ලස්සන කෙල්ලන් සිටින රටේ බිහිසුණු ගෝත්‍රයකට මැදිවී | සිළුමිණ

ලස්සන කෙල්ලන් සිටින රටේ බිහිසුණු ගෝත්‍රයකට මැදිවී

ඩිලන්ගේ ලෝක සවාරියේ මීළඟ ගමන වූයේ කෙන්යාව හරහා ඉතියෝපියාවට ගොස් එතැනින් ජිබුති රටට ගොස් අප්‍රිකා මහද්වීපයෙන් නික්මී අරාබියට යෑමයි. ඉතියෝපියාව තමා ලෝක සංචාරයේදී දුටු සුන්දරතම රටක් සේම සුන්දරතම යුවතියන් දුටු දේශයක් ලෙස සිය ඩිලන් සඳහන් කරයි

“ඉතියෝපියාව කී පමණින් ඔබට මැවෙන්නේ මොන විදිහේ චිත්‍රයක් ද? කෑම-බීම අඩු, බඩවැල් නෙරා ගිය, කෙට්ටු ඇටකටු පේන දරුවන් සිටින අන්තිම පීඩිත ශුෂ්ක රටක් කියා‍ ඔබ හිතාවි. ඇත්ත. හුඟක් දුප්පත් මිනිස්සු තමයි ඒ රටේ ඉන්නෙ. හැබැයි ඒත් ඒගොල්ලන්ට තියෙනවා ඉතාම අභිමානනීය සංස්කෘතියක්. ඔය කැලෑවල බාගෙට ඇඳුම් ඇඳගෙන සිටින ගෝත්‍රිකයන්ගෙන් සමහරෙක් ටිකක් මුරණ්ඩු තමයි. එහෙම වුණාට ඔවුන්ට පවා හොඳ සංස්කෘතික ලක්ෂණ තියෙනවා. එය තමයි මං දැකපු ඇත්ත.”

ඉතියෝපියාවට ඇතුළු වූ සැණින් එහි සුන්දරත්වය දැකබලා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ඩිලන් ඒ ගැන විපරම් කෙරුවේ දේශසීමා නිලධාරීන්ගෙනි.

“ඉතියෝපියාවට ඇතුළුවූ සැණින්ම මං එහි දේශසීමා නිලධාරීන්ගෙන් ඇහුවා මෙහෙ බලන්න තියෙන්නෙ මොනවද? කොහේද ඇවිදින්න යන්න තියෙන හොඳ හොඳ තැන් කියලා. එතකොට ඒ නිලධාරීන් මට කිව්වා අහවල් කැලෑවට ගියොත් ඔයාට පුළුවන් ගෝත්‍රිකයෝ බලන්න කියලා.”

‘ගෝත්‍රිකයෝ බලන්න’ යන වදන් පෙළ ඩිලන්ගේ කනට මීපැණි වක් කළාක් මෙන් විය. ඒ ඔහු ලෝකයේ විවිධ ජන කොට්ඨාස ගැන, සංස්කෘතීන් ගැන තමන්ට රිසි සේ දැකබලා ගැනීමට, අධ්‍යයනය කිරීමට පිපාසයෙන් සිටි බැවිනි. කිසිදු සැලසුමක් නොමැතිව ඩිලන් මොහොතක් හෝ පමා නොවී දේශසීමා නිලධාරීන් දුන් හෝඩුවාව අනුව ඉතියෝපියාවේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටි ‘ඔමෝ’ නිම්නයේ වාසය කරන මුර්සි ගෝත්‍රිකයෝ දැකගැනීමට යෑමට සැරසුණේය.

“මං බෲස් හැරෙව්වා කැලෑව පැත්තට යන්න. උදේ පිටත්වුණේ. යනවා යනවා ඉවරයක් නෑ. පාරවල්නම් අන්තිම සවුත්තුයි. කැලෑබද ප්‍රදේශ. මට මතක විදිහට කිලෝමීටර් හාරසීය ගානක් වගේ ගියා. පෙට්‍රල් වුණත් ගන්න තිබ්බේ පැල්පත්වාසී ගෙවල්වලට ගිහින් බෝතල් කාල, බාගේ වගේ ටික ටික එකතු කරලා. ඒවත් ඒ පැල්පත්වලට එළිය ගන්නා ජෙනරේටර්වලට දාන්න ගෙනාපුවා. මං ඉතින් ගිහින් මිනිස්සු සමඟ කතා කරලා විස්තර කිව්වම ඔවුන් පුදුම වෙලා බලන්නෙ. සමහරු බයත් වෙනවා මගේ කතාව අහලා. මං ගියේ ‘ඕමෝ’ නිම්නයේ වාසය කරන මුර්සි ගෝත්‍රිකයන් බලන්න. ඔවුන් වාසය කරන්නෙ මගෝ නමැති ජාතික වනෝද්‍යානයේයි.

