අවදානමට අත වනන ‘සෙල්ෆි’ උන්මාදය

 එවකට මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. පාසල් ශිෂ්‍ය සංගමයේ දුම්රිය සම්බන්ධ විශේෂ ප්‍රකාශනයට තොරතුරු සපයාගැනීමේ අරමුණින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසරය මත දුම්රිය එන්ජිමේ ගමන් කළේ තවත් මිතුරකු සමඟය. උඩරට මැණිකේ දුම්රි‍ය ගම්පොළ දුම්රිය ස්ථානය පසු කර මඳ දුරක් එන විට දුම්රිය දෙස බලා හිනැහුණු වයස අවුරුදු 3ක 4ක පමණ සිඟිත්තියක් දුම්රිය මාර්ගයේ දුම්රිය දෙසට ආවාය. දුම්රිය ළං වත්ම ඇයගේ සිනහව වැඩි විය. කට පුරා සිනහව පුරවාගත් මේ සිඟිත්තිය බේරාගැනීමට රියැදුරු මහතා නළාව හඬවමින් කඩිනමින් තිරිංග යෙදුවද දුම්රිය නවතා බලන විට සිඟිත්තියක් එහි නොවීය.

එදා මෙදා තුර මා මුහුණ දුන් ශෝචනීයම දුම්රිය අත්දැකීමයි ඒ.

යකඩ යකා සමඟ ඒ සෙල්ලම් කළේ කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා සිඟිත්තියකි. ඒ ලෝකය ගැන කිසිවක් නොදැනය. එහෙත් මුළු ලෝකයේම තොරතුරු ක්ෂණයකින් දැනගන්නට හැකියාව ඇතත් අද යකඩ යකා සමඟ පමණක් නොව, භයානක තවත් අන්තරාදායක දෑ සමඟ ඇතැමුන් සෙල්ලම් කරන්නේ තම දිවිය පවා පරදුවට තබමිනි. එවන් එක් සිදුවීමකින් පාඩම් ඉගැනීමටවත් අපට හැකියාවක් නොලැබී ඇත්තේ ඇයිද යන්න මෙහිදී මතු වන සමාජ ගැටලුවයි.

'සෙල්ෆි...'

මේ මෑත යුගයේ නූතන තාක්ෂණයත් සමඟ අපේ වහරට ආ වචනයකි. තමන්ගේ ඡායාරූප තමන් විසින්ම ලබාගැනීමේ මේ තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වීමට ගත වූයේ ඉතා සුළු කාලයකි. දැන් මේ 'සෙල්ෆි' ගැනීම අපේ රටේද ඇතැමුන් අතර උන්මාදයක් බවට පත්ව ඇති බව පෙනී යයි.

නවීන තාක්ෂණය නිසා අද ලෝකය පුංචි වී තිබේ. ඇමෙරිකාවේ සිදු වන ඕනෑම දෙයක් තත්පර ගණනකින් පසු ලෝකයේ ඕනෑම තැනක සිට ඡායාරූප සමඟින් අපට දැකගැන්මට හැකි වී තිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි. මේ තත්ත්වය වඩාත් වර්ධනය වූයේ පුරවැසි මාධ්‍ය හෙවත් Citizen Journalism මාධ්‍ය ලෝකයට පැමිණීමත් සමඟය. ඒ අනුව ‍'ෆේස්බුක්' හා 'ඉන්ස්ටර්ග්රෑම්' ලෝකය පුරා පැතිර යන්නට වූයේ බාල මහලු තරුණ ලොකු කුඩා කවුරුනුත් අතරේය. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ක්ෂණයකින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට මේ ‍සන්නිවේදන මාධ්‍ය නිසා හැකි විය.

තමන්ම සිටින ඡායාරූප තමන් විසින්ම ගැනීම හෙවත් සෙල්ෆි ගැහිල්ල ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමඟ තාත්වික සේයාරූ මෙන්ම මාධ්‍ය වාරණයද කළ නොහැකි වූ බව පෙනී ගියේය. කොතරම් වාරණය කළද වීඩියෝ හා ඡායාරූප සමඟින් සියල්ල ක්ෂණයකින් ව්‍යාප්ත වීමට ගත වූයේ සුළු වේලාවක් පමණි.

