ඔය බහු­බූත කතා­ව­ලට මං මොනවා කියන්න ද? | සිළුමිණ

ඔය බහු­බූත කතා­ව­ලට මං මොනවා කියන්න ද?

නරේන්ද්‍රට දැඩි පිපාසයක් දැනෙන්නට විය. ඔහු යහතින් නැගිට දිය බඳුනට අත දිගු කළේය. දිය බඳුන සහිත ටීපෝවට ඔබ්බෙන් වූ අජන්තා නිර්මාණ කලාවේ ඥාතිවරියක සේ පෙනෙන ස්ත්‍රි ප්‍රතිමාව ඇගේ නිහඬ ගුප්තමය‍ දෙනෙත් ඔහු වෙතට යොමු කර ගෙන සිටිනු නරේන්ද්‍ර දුටුවේය. ඇගේ හදවත් හෝරා යන්ත්‍රයේ කටු ගැහෙන්නේ දුක්බර සිතක් ඇති ස්ත්‍රියකගේ සිහින් ඉකිබිඳුමක් ලෙසිනි.

දුකින් පිපාසිත මේ රාත්‍රියේ කරුණාවේ දියබිඳක් දෙතොලට ළං කරන්නට ගැහැනියක සිටියා නම්? ඔහු පිළිතුරු සොයා ගත නොහැකි ප්‍රශ්නයක පැටලුණා මෙනි.

මේ අජන්තා ගැහැනිය දුටු මිතුරෙකු ස්ත්‍රීන් පිළිබඳව කළ අර්ථ දැක්වීමක් සිතෙහි සටහන්ව ඇත.

“නරේන්, අපි කොහොම හිතුවත් වයසට යන කොට ස්ත්‍රි ප්‍රතිමාවක් හරි පේන්න ඉන්නවා නම් හොඳයි. ඒක තමයි ජීවිතය. ලෝක ස්වභාවය. ප්‍රතිමාව ස්ත්‍රී වුණත් දැක්ම සතුටක්.”

ලෝක ස්වභාවයේ හෝ යථාර්ථයේ සැබෑවට එවන් අර්ථ කථනයක් දුන් යහළුවා වත්මන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකි. ඔහුගේ වැඩිමහල් දියණිය මෑතකදී ඉන්දියානු ඇමැතිවරයෙකුගේ බාල සොහොයුරා හා විවාහ වූවාය. නරේන්ද්‍ර විවාහ මඟුලට සහභාගි විය. ප්‍රීතිමත් වාසනාවන්ත කුටුම්බයක සතුට මිතුරාට ඇත.

මතු දිනක රාජඍෂි රෝජා සඳපාණි විවාහ කර ගනීදැයි ප්‍රශ්නයක් නොව සැක සංකා සිතුවිල්ලකින් නරේන්ද්‍රගේ සිත සැලෙන්නට විය. රාජඍෂිට එය පහසු නොවනු ඇත. රාජිනී එවන් විවාහයකට එකහෙළා විරුද්ධ වීම නිසැකය. තරුණියට සිතින් දුක් විඳින්නට සිදුවනු ඇත.

ජාතීන් අතර මිශ්‍ර විවාහ ජාතික ගැටලු විසඳීමේ එක් මඟක් ලෙස අගය කළ ප්‍රියදෝණි මහමායා මේ යුගයට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය ස්ත්‍රී චරිතයකැයි නරේන්ද්‍ර සිතුවේ ශෝකයෙනි.

ත්‍රස්තවාදී ගැටුම් උග්‍රව පැවති අවස්ථාවක ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ රචනා තරගයක තෑගි බෙදා දීමේ උත්සවයට ඇය පැමිණියේ විනාඩි පහක් ප්‍රමාදවය. ඇගේ ප්‍රමාදය නිසා ජාතික කොඩිය එසවීම, පහන් දැල්වීම, ධර්මය සිහි කිරීම වැනි සම්ප්‍රදායානුකූල සිරිත් ද පමා කොට ඇය එනතුරු මඟ බලා සිටි සංවිධායක මණ්ඩලය කෙරෙහි නරේන්ද්‍ර සිත උපන්නේ කෝපයකි.

මහජන ඡන්දයෙන් පත් වූ ප්‍රදේශාධිපතිවරයාගේ කාලය ඉතිහාසය පිළිබඳ සුරංගනා කතා කියන ගැහැනියකගේ කාලයට ඉඩ දී බලා සිටිය යුතුදැයි ඔහු තරුණ සංවිධායකවරයෙකුගෙන් ඇසුවේ මවා ගත් සිනාවකිනි.