ඇත්තම කිව්වොත් ඒ පළාත් අන්ත දිලින්දන් වාසය කරන නොදියුණු ප්‍රදේශ. වනෝද්‍යාන පිවිසුමට ළඟා වන විට මධ්‍යහ්නය පහුවෙලා. වනෝද්‍යාන පිවිසුම ළඟ මුර කුටියේ හිටිය සෙබළෙක් මට කියනවා ‘ඉදිරියට යා හැක්කේ අපේ කෙනෙක්ගේ ආරක්ෂාවත් සමඟයි’ කියලා. කොහේද මගේ බයිසිකලේ තව කෙනෙකුට යන්න තියා මම යන්නෙත් හරිම අමාරුවෙන්. පිටුපස අසුනේ අමතර ටයරයක් ගැටගහලානේ. කොහොමටත් මට ඕන වුණේ තනිවම යන්නයි. ඔවුන්ට සයිකලේ යෑමට තිබෙන අපහසුතාව ගැන කිව්වම, ඒගොල්ලො මට කිව්වා, ‘ඔය ගෝත්‍රිකයෝ කොහොම හැසිරෙයිද කියලා අපට කියන්න බෑ. ඔයාට ඕනෙමනම් යන්න ප්‍රශ්නයක් නෑ’ කියලා. මට කොහොමටවත් ආසාවක් තිබුණේ නෑ ඔවුන් කැටුව යන්න. මොකද ආයුධ සන්නද්ධ අයත් එක්ක ගියාම ගෝත්‍රිකයෝ සමඟ සුහද වීමට අපහසු බවක් මට තේරුණා.”

එතැන් සිට වන සතුන් ගහන ‘මගෝ’ ඝන වනන්තරය හරහා කිලෝමීටර් හැට ගානක් දුර ගිය තැන ඩිලන්ට මුර්සි ගෝත්‍රිකයන් මුණ ගැසිණි. පිදුරු සෙවිලි කළ කුඩා පැල්පත්වල වාසය කරන එම ගෝත්‍රිකයන්ගේ ගති-සොබා ඩිලන්ට අරුමයකි.

“උඩුකයනම් ගෑනු පිරිමි භේදයක් නෑ හැමෝගෙම නිරුවත්. සමේ විවිධ රූප, සිතුවම් කොටාගෙන හැමෝම පාහේ ඉන්නෙ. දක්නට තියෙන විශේෂම ලක්ෂණයක් තමයි යටි තොලේ මැට්ටෙන් හදපු තැටියක් වගේ එකක් වැඩිහිටි හැමෝම එල්ලගෙන ඉන්නවා. දැනගන්නට ලැබුණු විදිහට ඒක වැඩිහිටියෙකු වුණාම කරන වැඩක්ලු. යටි තොල දිගට කපලා, යටි ඇන්දෙ ඉදිරිපස දත් දෙක ගලවලා ඒක එල්ලලා තියෙන්නෙ. මම ඔවුන් සමඟ සංවාදයක් ඇතිකරගන්න උත්සාහ කළා. ඒත් ඔවුන් ඒකට වැඩි කැමැත්තක් නෑ. කැමැත්තක් තිබුණත් ඒ සල්ලි නිසා බව මට හොඳටම තේරුණා. මං ඡායාරූප එහෙම ගත්තා. ඒවත් ඔක්කොම පරීක්ෂා කරලා බැලුවා. පස්සෙ ඒවායේ තිබෙන ඔවුන්ගේ මිනිස් රූප අනුව ගාණ කියනවා. එක් පුද්ගලයකුගේ රූපයකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහසයක් පමණ දෙන්න වුණා.”

එසේ ඔවුන් සමඟ සල්ලාප වෙමින් සිටින මොහොතේ කුකුස දනවන සිදුවීමක පෙරනිමිති පහළ වෙමින් ‍තිබෙන අයුරක් ඩිලන්ට දක්නට ලැබිණි. ඉන්පසුව සිදුවූයේ කුමක් ද? අපට නම් එය ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වැනිය.

“මං එහෙම ඔවුන් එක්ක කතාබහ කරමින් සිටිනකොට එකපාරටම දැක්කා තරුණ පහේ තිදෙනෙක්ගේ සේයාව එතරම් හොඳ නැති වේගන එනවා. එකෙක්ගෙ අතේ මැෂින් තුවක්කුවකුත් තිබුණා. මට තේරුණා දැන් එතැනින් යන්න හොඳම වෙලාව ඇවිල්ලා කියලා. මං බෲස් පණ ගන්වනවාත් සමඟම ඔවුන් තිදෙනා දුවගෙන ඇවිත් දෙපසින්ම හැඬලයෙන් අල්ලගත්තා. ඇවිත් බයික් එක නවත්තන්න උත්සාහ කළා. හැබැයි ඒත් උන් දන්නෙ නෑ ඒක කරන්න. මං බයික් එකෙන් වැටෙන්නත් ගියා. ගෝත්‍ර නායකයාත් තුවක්කුව පිටේ එල්ලගෙන බලාගෙන ඉන්නවා. මං දැනගත්තා දැන් මට මෙතැනින් පැනලා යන්න කුමක් හෝ උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා කියලා. මං ළඟ තිබුණු වලසුන් වගේ සතුන්ගෙන් වන හිරිහැරවලදී පාවිච්චි කරන්න ගත්තු පුංචි මිරිස් කුඩු වාෂ්ප විදිනය ගැන එක පාරටම මගේ ඔළුවට ආවා.

