ද ඇගැයීමක් ලබා දිය යුතු ය යන අදහස එකල සිට පැවතිණ.

බුද්ධදාස ගලප්පත්ති හා අනුරසිරි හෙට්ටිගේ යනාදී සාහිත්‍යවේදීන් කලක පටන් මේ පිළිබඳ උනන්දුවෙන් මත පළ කරනු දැක ඇත්තෙමි.

ස්වර්ණ පුස්තක උලෙළ නවකතාවේ පරිහානියට හේතු වන්නේ යැයි මත පළ කරන කිහිප දෙනෙක් සිටිති. කවිය හා කෙටිකතාව සම්බන්ධයෙන් ද ඔවුහු ඒ මතය ම දරති.

කරුණු එසේ වුව ද ස්වර්ණ පුස්තක සම්මානය සාහිත්‍ය විෂයයෙහි ප්‍රබෝධයක් ඇති කිරීම කෙරෙහි බලපා ඇති බව ලියුම්කරුගේ අදහස ය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ඒ ගෞරවය හිමිකර දීම දෙවරක් කල්පනා කළ යුත්තක් නොවේ. නවකතාකරණයෙහි යෙදී සිටින ලේඛක ලේඛිකාවන් අතළොස්ස තම කාරියෙහි උනන්දුවෙන් නියැළීම නවකතාව පුළුල් පාඨක පිරිසක් අතරට යෑම සහ නවකතාව විෂයයෙහි නව සාහිත්‍ය කතිකාවතක් ආරම්භ වීම ස්වර්ණ පුස්තක උලෙළෙහි ප්‍රතිඵලයයි.

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සීයට අනූව ඉක්ම වුවද පොත් කියවන පාඨක සංඛ්‍යාව අල්ප ය. කුඩා දූපතක මවු බසින් ලේඛනයෙහි නිරත ලේඛක පරපුර එයින් ආර්ථික ස්ථාවරයක් ගොඩනඟා ගැනීමට අසමත් ය. මේ නිසා, ඔවුනට සිදු ව ඇත්තේ වෙනත් ජීවන වෘත්තියක නියැළෙමින් නවකතාකරණයෙහි යෙදීමට ය. මෙය දුෂ්කර කටයුත්තකි. මේ අනුව පෙනී යන්නේ ලේඛකයන් කරන කැපවීම සුළු කොට නොතැකිය යුතු බව ය.

1962 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ සෝවියට් දේශයෙහි නැඟීම කෘතියෙහි රුසියාවේ උස්බෙකිස්තාන් රටේ පාඨක ප්‍රජාව සහ ශ්‍රී ලාංකික පාඨක ප්‍රජාව පිළිබඳ සංසන්දනයක් ඇතුළත් වෙයි.

ඒ අනුව උස්බෙකිස්තාන්හි ජනගහනය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයට සමාන ය. එරට හොඳ පොතක් මුද්‍රණය වූ විට පිටපත් ලක්ෂ ගණනක් අලෙවි කෙරේ. ලංකාවේ එකල හොඳ පොතක අලෙවිය පිටපත් තුන් දහස නොඉක්ම වීය. වත්මනෙහි ශ්‍රී ලංකාවේ පාඨක ප්‍රජාවෙහි තත්ත්වය ඊට ද වඩා ශෝකජනක ය.

කරුණු මෙසේ තිබියදී අන්තර්ජාතික පොත් සල්පිලට සමාන්තර ව පැවැත්වෙන ස්වර්ණ පුස්තක උලෙළ නවකතාවේ පාඨක සමාජය පුළුල් කිරීමට බලපෑවේ ය. නිර්දේශිත කෘති නැවත නැවත මුද්‍රණය කිරීමට ලේඛකයන්ට සිදු විය. ලේඛකයන්ගේ ආර්ථික සුබ සිද්ධිය අතින් බැලු විට මෙය අවංක හදින් සතුටු විය යුත්තකි.

නවකතාවේ ගුණාත්මක ස්වභාවය පිළිබඳ සාකච්ඡා කරන ඇතැම් විද්වතුන් මේ අදහසට එකඟ නොවීමට ඉඩ තිබේ. ස්වර්ණ පුස්තක උලෙළට පෙර හා පසු ව බිහි වූ නවකතාවල අන්තර්ගතය අනුව මට හැඟී යනුයේ විවේචකයන් කියන පරිදි ගුණාත්මක පරිහානියක් සිදු වී නොමැති බව ය. නවකතා පාඨකයකු හැටියට මගේ හෘද සාක්ෂියට එරෙහි ව ලිවීම වරදක් යැයි සිතමි. සාහිත්‍යකරණය හා විචාරය යන දෙකෙහි ම දිගින් දිගට ම අසාර්ථක වූවන් හට විකල්ප මාර්ගය ලෙස ඉතිරි ව ඇත්තේ අවලාද හා මැසිවිලි නැඟීම ය.

කුදු මහත් සැම කටයුත්තක දී මෙන් ම සාහිත්‍ය නිර්මාණයේ දී ද පක්ෂ විපක්ෂ මතවාද පහළ වීම, හා ගැටීම අප බලාපොරොත්තු විය යුතු ය. වාදය ප්‍රතිවාදය හා ගැටීමෙන් සංවාදය බිහි වේ.

මේ එළැඹ ඇත්තේ වාදය ප්‍රතිවාදය හා ගැටෙන අවධියයි. කවිය සහ කෙටිකතාව ඇගැයීමේ තීන්දුව ඒ ගැටුමට තීව්‍ර කිරීම කෙරෙහි බලපා ඇති බව පෙනේ.