“සමාවෙන්න සර්. ප්‍රියදෝණි මැඩම්ගෙ කතාවලට ලොකු පුංචි හැමදෙනා ම කැමතියි. දේශනා දීර්ඝ නැහැ. කෙටියි. වචන සරලයි. අදහස ගැඹුරුයි. ඕනම ගැඹුරු දෙයක් පුංචි කරලා කියන්න පුදුම දක්ෂකමක් තියෙනවා. ඒක නිසා කාලය ගැන කරදර වෙන්න එපා. එයා විනාඩි විස්සක් කතා කරාවි.”

සංවිධායක තරුණයා ප්‍රියදෝණි මහමායා පිළිබඳ අතිශයෝක්තියෙන් වර්ණනා කරනවා නොව සැබෑව එය යැයි දැන සිටිය ද නරේන්ද්‍ර අප්‍රසාදය දනවන දෙනෙතින් මොහොතක් නිහඬව සිටියේ ය.

“එතකොට මේ ළමයා කියන්නෙ බඹ දහයක් පහළොවක් ගැඹුරු ළිඳක් වුණත් දිදාලයක් තරම් පුංචි කරන්න පුළුවන් කෙනෙක් ප්‍රියදෝණි මහමායා මැතිනිය. හොඳයි. බොහොම හොඳයි.”

ඇය උත්සව ශාලාවට පැමිණි වහාම කළේ ප්‍රමාදය පිළිබඳ සමාව අයැද සිටීමය. මේ ඔහුට ඇය මුණ ගැසුණු තෙවැනි හෝ හතරවැනි අවස්ථාව විය. ඇගේ ආසනය ඔහුට යාබද අසුන විය.

‍“මැඩම් දැන් පේන විදියට ඔයා නම් ප්‍රියදෝණි කෙනෙක් ම තමා. මතකද අපි මුණ ගැහුණු පළවෙනි දවසෙ මං ඔයාට විහිළු කළා ඔයා හැ‍මෝට ම ප්‍රිය‍දෝණි කෙනෙක් ද කියලා අහලා.”

නරේන්ද්‍ර ඇසුවේ වැදගත් යමක් දැන ගන්නට ඇය වෙතට නැඹුරු වූ ඉරියව්වෙනි.

“මතකයි”

“දැන් ඒක ඇත්ත වෙලා. ඇත්තට ම ඔයාගෙ උත්සාහයට අපි ප්‍රශංසා කරනවා. මගෙ අදහසත් ජාත්‍යන්තර ප්‍රජාවට, යුරෝපා සංගමයට ඇමෙරිකාවට ඕන විදිහට අපේ රට පාලනය කරන්න දෙන්න බැහැ.”

“ඔබතුමා ප්‍රසිද්ධ වේදිකාවලදි, මාධ්‍ය සාකච්ඡාවලදි, පාර්ලිමේන්තුවෙදි ඔය කතාව කියලා තියෙනවද?”

ප්‍රියදෝණි මහමායා ගේ ඍජු ප්‍රශ්නයට දෙන පිළිතුර ගැන නරේන්ද්‍ර සිතන්නට විය. තම වාසනාවට මෙන් එවිටම ප්‍රියදෝණිට දේශනය සඳහා වේදිකාවට එන්නැයි ඇරැයුම් කෙරිණි. ඇය නැගී සිටියාය. ශාලාව පුරා මහා අත්පොළොසන් නාදයක් පැතිරී ගියේය.

ඇය මයික්‍රෆෝනය ඉදිරියේ සිට ගන්නා තුරුම අත්පොළොසන් නාදය නැවතුණේ නැත.

ඇය දරුවන් ඇමතුවේ මව් සෙනෙහස තුළ රැ‍ඳෙමිනි. මෑත ඉතිහාසයේ ජාතියක ආගමක මුවාවෙන් පැමිණි කලහකාරී හැසිරීම් මිනිසුන්ගේ දුර්වලකම් මිස ජාතික ආගමික ගැටලු නොවන බවත්, ඒවා අතීත සිදුවීම් මිස වර්තමානයට කිසිසේත් ගෙන ආයුතු සිදුවීම් ‍නොවන බවත් ඇය අවධාරණය කළාය. මේ ගැටලු දේශපාලනඥයින්ගේ නිර්මාණ බව ඇය කීවේ තමා දෙස ද බලා මඳ සිනාවක් පාමිනි.

