දෙවැනි පරපුරේ විශිෂ්ටතමයා | සිළුමිණ

දෙවැනි පරපුරේ විශිෂ්ටතමයා

කොළඹ යුගයේ දෙවැනි පරපුරේ රචක රචිකාවියන් තරම් නූතන සිංහල පද්‍ය සාහිත්‍යය ජනතා ආකර්ෂණයට පාත්‍ර කළ තවත් පිරිසක් පිළිබඳ ව මතකයට නඟා ගැනීම උගහට ය. කවි සඟරා පමණක් නොව, කවි පාසල් ද අපගේ මතය තහවුරු කරන පැහැදිලි සාධකයෝ වෙති. නමුත් මේ පරපුරට බලපෑ කාව්‍ය සම්ප්‍රදායද්වය හේතු කොටගෙන ජනිත දුර්වල ලක්ෂණ බොහොමයකි. පළමුවැන්න රොමැන්ටික් කාව්‍ය සම්ප්‍රදායයි. දෙවැන්න මාතර කවියයි. ෂෙලී, වර්ඩ්ස්වර්ත්, කොල්රිජ්, බයිරන්, ටෙනිසන් ආදීන්ගෙන් සන්නද්ධ රොමැන්ටික් කවීන් හේතුකොටගෙන කොළඹ යුගයේ දෙවැනි පරපුරේ රචකයෝ ප්‍රේමය සුන්දර ආත්භූතයක් කොට ගත්හ. ගැහැනිය දේවත්වයේ මහිමයෙන් පහළ වූ සුන්දර වස්තුවක් ලෙස සැලකූහ. ප්‍රේමය, ගැහැනිය, මල්පෙති, ගංගා, දියඇලි ආදිය ගැනම වර්ණනයට සිය කවි ඇස යොමු කළෝය. මාතර යුගයේ දුනුවිල ගජනායක නිලමේ, මුංකොටුවේ අබේසිංහ රාල, පත්තායමේ ලේකම් ආදීන්ගේ කාව්‍ය නිර්මාණවල ප්‍රභාවෙන් ග්‍රාම්‍ය ලෙස ශෘංගාරය දනවන පද්‍ය රචනා කිරීමට පෙලඹුණාහ. ගාවින් කරුණාරත්නයන් විරචිත “සිංහල කවියේ නව යුගය” කෘතියෙහි දී මේ පිළිබඳව විචක්ෂණ විග්‍රහයක් කර ඇති බව අපගේ හැඟීමයි. නූතන සිංහල කවියෙහි කරුණ රසයෙන් අනූපම වූ සාගර පලන්සූරියගේ “සුදෝ සුදු” ඇතුළු තවත් කෘතිද්වයක් (මීමන ප්‍රේමතිලකගේ පාළු ගම, කිරි හාමි) සිංහල පාඨකයාට පරිශීලනයට අවකාශ සැලසීම රොමැන්ටික් කවියෙන් ලද ආභාසයෙහි යහපත් ප්‍රතිඵලයකි. එහෙත් නුවර යුගයේ අතුරු යුගයක් ලෙස සැලකෙන මාතර කවියේ ප්‍රභාවෙන් ලද කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොමැත. විමලරත්න කුමාරගම රොමැන්ටික් කවියට නතු වූවත්, මාතර කවියට යටපත් නොවීම ඔහු කොළඹ යුගයේ දෙවැනි පරපුරේ පද්‍ය රචක රචිකාවියන් අතරින් විශිෂ්ටතමයා වීමට හේතු වූ බව අපගේ පෞද්ගලික මතයයි.

විමලරත්න කුමාරගම උත්පාදක ශක්තියේ මහිමයෙන් නූතන නිර්මාණකාරකයන් බොහෝ දෙනෙකුට වඩා ඉදිරියෙන් සිටියේය. ඔහු “හේරත් හාමි” පැදි පෙළ රචනා කළේ 1948 වසරේදීය. එකී පැදි පෙළෙහි ප්‍රභාව ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ “පූජා” සිනමා කාව්‍ය මතත්, නිශ්ශංක විජේමාන්නගේ “කපුටෙක්, කපුටෙක් සහ කපුටෙක්” කෙටිකතාව මතත් පතිතව ඇතැයි පැවසීමේ වරදක් ඇතැයි අපි නොසිතමු.

