අපද්‍රව්‍ය කළමනාකරණයට ක්‍රියාකාරී සැලස්මක් | Page 3 | සිළුමිණ

අපද්‍රව්‍ය කළමනාකරණයට ක්‍රියාකාරී සැලස්මක්

 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ අනුව විද්වත් විද්‍යාඥයන් පර්යේෂකයන් 250 අධික පිරිසකගේ සහභාගිත්වය ඇතිව පළාත්පාලන අමාත්‍යාංශය හා ඒකාබද්ධව මෙම අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නංවන බව විද්‍යා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අපේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් තිබුණ ද, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නොතිබීම නිසා අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු රැසක් ඇතිවෙමින් පවතින බවද ඇමැතිවරයා පවසයි.

උක්ත ගැටලුව පිළිබඳ විෂය ක්ෂේත්‍රයේ නිපුණතාව දක්වන ප්‍රවීණ විද්‍යාඥයන් අප රට තුළ සිටියද, ඔවුන් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයන්ගෙන් උක්ත ගැටලුව නිරාකරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු කරමින් කොතෙක් උත්සාහ දැරුවද බොහෝ විට ඔවුන්ගේ විද්‍යාත්මක පිළිතුරු දායකත්වය මෙම ගැටලුව නිරාකරණය සඳහා වගකිව යුතු ආයතන අංශ හෝ බලධාරීන්, නිලධාරීන්ගේ තීරණ ගැනී‍ෙම් ක්‍රියාවලිය දායක කර නොගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධව කටයුතු කරන මෙරට සංවිධාන සහ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම මෙම ගැටලුව විසඳාලීමට කටයුතු කිරීමට මුඛ්‍ය බාධාව බවට පත්ව ඇත.

මෙවන් පසුබිමක විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සිසුල් ප්‍රේමජයන්ත මහතා විසින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව පුළුල් පරාසයක විහිදුණු පාර්ශ්ව විද්වත් විද්‍යාඥයන්, පර්යේෂකයන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් උක්ත ගැටලුවට විසඳුම් සොයමින් ගැටලුව නිරාකරණය කර ගැනීමෙහිලා රටෙහි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලසුම සම්පාදනය කිරීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා දින දෙකක ශ්‍රී ලංකා විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගි වන සම්මන්ත්‍රණයක් පැවැත්වෙන අතර එහි අවසානයේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම කෙටුම්පත් කෙරෙන අතර ඒ ඔස්සේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළ නව මානයක් ඔස්සේ සජීවී ක්‍රියාන්විතයක් බවට පත්වනු ඇතැයි ඇමැතිවරයා කියයි.

Comments