මේ වාසනාවන්ත භූමියේ සමහර පැරැණි සිංහල රජවරු දකුණු ඉන්දියානු කුමරියන් ද විවාහ කර ගෙන සතුටෙන් රජකම් කළ අතර එම කුමරියන් කුසින් උපන් දරුවන්ට සිංහාසනය අහිමි නොකළ බව ද ඇය සරලව කියා සිටියාය.

සිංහල රජවරු නිදහසට ගෞරව කළහ. ඇලුම් කළහ. එහෙත් ඔවුන් ජාතිවාදින් යැයි සනාථ කිරීමට කරුණු නැත. උඩරට රාජධානියෙ රජවරු රාජකීය කන්‍යාවන් නොව ඉන්දියාවේ මලබාරයේ වෙළෙඳුන් දියණිවරුන් විවාහ කර ගත් විට ඔවුන්ට ගෞරව කර ඇත්තේ රාජකීය දියණිවරුන්ට සමානවය. ඔවුන්ගේ දරුවන්ට මෙන් ම සහෝදරයින්ට ද සිංහාසනයට උරුමක්ම කීමට හැකි විය.

“මට සමාවෙන්න මැතිනිය.”

ඇයට සවන් දෙමින් සිටි නරේන්ද්‍ර එකවරම නැගී සිට ඇයට බාධා කළේ සමාව යදිමිනි. ‍‍‍

“ඔබතුමිය කියන විදිහට ජාතිවාදී ගැටලුවලට හොඳම පිළිතුරක් මිශ්‍ර විවාහ. එහෙමද?”

“ඔව් මිශ්‍ර විවාහ ‍වගේ ම මිනිස් ජනපද?”

“මිනිස් ජනපද? පැහැදිලි කරන්න තව ටිකක්.”

“ඔව්. රටපුරාම මිනිස් ජනපද පටන් ගන්න ඕන. ඕනෑ ම සිංහල මනුෂ්‍යයෙකුට දෙමළ කාන්තාවක් විවාහ කර ගෙන මිනිස් ජනපදයක පදිංචි වෙන්න අවසර දෙන්න ඕන. ඕනෑම දෙමළ මනුෂ්‍යයෙකුට සිංහල කාන්තාවක් විවාහ කර ගෙන මිනිස් ජනපදයක පදිංචි වෙන්න ඉඩ දෙන්න ඕන. මුස්ලිම් බර්ගර් වුණත් එහෙමයි. ඕනම ජාතියක මනුෂ්‍යයෙක් ගැහැනියක් තවත් ඕනෑම ජාතියක ගැහැනියෙක් මිනිහෙක් විවාහ කර ගන්නවා නම් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ඒ දෙන්නට ජීවත් වීමේ පහසුකම් සලසවන්න ඕන. නිකන් කන්න දෙන්න කියනවා නෙමේ. ජීවන මාර්ග ඇති කරන්න ඕන. එවැනි විවාහ සුවිශේෂී විවාහ විදිහට පිළිගන්න ඕන.”

ප්‍රියදෝණි දිය බිඳක් තොලගෑමට මඳකට දේශනය නැවැත්වූවාය. ඒ අවසරයෙන් නරේන්ද්‍ර නැගී සිටියේය.

“එතකොට මැතිනිය ආගම දහම කොයි විදිහට මේවාට බලපායිද? කමක් නැහැනෙ ප්‍රශ්න ඇහුවට?”

“කමක් නැහැ. අහන්න. මං වැරැදි නම් ඒ ගැනත් කියන්න. මං විශ්වාස කරන විදිහට ආගම දහම කියන්නේ පූර්ණ වශයෙන් ම ගොඩනැගිලි නෙමේ. ඕනෑම දහමක් ඉදිරියට ගෙනියන්න සිද්ධස්ථාන ආවාස ගොඩනැගිලි අවශ්‍යයි. නෑ අත්‍යාවශ්‍යයි. ඒ මොනවා තිබුණත් සාදු ගුණ ප්‍රතිපත්ති නැත්නම් මනුෂ්‍යයින් අතර සහජීවනයක් ඇති වෙන්නෙ නැහැ. ධර්මය මනුෂ්‍ය අයිතියක් උරුමයක් මිසක් කිසිම රටකට ජාතියකට කුලයකට ගෝත්‍රයකට අයිති නැහැ. මනුෂ්‍ය අයිතීන් උල්ලංඝනය වෙන තැනක ආගම බලය සඳහා ආයුධයක් කර ගන්න එක අපරාධයක්. සංහිඳියා කියන්නේත් බලය ආරක්ෂා කරන මෙවලමක් නෙමේ. සියලු ජාතීන්ගේත් සියලු ආගම්වලත් ගෞරවනීය සම්මිශ්‍රණයකට විතරයි සංහිඳියාව කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. මේ දරුවො හොඳට මතක තියා ගන්න හෙට දවස භාර ඔබට. සංහිඳියාව කියන්නෙ අඬහැරයක් නෙමේ. මානව හැදියාවේ බැඳීමේ උත්තම දිවි පැවැත්ම. එවැනි උත්තම ගුණ පිරුණු අනාගතයක් ඔබට උදාවේවායි මා හෘදයාංගමවම ප්‍රාර්ථනා කරනවා.”

