අඹ යාළුවෝ ආ ගමන සුමට නැත | සිළුමිණ

අඹ යාළුවෝ ආ ගමන සුමට නැත

‘අඹ යහළුවෝ පැරැණි වන්නේ නැත’ ලිපියට ඌනපූර්ණයක්

මගේ ලේඛන ගුරුදේවයාණන් වූ විද්වත් ලේඛක හේමපාල මුනිදාස සූරීන්ගේ වහර අනුව යෙදෙමින් යමක් හෝ යම් පුද්ගලයකු ගැන ලියනවිට හැකිතාක් අප්‍රකට සිද්ධි හෝ වැදගත් පැරණි තොරතුරු සොයා ලිවීම මගේ ද ලේඛන චර්යා ධර්මයක් බවට පත් වී ඇත්තේ ය.

එහෙයින් ම පසුගියදා ප්‍රවීණ ලේඛකයකුගෙන් කියැවුණු ‘අඹ යහළුවන්ගේ සාහිත්‍යය පැරණි වන්නේ නැත’ යන න්‍යායධර්ම වාක්‍යය අනුව එහි ද තරමක් අප්‍රකට වූ තොරතුරක් හා ලේඛක ටී.බී. ඉලංගරත්න මහත්මා සමඟ අප කළ කතාබහක් ද හෙළි කළ හැකිව තිබේ.

උඩරට තුම්පනේ ගැමි කුල ගෙදරක ඉපිද මහනුවර කච්චේරියේ ලිපිකරුවකු වශයෙන් රැකියාවක් අරඹමින් එහිදී සාහිත්‍ය රස වින්දනයෙන් ද ඉන්පසුව වෘත්තීය අරගලයකට මැදිවී ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා රස්සාව ද අහිමි කරගත් පුවත ද, එයට ද අනතුරුව දේශපාලනයට ද පිවිස මන්ත්‍රී - අමාත්‍ය ධූර දරමින් මෑත යුගයේ ලංකා දේශය දුටු ‘දේශපාලන මහාත්මයකුව’ කල්ගත කළ අන්දම ද දැන් ඉතිහාසයට එක්වී හමාර ය. සරල පද මාලාවලින් ලේඛනයෙහි යෙදෙමින් කෙටිකතා, නවකතා, විචාර ආදියෙන් මෑත යුගයේ සිංහල සාහිත්‍යය පොහොසත් කළ එතුමෝ ඒ මගින් සිංහල සාහිත්‍ය පෝෂණයේ යෙදුණේ පෙරපින් ඇතිව තම කුසලතා විදහා දක්වමිනි. පසුක‍ලෙකදී එතුමා විසින් ලියන ලද නවකතා රැසක් ම සිනමාවට ද නැගුණි. එයින් ද ඇති වූයේ අමුතුම වින්දනයක් රසිකයන් තුළ ඇතිවීම ය. එතුමන් දේශපාලනයෙන් ඉවත් ව සිටි යුගයේදී ‘අඹ යහළුවෝ’ නම් නවකතාව පුංචි තිරයට - රූපවාහිනියට නැගුණි. එය සුදත් දේශප්‍රිය මහතා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කර තිබිණ. මෙහිදී කුලීන හා දුගී ගැටවරයන් දෙදෙනකුගේ චරිත මනා ලෙස රූපවාහිනි රූපී ලෙස ප්‍රේක්ෂක දෙනෙත් මත හුවා දැක්වීමට එම තිරනාටක රචකයා සමත්වූ හෙයින් ම ‘අඹ යහළුවෝ’ ටෙලිනාටකය එකල පමණක් ද නොව ඉන්පසුව අද දක්වා බිහිවූ එවැනි කෘති අතර ද සම්භාවනාවට පාත්‍රවූ බව කිව හැකි ය. එසේ ම එය එම යුගයේ සිටි දක්ෂ නළු නිළියන් කිහිප දෙනෙකු ද යොදවා එම අධ්‍යක්ෂවරයා අතිශයින් ම දක්ෂ ලෙස නිර්මාණය කළ හෙයින් ම එහි රචක ඉලංගරත්න සූරීන්ට ද එහි රසය මනා ලෙස විඳ ගත හැකි විය. පසුකලෙක එම ටෙලිනාට්‍යය කිහිපවරක් ම වරින් වර ප්‍රචාරය වී තිබී දැන් යළිඳු ප්‍රචාරය වන හෙයින් එහි අගය එන්න එන්න ම වැඩි වී තිබේ.