“නැගණිය මළ විටදි දොස්තර සමඟ ගොසින්

ඇගෙ කය කපන ලදි හේරත් හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්”

වන්නියේ අලියා වැටුණුවැව ග්‍රාමයේ රජයේ රෝහලෙහි බාල්දි වැසිකිළි ඇදීමෙහි හා මිනී කැපීමෙහි නිමග්නව සිටි හේරත් හාමිට තම නැගණියගේ මිනිය කැපීමට සිදු වූ බව පැවසීම කොතරම් අභියෝගාත්මක ද? අද්විතීය නිර්මාණකාරකයකු අතින් විනා ආධුනිකයකු අතින් මෙවැන්නක් විවරණය වේ ද? ඒ අනුව සලකන විට උක්ත රචකයන් දෙදෙනාට වැඩි ප්‍රතිභාවක් කුමාරගම සතුවීයැයි පැවසීමේ කවර වරදක් ඇද්ද? ධර්මසිරි ගමගේ නම් වූ උත්තම කලාකරුවා ජීවමානව සිටියේ නම් අපගේ මතයට නිරහංකාරව හිස නමන බව නොඅනුමානය. අද්‍යතනයේ මේ පැදි පෙළ නිරීක්ෂණය කරන උසස් පෙළ දරු දැරියන් පමණක් නොව, බොහෝ ගුරුවර ගුරුවරියන් ද කසළ ශෝධනය යයි මේ පැදි පෙළ පිළිබඳ මතුපිටින් සාකච්ඡා කරනු අපි අසා දැක ඇත්තෙමු. ඉතා අපවිත්‍ර වූවත්, බාල්දි වැසිකිළි නුදුටු දෑසක් උරුම වූ කල කෙසේ නම් මීට වැඩි යමක් පැවසිය හැකි ද?

මෙය වින්දනීය අත්දැකීමක් විනා හුදු පරිකල්පනයක් නොවන බවත්, උගතුන්ගේ නාසා හකුළුවන්නක් බවත්, කුමාරගම කවියාගේ මහුකුරා ගිය ශක්තිය, දෘෂ්ටිය, නුවණ හා මානව භක්තිය හෙළි කරන්නක් බවත් පවසා ඇත්තේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ය. “නව පද්‍ය සිංහලය” නම් විචාර ග්‍රන්ථය ඊට සාධක සපයයි.

මානව චර්යා නිරීක්ෂණයේ ගම්භීරත්වය උත්පාදක ශක්තියේ තිඹිරිගෙය වෙයි. ඉහත සාකච්ඡා කරන්නට යෙදුණු “හේරත්හාමි” මෙන්ම “අය්යනායක” අපගේ මතය තහවුරු කරන රචනා ලෙස හැඳින්වීමේ වරදක් ඇද්දැයි හැ‍ඟේ.

“බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල

මේ සන්හි‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල”

මේ එපමණ බුද්ධියකට උරුමකම් නොකීම හේතු කොටගෙන අදෘශ්‍යමාන බලවේගයන් කෙරෙහි නම්න වූ ගැමියෝ නොවෙත් ද? ඔවුනට උරුම වූ මේ මානසික තත්ත්වය ජනනයට පසුබිම් වූ පරිසරය යථාරූපීව විවරණයට ද කුමාරගමයෝ සමත් වී ඇත්තාහ.

“වනපෙත දැවෙන විට වැද මළහිරුගෙ රත

ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවන මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”

මෙහිදී උත්පාදක ශක්තියෙහි මහිමය පමණක් නොව, බන්ධන චාතුර්යය හා රසාවේෂණ ශක්තියෙහි මහිමය ද ගැබ් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහි ගැබ්ව ඇති දෘෂ්ටිමය අගය අන් සියල්ල අතික්‍රමණය කරතැයි තවත් විටෙක හැ‍ඟේ.

“මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුෙණ්

මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ”

රචකයා ද ඔවුන්ගෙන් කෙනෙකු වී ඇති සේය. එය සාහිත්‍ය විචාරයේදී මානව දයාව බවට පත් වී තිබේ. වන්නියට ගොස්, වන්නියෙහි රැඳී, වන්නියේ ජනතාව පිළිබඳව නිර්ව්‍යාජව ලියූ කුමාරගම ගැන මීට වෙනස් ලෙස කතා කළ හැකි ද?

“වැලහින්න” යනු කම්පාවේ සංකේතයයි. මවකගේ මවුකමෙහි උච්චතම බව “වලස් දඩයම” පද්‍ය පන්තියෙන් විවරණයට ප්‍රෝත්සාහී වූ බව පැහැදිලිව පෙනේ.