විසල් අත්පොළසන් නාදයක් මැද වේදිකාවෙන් බිමට බැස ආ ප්‍රියදෝණි යළිත් නරේන්ද්‍ර සමීපයෙන් හිඳ ගත්තාය.

“ප්‍රියදෝණි”

නරේන්ද්‍ර ඉතා සෙෙමන් ඇය ඇමතුවේය. ඇය ඔහු දෙස බැලුවේ හ‍ඬෙහි මුදු වෙනසක් දකිමිනි.

“මට කනගාටුයි මං දෙමළෙක් නූණට”

“ඇයි?”

“මං නරේන්ද්‍ර රත්නවී‍රනෙ. මං නරේන්ද්‍රන් රත්නවීරන් වුණා නම් ප්‍රියදෝණි විවාහ කර ගෙන එයාගෙ සිහින ජනපදයේ පදිංචි වෙනවා. දැන් ඔය කිව්ව මිනිස් සිහින ජනපදයේ පදිංචියට යනවා. අපේ සිහින මිනිස් ජනපදයට ඇතුල් වෙන්න හදන ඕනෑම දේශපාලනඥයෙකුට පොල් පිත්තක් අරන් තඩි බානවා. උන් නිසයි සාමාන්‍ය ජනතාව මේ තරම් දුක් විඳින්නෙ පීඩා විඳින්නෙ. දේශපාලනඥයෙක් විදිහට මාත් වැරදියි.”

“ඇත්ත. ඒ වෙනුවෙන් ඔයාගෙ පණිවිඩේ සමාජ ගත කරන්නෙ නැත්තෙ ඇයි?”

නරේන්ද්‍ර උත්සවයට පැමිණියේ පැයකින් ආපසු යෑමේ සිත ඇතිවය. ලේකම්වරයා දෙතුන් වරක් ඔහු වෙත පැමිණ තවත් ගමන් කීපයක් ඇති බව කීවද ඔහු ලේකම්වරයාට සවන් දුන්නේ නැත.

ප්‍රියදෝණි මහමායා සමඟ ළෙන්ගතු ඇසුරක් ගොඩ නඟා ගැනී‍මේ අවශ්‍යතාවක් තමාට ඇති වෙමින් පවතින සැටියක් ඔහුට දැනෙන්නට විය.

උත්සවය අවසානයේ තේ පානයෙන් පසු නරේන්ද්‍ර ප්‍රියදෝණි සමීපයට ගියේය.

“ඔයා යන්නෙ කොහොමද? වාහනේ තියෙනවද?”

“මං කැබ් එකක ආවෙ.”

“මං එක්ක යමු. අපි දැන් යාළුවොනෙ.”

ප්‍රියදෝණි සිනාසුණා පමණි. සංවිධායකයින් ඇයට වාහන පහසුකම් සලසන්නට උනන්දු වුණත් ඇය එය ප්‍රතික්ෂේප කොට ඔහුගේ වාහනයට ආවාය. ලේකම්වරයා වෙනත් වාහනයකින් මන්ත්‍රි කා‍ර්යාලයට යැවීමට ඔහු අමතක කළේ ද නැත.

“ප්‍රියදෝණි මහමායා මැතිනිය අහංකාර ගැහැනියක් කියලා හුඟක් අය කියනවා.”

වාහනයේදී ඔහුගේ සංවාදශීලී පළමු වචන පෙළ එය විය. ඇය දෙනෙත් විදහා ඔහු දෙස බැලුවාය.

“මං අහලා නැහැ කවුරුත් මට එහෙම කියනවා.”