මෙවර රජත සම්මානයෙන් පිදුම් ලද ලේඛකයන් දෙදෙනා ම කවිය සහ කෙටිකතාව විෂයයෙහි නූතන ධාරාව නියෝජනය කරති. මංජුල වෙඩිවර්ධන සහ ලක්ශාන්ත අතුකෝරළ යන දෙදෙනා ම කවියෝ ය. සාහිත්‍යකරණයෙහි අත්පොත් තැබීම අතින් බැලු විට ලක්ශාන්තට වඩා තරමක් දිගු ඉතිහාසයක් මංජුලට තිබේ. ලක්ශාන්ත තමා වඩාත් සංවේදී වූ කවිය නමැති සාහිත්‍ය ධාරාවෙහි ගැඹුරට කිමිදෙමින් සාර්ථකත්වය කරා යන සූක්ෂ්මාත්මතාවක් සහිත කවියෙකි. ඔහු සාහිත්‍ය මණ්ඩප නියෝජනය කිරීමේ උදාසීනත්වයක් දක්වන්නෙකි. එසේ වුව ද ඔහුගේ කියවීමේ පඨිතය පුළුල් ය. දෙස් විදෙස් බහු විධ කාව්‍ය ප්‍රවණතා ඇසුරු කරමින් තමන්ගේ කවි ලකුණ මතු කර ගැනීමට ඔහු සමත් ය.

පැබ්ලෝ නෙරූදාගේ කවිවල පෙනෙන සමාජ රිදුමේ පුපුරු ගැස්ම ලක්ශාන්තගේ කවියෙහි යටි තලය ස්පර්ශ කරන අතර පැක් ඉන්වාන්, කිම් ටොන්යෙරන් යන කොරියානු කවීන්ගේ කවිවල මෙටපිසිකලියානු රිද්මය ඔහුගේ කවියෙහි මතුපිට දිදුලන පැහැය බවට පත්ව තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය.

ලක්ශාන්ත අතුකෝරල කවියා සිංහල කවියෙහි අනාගතය පිළිබඳ අප හදවත්හි ඉමහත් සුබවාදී බලාපොරොත්තු ඇති කරවයි.

මංජුලගේ කවිය අප හමුවට මුලින් ම ආවේ ශේන් මැකෙල්විගේ කවියේ නිවුන් සොහොයුරකු පරිද්දෙනි. නිරුත්තර සමාධිය දෙදෙනාගේ මුල් පියවර යි. සමාජ අසාධාරණය නිසා හටගත් සටන්කාමී ගුණය කාව්‍යාත්මයෙහි දිදුලන පැහැය බවට පත් කරගැනීම මංජුලගේ කවියෙහි ස්වභාවයයි. 1990 දශකයේ මැද භාගයේ දී පමණ ඔහු තම කවියෙහි කෙටිකතා බීජ කවි බවට පත් නොකර කෙටිකතා හැටියට එළියට ගන්නට පටන්ගත්තේ ය. ඒ කෙටිකතා අත්අකුරින් කියවූවන් අතර මා ද එක් අයෙකි.

එවක මා සංස්කරණය කළ රාවය කෙටිකතා පිටුවෙහි මංජුලගේ මේරි නම් වූ මරියා කෙටිකතාව පළ කළේ එයින් විවාදාපන්න පරිසරයක් ගොඩ නැ‍ඟෙන බව දැන දැන ම ය. ඒ කෙටිකතාව ප්‍රමුඛ කරගත් ඔහුගේ කෙටිකතා අත්පිටපත මාගේ නිර්දේශය පරිදි පළ කිරීම දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා බාර ගත්තේ ය. පොතට එරෙහි ව සිරිල් ගාමිණි පියනමගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේදී මංජුල වෙනුවෙන් හතර වැනි තට්ටුවට ගොස් මා දුන් කට උත්තරයේ අන්තර්ගත වූයේ ආගම, සාහිත්‍යය සහ සදාචාරය එකට පටලවා ගැනීමේ වැරැද්ද ය. ඒ අතින් මංජුල සාහිත්‍ය කැරලිකරුවෙකි.

මෙවර සම්මානයට පාත්‍ර වූ “දුෂ්ටකමේ සවුන්දර්යය හෙවත් රත්මලානේ තවත් කතා” කෙටිකතා එකතුව කියවද්දී “නන්නත්තාර සමනලයා” සිහිපත් වෙයි.

රත්මලාන දුම්රිය මාර්ගයට නුදුරු පිට්ටනියේ තණබිස්සේ එක් සැන්දෑවක ශේන් මැකෙල්වි (ජීවතුන් අතර නැත) සහ මංජුලගේ රත්මලානේ මිතුරන් සමඟ මලින් උපන් දුම්රොටු අහසේ පා කරමින් බෙදා හදාගත් ජීවන කෙටිකතා යළි මා සිතට නැඟේ. බෙලෙක්කඩේ හන්දියේ කොත්තු කඩයක දී සිදු වූ බහින්බස් වීමක දී මංජුල තරුණයකුට පහර දුන්නේ ය. පහර දුන් දෑතින් ම ගුටි කෑ තරුණයා බදා සිඹ ගන්නා හදවතක් මංජුලට විය.

දුෂ්ටකමේ සෞන්දර්යය යනු එය යි.

අදහස්