“පොඩි පැටවුනුත් ඇදගෙන රැ‍ඳෙනු ඉඩ නොදී

ආ කැලයටම ඒ මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම් මරන්නට ඒ මවට එය මදී”

තිරිසන් වුවත්, තමන්ට වූ විපත දරුවන්ට සිදු නොවීමට ගත් තැත කවරේදැයි මෙයින් අපූරුවට ධ්වනිතය. මෙය ද පරිකල්පන ශක්තිය උපයෝගී කරගත්තත් වින්දනීය අත්දැකීමක් පාදක කොට ගත් නිර්මාණයක් ලෙස හැඳින්වීම නිරවද්‍ය වෙතැයි හැ‍ඟේ. වන්නි වනාන්තරයේ වෙසෙන අසරණ මිනිසුන්ට හා ගැහැනුන්ට පමණක් නොව, තිරිසන් සතුන්ට ද කුමාරගම එක සේ ආදරය කළ බව මේ රචනයෙන් මෙන්ම “සිර ගෙය” නම් වූ පැදි පෙළින් ද තහවුරු වෙයි. සතා සීපාවා ගැන කවර ආකල්පයක් දැරුවත් ඔහු යථාර්ථයට පිටුපා නැත. පැටවාත් සමඟ ගල් වළකට වැටී සතියක් දුක් විඳ මියගිය ඇතින්නගේ සිරුරට අත් වූ ඉරණම විවරණය කළ ආකාරයෙන් එය තහවුරු වෙයි.

“ඇගෙ මළ සිරුර රැක ගත් පසුව ගල් වල

ඌරන් අත් හරින්ටැත සෙවුම මුල අල
ඉත්තෑ මුගටි නැත උන් හිටිය ගුල්වල
නරි රැළ නොමැත විය ලුණු පොකුණු විල් වල”

 

එකෙකු ගේ මරණය තවෙකෙකුට මංගල්‍යයකි. කාටත් කොතැනටත් පොදු නියදම වන්නියට පමණක් වෙනස් වන්නේ කෙලෙස ද?

වන්නියේ ජනතාව හා සතුන් පිළිබඳ අවධානය යොමු කළ කුමාරගම කිවිඳු සොබා සොඳුරු බව වර්ණනයට පෙලඹුණු අයුරු වන්නියේ සැන්දෑව නම් පැදි පෙළින් තහවුරු වෙයි.

 

“හිරු රැස් විඩාවෙන් පීඩිත කෙසෙල් වතු
සනසා පවන නළවයි දලු රිකිලි අතු
මළ හිරු කිරණ සිප ගෑවුණ පරිදි ලතු
රන්වන් වුණා පළු ගස්වල මහලු පොතු”

 

“දෙසවන අදී වැව් පිටියේ නඳ සීරු
පෙඳ රැළි පෙනේ ලෙස නිල් වරලස පීරු
දේදුනු පෑ දියේ තව පීනති සේරු
පෑපත් රළ වළලු ඉන් වෙයි හුවමාරු”

 

මේ උසස් පෙළ සිංහල නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති කුමාරගමගේ පද්‍ය රචනයයි. බොහෝ විට ශුද්ධ කාව්‍ය සංකල්පයෙහි පිහිටා නිර්මාණකරණයෙහි නිමග්න අප රචකයා මෙහිදී කිසියම් ප්‍රමාණයකට සංක්ලප රූප භාවිතයට නැඹුරු වූ බවක් පෙනේ. ඖචිත්‍ය ගුණයෙන් අනූන මේ සංකල්ප පරිසරය පිළිබඳ ජීවමාන සෞන්දර්යාත්මක චිත්‍රයක් මවාපාන බව පැහැදිලිව කිව හැකිය. කොතරම් කටුක වුවත්, ගහ කොළ, වැව් අමුණු ආදියෙන් සන්නද්ධ පරිසරයක චමත්කාරයක් විනා නීරස බවක් කොහේ ද? කෙසේ වුවත්, මෙය “හේරත් හාමි” පද්‍ය රචනය තරම් උත්තරීතර නොවන බව ද සඳහන් කළ යුතුමය.

කවරාකාරයකින් ගත්තත් නිර්මාණකාරකයා සීමා මායිම්වලට කොටු කළ හැක්කෙක් නොවේ. කුමාරගම ආදායම් පාලක නිලධාරියකු ලෙස, වන්නියට ගොස්, එකී ජනතාවට එකී පරිසරයට කොතරම් ඇලුම් කළත්, පද්‍ය නිර්මාණයේදී ඉන් එපිටට ගමන් කර ඇති බව පැහැදිලිය. “මුතු ගේ ප්‍රශ්න” නම් අතිශයින් ප්‍රචලිත පැදි පෙළ ඊට පැහැදිලි නිදසුනකි. කුඩා දරුවෙක් තොටියකුගෙන් විවිධ කරුණු කාරණා පිළිබඳව ප්‍රශ්න කරයි. ඒ සියල්ල ඔරුකාරයකු ගේ වෘත්තියට සම්බන්ධ යැයි ද පැවසිය හැකිය. නමුත් මෙහි ජිවිතය පිළිබඳ ගැඹුරක් යටි පෙළ ලෙස කියැවෙන බව ද පැහැදිලි ය.