“කවුරු නොකිව්වත් මං කියනවා. ඔයාට මං කී සැරයක් ටෙලි‍ෆෝන් කළාද? හා.. හ්ම් ඔව්. නෑ කියලා මඟ අරිනවා මිසක්. හරියට වචනයක් කතා කරනවද?”

“ඔයා බහු බූත කතානෙ කියන්නෙ. මං ඒවට මොනවා කියන්නද?”

“අනේ මෙහෙමත් කටක්. තමන්ගෙ මහජන නියෝජිතයා බහු බූතයෙක්. වෙන මන්ත්‍රි කෙනෙක් නම් ඔයාව වාහනෙන් එළියට ඇදලා දාවි. මං ඉතින් අහිංසකයෙක්නෙ.”

ප්‍රියදෝණි මහමායා එවිට තමා වෙත හෙළූ දෙනෙත් බැල්ම නරේන්ද්‍රගේ මතකයෙන් තවමත් ඉගිළ ගොස් නැත. එතැන් සිට බොහෝ දුරක් යනතුරු ඇය නිහඬව සිටියා මිස කතා නොකළාය.

“ඇයි දරුවො කතා කරන්නෙ නැත්තෙ?”

“කියන්න අහගෙන ඉන්නෙ”

“හරි අපි කතා කරමු ඔයාගෙ සිහින ජනපදේ ගැන. දැන් ඔය ජනපදේ පදිංචියට යන්න කාව හරි තෝර ගෙනද ඉන්නෙ?”

“මොනවා අහනවද මන්දා?”

“අහන්නෙ ප්‍රායෝගික ප්‍රශ්නයක්. තමන් නොකරන දෙයක් ඇයි අනුන් ලව්වා කරවන්න හදන්නෙ?”

“මන්ත්‍රිතුමා කැමති නැද්ද මිශ්‍ර විවාහවලට.”

“මගේ පෞද්ගලිකත්වය මෙතෙන්ට වැදගත් නැහැ. මට දැන ගන්න ඕන ඔයා සිහින ජනපදේට යන්න කාව හරි තෝරා ගෙනද?”

“සිහින ජනපද නෙමේ. මිනිස් ජනපද...”

“හරි මිනිස් ජනපද කියමුකො. මං අහන්නෙ පදිංචියට යන්න කෙනෙක් තෝරගෙනද?”

ප්‍රියදෝණි මහමායා තමාට පිළිතුරක් නොදුන්නෙන් අසතුටට පත් තමා එකම ප්‍රශ්නය නැවත නැවත අසමින් ඇය අපහසුතාවයට පත් කළේ කුමන අරමුණක් සිත ඇතිව ද?

පසුව ඔහුට සිතුණේ එය අමානුෂික උත්සාහයක් බව පමණි. එහි වරද සැහැල්ලු කර ගැනීමේ ඕනෑකමක් සිතෙහි ඇතිව තමා කළේ විහිළුවකැයි පවසන්නට ඔහු ගත් උත්සාහයට ඇය නිහඬ වූවා මිස කතා නොකළාය.

ඔහුට ඇයගේ මුනිවත ඉවසිය නොහැකි තැන යළිත් කණගාටුව ප්‍රකාශ කරන්නට තැත් කළේය.

“ප්‍රියදෝණි මැඩම්, මං පොඩි විහිළුවක් කළේ?”

“දැක්ක දුටු පළියට කාන්තාවන්ට විහිළු කරන්න එපා. ඇත්තට ම ඒක ඔයාගෙ නමට හොඳ නෑ. ගැහැනියක් කියන්නෙ පිරිමියෙකුගෙ සෙල්ලම් බඩුවක් නෙමේ.”

ඇය සෙමින් කීවේ ඔහු දෙසට මඳක් හැරෙමිනි. තමා එවිට මහ හඬින් සිනාසුණේ ඇය පුදුම කරවීමට ද?

“මට හොඳ නමක් තියෙන්න ඕන කියලා ඔයා විශ්වාස කරනවට මට සතුටුයි. මං දන්නවා ඔයාට නම් හොඳ නමක් තියෙනවා. ප්‍රියදෝණි කිව්ව ම කාටද ඒ නම මතක තියා ගන්න හිතෙන්නෙ නැත්තෙ?”

“මොනවද මේ කියන්නෙ?”

“හොඳයි. අපි ඒ සේරම අමතක කරමු. ඔබතුමීගෙ මිනිස් ජනපද ගැන කතා කරමු.

Comments