රචකයාගේ නිර්මාණයේ දක්ෂතාව ද තිර රචක හා අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතාගේ දක්ෂතාව ද එකටම කැපී පෙනෙන නිසා එය සර්වකාලීන වටිනාකමකින් යුතු නිෂ්පාදනයක් වී තිබීම ද අතිශයින් ම වැදගත් ය.

‘අඹ යහළුවෝ’ ටෙලිනාට්‍යයට නැගෙන්නට තීරණය කෙරෙන විට එහි මුද්‍රණවාර ගණනාවක්ම නිකුත් කෙ‍රී පිටපත් තිස් දහසක් පමණ අලෙවි වී තිබුණා යනුවෙන් එම යුගයේ දිනෙක ඉලංගරත්න සූරීන් හා කථොපකථනයෙහි යෙදී සිටි දිනෙක මා අමතා කීවා මතකයය. තමන් විසින් එක් දහස් නවසිය පණස් ගණන්වල මුලභාගයේදී ලියන ලද ‘අඹ යහළුවෝ’ නවකතාව මෙසේ තමන්ගේ ජීවිතයේ හැත්තෑ ගණන්වලදී මෙසේ ටෙලිනාට්‍යයක් වශයෙන් නිෂ්පාදනය කෙරී අතිශයින් ම ජනප්‍රසාදයට පත්ව තිබෙන බව දුටු එතුමෝ ඉන් වඩා ගත් ප්‍රබෝධය ඇතිව එහි දෙවැනි කොටස ‘ශිෂ්‍යත්වය’ නමින් ලියා පළ කරවූහ. දෛවානුරූපව කුලීන දරුවා වූ සුනිල් හා දුගී දරුවා වූ නිමල්ගේ පවුල්වලට අත්වන ඉරණම එයින් මනාව විදහා දැක්විණි.

‘අඹ යහළුවෝ’ හි ඵලය හා ප්‍රතිඵලය ‘ශිෂ්‍යත්වය’ කතාව වූ හෙයින් එය ද අඹ යහළුවෝ හි දෙවැනි කොටස වශයෙන් ටෙලිනාටකයකට නැගීමේ වැදගත්කම වැඩිදෙනකු විසින් ඒ ගැන වගකිවයුත්තනට පෙන්වා දෙන ලද නමුදු අන්තිමේ එයට විශේෂ බාධකයක් බවට පත්වූයේ ඒ වනවිට සුනිල් - නිමල් චරිත රඟපෑ දරුවන් දෙදෙනා උස්මහත්වී යෝධයන් වී සිටීම නිසා ය. එනිසා එය ටෙලිනාට්‍යයක් ලෙස නැරඹීමේ පින අපට හිමි නොවී ය. එසේ එහි ආත්තම්මා වශයෙන් රඟපෑ ප්‍රකට නිළි රුබී ද මැල් මහත්මිය ද, තාත්තා වූ අශෝක පීරිස් මහතා ද මිය පරලොව ගියේය. දැන් ඒ ‘පවුලෙන්’ ජීවතුන් අතර සිටින්නේ මාතාව ලෙස රඟපෑ අනුලා කරුණාතිලක (රණවීර) මහත්මිය පමණකි.

කවරාකාරයෙන් වුව ද එකල ‘ශිෂ්‍යත්වය’ නවකතාව ද ‘අඹ යහළුවෝ’ දෙවැනි කොටස වශයෙන් ටෙලිනාටකයට නැඟුණා නම් ඉලංගරත්න සූරීන්ගේ සිත තවත් ප්‍රබෝධයට පත්වන්නට කාරණයක්ව තිබිණි. එය වෙනම කාරණයකි.

මා මගේ මෙම ලිපියේ සිරස්තලය වශයෙන් යෙදූ වචන මාලාව අනුව ‘අඹ යහළුවෝ’ අත්පිටපතට මුලින් ම අත් වූ ඉරණම පිළිබඳව තරමක් අප්‍රකට කතාව දැන් හෙළි කළ හැකි ය.