මං ඒක අරන් මහ හඬින් කෑගසමින් ඔවුන් වෙත එල්ල කරගෙන හිටියා. බෲස් අල්ලගෙන හිටිය දෙන්න කොහෙන් ගියාද දන්නෙ නෑ. හැබැයි තුවක්කුව තියාගෙන හිටිය එකා තවම හිටිය තැනමයි. ඒත් ඔහුත් තුෂ්ණිම්භුත වෙලා.

මට තේරුණා ගෝත්‍රිකයෝ හොඳටම බය වුණා කියලා. ඔවුන් හිතුවේ වාෂ්ප විදිනය බෝම්බයක් කියලා. ඊට පස්සෙ මං මොකක්ද දන්නවද කළේ? හෙල්මට් එකේ මුහුණු ආවරණය ‍හොඳින් දාගෙන අර මිරිස් වාෂ්ප ඉසිනය නායකයගේ මූණට එල්ල කරලා ඔහුගේ කරෙන් තුවක්කුව ගලවාගත්තා. මගේ වචන ගැන ඔවුන්ට තේරුමක් නැතත් මගේ ආවේගශීලි තර්ජනාත්මක ස්වරූපයට ඔවුන් හොඳටම බයවෙලා. නායකයටත් මං ඉඟි කළා දුවන්න කියලා. ඉන් පස්සෙ මම හිමින් සැරේ ගිහින් බෲස්ගේ පිටට පැනලා විදුලි වේගයෙන් එතැනින් නික්මුණා. ටික දුරක් ගොස් තුවක්කුව කැලේට විසි කළා.”

එම සිදුවීම ගැන මගෝ උද්‍යානයේ ආරක්ෂක සෙබළුන්ට කී විට ඔවුන් නිහඬව සිනාසී ඇත්තේ, ‘අපි උඹට කිව්වනේ තනියම යන්න එපා’ යැයි කියන්නාක් මෙන් ඉඟි කරමිනි. ඉන්පසුව සෙබළුන් කී කතාවෙන් ඩිලන් වික්ෂිප්ත විය.

“ගෝත්‍රිකයන් බලන්න මං තනියම ගියාට සාමාන්‍යයෙන් සංචාරකයෝ යන්නෙ එක්කෝ ඉතියෝපියන් ‘ගයිඩ්’ කෙනෙක් එක්ක නැත්නම් ආරක්ෂක සෙබළුන් සමඟ. මම ඔය ගෝත්‍රිකයන් බලන්න යන්න සති දෙකකට පෙර ඉතියෝපියන් ‘ගයිඩ්’ කෙනෙක් ඔස්ට්‍රියන් ජාතික සංචාරකයෙක් සමඟ ඒගොල්ලො බලන්න ගිහින්. ඔවුන්ටත් මට වුණා වගේම මොකක්දෝ ප්‍රශ්නයක් වෙලා ගෝත්‍රිකයෙක් කැමරාවක් උදුරගෙන කැලේට දුවලා. පස්සෙ කැමරාව ගන්න ඉතියෝපියන් ජාතිකයා ගිහිල්ලා වෙච්ච ප්‍රශ්නයකදී ගෝත්‍රිකයා වෙඩි තියලා ඒ ගයිඩ්ට. අනූනමයෙන් බේරිලා තියෙන්නෙ.”

අනතුරුව ඉතියෝපියාවේ අගනගරය වන අඩිස්අබාබා වෙත පැමිණි ඩිලන් පසුදින උදයේ පොඩිපහේ කඩයක් අසල උදේ ආහාර ගනිමින් සිටියේය. එහිදී ඉහතකී සිද්ධියට මුහුණ දුන් සංචාරකයා සහ ගයිඩ් අහම්බයෙන් මෙන් ඔහුට මුණ ගැසුණහ.

“අර ගෝත්‍රිකයෝ එක්ක අඩව්වක් අල්ලපු දෙන්නත් මෙන්න මං ආහාර ගන්න කඩේම අසල මේසයක කෑම කනවා. මට ආරක්ෂක සෙබළු කියපු කතාව ගැන ඔවුන් දෙන්නා කතා වෙනවා මට යාන්තමට ඇහුණා. බැලින්නම් ඒ දෙන්න තමයි අර ගෝත්‍රිකයෝ සමඟ ප්‍රශ්න දාගෙන තියෙන්නෙ. ඊට පස්සෙ මං ඔවුන් දෙන්නට මගේ සිද්ධියත් කිව්වා. දෙන්නා මූණට මූණ බලාගෙන ඔළුවෙ අත ගහගත්තා.”

Comments