 

“මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද
මේ දිය නිදා ගන්නේ මොන දවසට ද
මෙතැනින් එහා මොන වාගේ රට ද
මෙගොඩම වගේ එගොඩත් හරියට යට ද”

 

ව්‍යවහාර බස ඇසුරෙන් ගොඩනඟා ගත් සරල කවි බසකින් අපගේ ජීවිතය පිළිබඳ ගැඹුරු මෙවන් අරුතක් ධ්වනිත කළ හැකි නම් ඊට වඩා තවත් කවිකමක් කවරේ ද? මේ ජීවිතය ඇරඹෙන්නේ කොතැන සිට ද? මේ දිවි නිමා වන්නේ කෙදිනක ද? මින් අනතුරුව ලැබෙන ජීවිතය කවරාකාර වේ ද? ඒ දිවි මඟත් මේ දිවි මඟ මෙන් කරදරකාරී වූවක් ද? බෞද්ධ දර්ශනයේ ප්‍රභාව මෙහි නොමඳව පතිත වී තිබේ.

“මහ පාර” විමලරත්න කුමාරගමයන්ගේ අවසන් පද්‍ය සංග්‍රහය බව මගේ මතකයයි. එහිදී සමාජ සත්තා යථාර්ථවාදී රිතිය ගුරු කොට ගත් බවක් හැ‍ඟේ. වැඩිමහල් සොහොයුරිය කම්කරු ලියක බවට පත් වී දෙමාපියන් අහිමි සොහොයුරු සොහොයුරියන් රකින්නීය. ඒ උදෙසා වත්තක සේවය කරන ඇය සංකීර්ණ ගැටලුවකට මුහුණ දෙන්නීය. ඒ ධනපති පන්තියේ රුදුරු බව හා නිර්ධන පන්තියේ අසරණත්වය හේතු කොටගෙනය. තමන් සිය අනාගතය වෙනුවෙන් පාරිශුද්ධත්වය රැක ගන්නී ද? එය නොතකා සොහොයුරු සොහොයුරියන් රැක ගන්නී ද? ඇගේ ක්‍රියාදාමය කරුණ රසයෙන් අනූනව කුමාරගමයෝ මෙසේ විවරණය කර ඇත්තාහ.

 

“ඉල්ලූ බැවින් සත හතළිස් දෙක ලොක්කා
අක්කා ඇගේ නොයිඳුල් සුවඳත් වික්කා”

 

මෙය වන්නියට නොව, සක්වළ ගලෙහිම අසරණයන්ට පොදු වූවකි. කුමාරගමගේ විස්තෘත කවි ඇසට මීට වැඩි නිදසුන් කුමකට ද?

නිර්ධන පන්තියේ දුක දුටු අවස්ථාවලදී පමණක් නොව, බුදු ගුණ වර්ණනයේදී ද අප කවියා අදීන කවිත්වයක් ප්‍රදර්ශනය කර තිබේ. “බුදු රුව” නම් වූ පද්‍ය රචනය මිනිස් පහසින් ඈත් වූ පරිසරයක නිම වූ පිළිමයක් පිළිබඳ වර්ණනයකි. එහි දී ගතානුගතිකත්වයෙන් සහමුලින්ම ඈත්වූ බව පද්‍යද්වයකින් අපට පෙන්නුම් කළ හැකිය.

 

“කිලිටි රා දොස් මෝ මුළායෙන්
රුදිර පවසැති මිනිස් ඇසකින්
කඩා රැස් කළ කුසුම් කුමට ද
කුමන පලය ද කිලිටි බතකින්

 

පිදීමට මගෙ අහිංසාවාදී පියාණන්
වියළි පතකින්
ඇහැටු පෙඳ පාසියෙන් බැරිදැයි
අසමි බැතිබර නැඹුරු සිතකින්

 

පියාපත් දා වැටුණු ගිරවකු
පරිදි නිතරම දමුව නන්වූ
දයා කරුණා වඳව ගිය පුහු
උමතු ලෝකෙක අතරමන් වූ

 

Comments