වර්ෂ 1954 අග භාගයේදී නිම කළ ‘අඹ යහළුවෝ’ අත්පිටපත ප්‍රකාශක සමාගමකට බාරදෙන ලද්දේ ය. එහෙත් අවුරුද්දක් ඉක්ම ගිය ද එම අත්පිටපතට කුමක් වී දැයි සොයා බලන්නට කතුවරයාට ඉඩක් නොලැබුණේ ‘කොයිවේලේ හෝ කොතලාවල අගමැති රජය විසුරුවා හරීය’ යන රහස් ආරංචියක් ලද නිසා බණ්ඩාරනායක මැතිතුමන් සමඟ දේශපාලන කටයුතුවල යෙදෙන්නට ඉලංගරත්න මහතාට සිදුවූ නිසා ය.

වර්ෂ 1956 දී මහජන රජය පිහිටුවීමෙන් පසු බණ්ඩාරනායක අගමැතිඳුන්ගේ කැබිනට්ටුවේ කම්කරු සමාජසේවා හා නිවාස ඇමැති පදවිය ලැබුවායින් පසු දිනෙක ආරියවංශ පතිරාජ කවියා ප්‍රකාශක සමාගමට ගොස් ‘අඹ යහළුවෝ’ නවකතාවේ අත් පිටපතට කුමක්වී දැයි සොයා බැලුවේ ය. කතුවරයා ඇමැති කෙනකු බවට ද, පත්වී තිබෙන නිසා එහි වැදගත්කම නිසා ද කලබලයට පත්වූ එහි ප්‍රකාශන අධිකාරි ‘අඹ යහළුවෝ’ අත් පිටපත සොයා බැලූ විට දක්නට ලැබුණේ එය සමීක්ෂකයකුගේ අභව්‍ය වාර්තාවක් නිසා මුල්ලකට දමා තිබෙන බව ය.

“මෙම කතා පිටපත අභව්‍ය සිද්ධීන්ගෙන් ගහන එකකි. ළමා මනැස විකෘති කරවන අන්දමේ රචනාවක්” යනුවෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ විසූ හිටපු විදුහල්පතිවරයකු වූ සමීක්ෂකයා තම වාර්තාවේ ලියා තිබිණි.

“ඔන්න ඕක ඉරලා විසි කරලා දමලා අත්පිටපත අකුරු අමුණන්නට යවමු. මේ ගැන ඇමැතිතුමාට දන්වන්න” යනුවෙන් මෙහිදී තීරණයකට වන් ප්‍රකාශක අධිකාරි ආරියවංශ පතිරාජ කවියාට කියා සිටියේ ය.

ඉන්පසු එක් ඉරිදාවක හෙතෙම ගලහ මන්ත්‍රී කොට්ඨාසයට ගොස් ඉලංගරත්න ඇමැතිතුමා හමුව ‘අඹ යහළුවෝ’ නවකතාව මුද්‍රණයෙන් පළවන්නට කටයුතු යෙදීගෙන යන බව කියා සිටියේ ය.

වර්ෂ 1957 මුලදී ‘අඹ යහළුවෝ’ නවකතාව මුද්‍රණයෙන් පළවූයේ ඒ අනුවය. ඉලංගරත්න මැතිතුමා ඇමැති කෙනකු නූණා නම්, සාමාන්‍ය ලේඛකයකු වූවා නම් සමහර විට එසේ මුල්ලකට තල්ලු කෙරී මේ විශිෂ්ට නවකතාව මුද්‍රණයෙන් පළ නොවන්නට ද ඉඩ තිබිණ. කරුණාසේන ජයලත් සූරීන්ගේ ‘ගොළු හදවත’ අත් පිටපත ද එක්තරා ප්‍රකාශන ආයතනයක දෙවැනියකු විසින් මුලු ගන්වා තිබීමෙන් ද එය පළ වීම වර්ෂ ගණනාවක් පමා වුණේ ය.

දැන් අප සිතිය යුත්තේ මෙවන් අමන සමීක්ෂකයන් නිසා කොතරම් විශිෂ්ට අත්පිටපත් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් නොවී තිබෙන්නට ඇත්ද? නැත්නම් දිගුකලකට පසුපසට යන්නට ඇද්ද යන්නයි.

අදහස්