තමන් විසින්ම තම සේයාරූ ලබාගැනීම එක් අතකින් තවත් අයකු පුදුමයට පත් කළ හැක්කක් බවට සෙල්ෆි ආරම්භක අවදියේදී පෙනී ගියද එය පසුකාලීනව සාමාන්‍ය දෙයක් බවට පත් විණි. එහෙත් මෙහි භයානකම අවස්ථාව උදා වන්නේ සෙල්ෆි උන්මාදය හා අවදානම් සෙල්ෆිය ක්‍රියාකාරී වීමෙන් පසුවය. කිඹුලකුගේ කටට ඔළුව දමා සෙල්ෆි ගැසූ සේයාරුවක් පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එමෙන්ම අඩි දහස් ගණනක් ප්‍රපාතයකට කකුල දමා සෙල්පියක් ලබාගත් අයකුගේ සේයාරුවක්ද පළ වී තිබිණි. මෙබඳු භයානක අවස්ථා අපට දැන් දැන් මෙරටින්ද එමට දකින්නට ලැබේ. උඩවලව ජලාශය අසල ජනතාව ලබා දෙන ආහාරපාන කෑමට එන වන අලියා සමීපයටම (වැට අසලටම) ගොස් සේයාරූ ගැනීමට බොහෝ තරුණතරුණියෝ පුරුදුව සිටිති.

මේ ආකාරයෙන්ම යකඩ යකා සමීපයට ගොස් සෙල්ෆි සේයාරූ ගැනීමටද අද බොහෝ දෙනා පුරුදුව සිටිති. මෙහි භයානකත්වය කොතරම්ද යන්න තවමත් අවබෝධ වී නැත්දැයි අපට සිතෙන්නේ පසුගිය ඉරිදා සිදු වූ අනතුරු දෙකක් දෙස බැලීමෙන් පසුවයි. එයින් එක් අනතුරක් සිදු වූයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය අතරදීය. සිංගප්පූරුවේ සිට පැමිණ තම ඥාතීන් සමඟ මුහුදු වෙරළේ සුවය ගත කිරීමට අමතරව සෙල්ෆි සේයාරූ ගැනීමට යෑමෙන් වයස අවුරුදු 24ක තරුණයකු මිය ගියේ තම බාල සොහොයුරා වන 12 හැවිරිදි පාසල් සිසුවකුද සමඟිනි. මෙහිදී මිය ගිය කුඩා දරුවාගේ හිස කොටස කිසිවකුට සොයාගත නොහැකිව ඒ දුම්රියේම ඉහළට නඟින ඉණිමඟක සිර වී තිබී ඇති බවත් දුම්රිය එදින අලුත්ගම දක්වා ගොස් පසුදින අඹේපුස්ස දක්වා යෑමේදී ගම්පහදී එය දැක පොලීසියට බාර දී ඇති බවත් වාර්තා විය.

එදිනම අනෙක් සිදුවීම වාර්තා වූයේ හික්කඩුවට නුදුරු කහව ප්‍රදේශයෙනි. ලෝක ප්‍රසිද්ධ 2004 සුනාමි දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලෙස කටයුතු කළ වනිගරත්න කරුණාතිලක අද මාතර දුම්රිය ධාවනාගාරයේ ප්‍රධාන නියාමකවරයකු ලෙසයි කටයුතු කරන්නේ. ඔහු පසුගිය ඉරිදා උදෑසන යාපනයේ සිට මාතර බලා ධාවනය වූ සති අන්ත ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ලෙස කටයුතු කළා. වේගයෙන් ධාවනය වූ මේ දුම්රිය සමඟ සෙල්ෆි සේයාරූ ගැනීමට ගිය යුවළක් අනතුරට පත් වී පුරුෂයා එම ස්ථානයේම මිය ගිය බවත් කාන්තාවද තුවාල ලැබූ බව ඔහු පැවසුවා‍. හොඳින් ආලෝකය තිබූ පස්වරු 6.15ට පමණයි මේ අනතුර සිදුව තිබෙන්නේ.

යාපනයේ සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රියට කහව ප්‍රදේශයේදී පැමිණියේ සැලකිය යුතු වේගයකිනි. මේ මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක් වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි වුවද සාමාන්‍ය වශයෙන් දුම්රිය රියැදුරන් එම වේගයෙන් නොව සාමාන්‍ය වශයෙන් පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන දුම්රියකට මීටර් 100ක් පැමිණීමට ගත වන්නේ තත්ත්පර 3.6ක් බඳු ඉතා සුළු කාලයකි. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැමිණියේ නම් ඒ සඳහා ගත වන්නේ තත්ත්පර 4කට මඳක් වැඩි කාලයකි. බොහෝ දෙනාට වරදින්නේ මෙතැනය. දුම්රිය මීටර් 100ක්-200ක් පමණ ඈත තිබියදී එය පැමිණීමට තවත් විනාඩියක් පමණ ගත වනු ඇතැයි සිතා සෙල්ෆි ගැසීමට සූදානම් වෙති. එහෙත් දූරකථනයේ තිරයට අත තැබීමටත් පෙර දුම්රිය ඔවුන් පසු කරගෙන යන්නේ සෙල්ෆියත්, දිවියත් දෙකම අවසන් කරගෙනය. ‍

දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසන්නේ පසුගිය මාස පහමාරකට ආසන්න කාලයකදී දුම්රියේ ගැටීම් ඇතුළු දුම්රිය හා සම්බන්ධ අනතුරුවලින් පුද්ගලයන් 209ක් මියගොස් ඇති බවයි. එයින් පුද්ගලයන් 22ක් මියගොස් ඇත්තේ සෙල්ෆි ගැසීමට යෑමෙන් හා ජංගම දූරකථන කනේ තබාගෙන යෑමෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ග‍යේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ තීරයේ වෙරළ ආසන්නයේ ඇති අනවසර නිවාසයන්ට මාර්ගයක් ලෙස දුම්රිය මඟ භාවිත කරන බවද පෙන්වා දුන් ඒ මහතා මුහුදු සිරිය විඳගැන්මට පැමිණෙන පිරිස් ක්‍රමයෙන් වැඩිව ඇති බවත් ‍‍මේ බොහෝ පිරිස් දුම්රිය මාර්ගයේ අනතුරුදායක තත්ත්වය නොතකන බවත් ඒ මහතා පවසයි. වෙරළ ආසන්නයේ අධික සුළඟ නිසා දුම්රියේ ශබ්දය ඉතා අඩුවෙන් ඇසෙන බවත්, විශේෂයෙන් තනි බලවේග කට්ටල දුම්රියන්හි එක් එන්ජිමක් පමණක් තිබෙන හෙයින් එක් පසෙකට ධාවනය විමේදී එහි එන්ජිම පසු පස ඇති නිසා ඉදිරිපසින් කිසිදු ශබ්දයක් ‍නොඇසීම නිසා දුම්රියක් ආසන්න වන තුරුම එය නොදැනීමෙන් අනතුරු සිදු වන බවත් ඒ මහතා කියා සිටී.

දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වීඑස් පොල්වත්තගේ මහතා අපට පැවසුවේ සෙල්ෆි උන්මාදය නිසා අහිමි වන ජීවිත බේරාගැනීමට නම් පළමුව ආකල්ප වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙහිදී පාසලෙන් මෙන්ම වැඩිහිටියන් විසින්ද දූදරුවන් දැනුවත් කිරීම මඟින් මේ උන්දමාදය ඉවත් කරගැනීමට හැකි වනු ඇති බවත් විශේෂයෙන්ම අනතුරාදායක සෙල්පි සේයාරූ ගැනීමට දුම්රිය මඟ කිසිසේත්ම යොදා නොගත යුතු බවත් දුම්රිය මාර්ගය දුම්රිය ගමනාගමනයට පමණක් සීමා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි. කොළඹ ‍කොටුව දුම්රිය ස්ථාන අධිකාරි සරත් පතිරණ මහතා පැවසුවේද දුම්රිය අනතුරුවලින් මිය යන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් වළක්වාගත හැකි බවත්, නොසැලකිල්ල මේ සියල්ලට හේතුව වී ඇති බවත්ය.

බොහෝ මඟීන් මෙන්ම ජනතාවද දුම්රිය මඟින් ලබා දෙන නිවේදන නොසලකා හරිනු ලබන බවත් මේ නිසා අනතුරුවලට මුහුණ දීමට සිදුවන බව ඔහු පෙන්වා දෙනවා. දුම්රිය නැවැත්වීමට පෙර එයට ගොඩවීමට යාම අනතුරුදායක බව නිවේදනය කරද්දීම කිසිදු ආකාරයක සැලකිල්ලක් නොමැතිව මඟීන් එයට ගොඩවන්නේ තම දිවියට වඩා දුම්රිය ආසනයට මුල් තැනක් ලබා දෙමින් බව කී පතිරණ මහතා මේ ආකාරයෙන්ම සෙල්ෆි සේයාරූ ගැනීමද අනතුරුදායක ලෙසින් ලබා ගැනීමද වැඩිවී ඇති බවත් පෙන්වා දුන්නා.

පසුගිය ඉරිදා සිදු වූ මේ සිදුවීම් දෙක දැන් අතීතයට එක් වී අවසන්. අපේ රටේ ඕනෑම දෙයක් මතක තිබෙන්නේ දවසක් නැත්නම් දවස් කීපයක් විතරයි. සෙල්ෆි ගහන්න එපා කියල අපි කියන්නේ නැහැ. තාක්ෂණය තියෙන්නේ ඉදිරියට යන්න; වැඩ කටයුතු පහසු කරගන්න. කලින් තවත් කෙනකුට කියල තමන්ගේ සේයාරූ ගත්ත අයට දැන් තමන්ගේ සේයාරූ තමන්ටම ගන්න පුළුවන්‍.‍ ඒත් ඒ තත්ත්වය උන්මාදයක් නැත්නම් පිස්සුවක් කරගත්තොත් විඳවන්න වෙන්නේ තමන්ට විතරක් නෙමෙයි කියනඑක අපට මේ සිදුවීම් දෙස බලා හොඳට වටහාගන්න පුළුවන් වෙන්න ඕනෑ. එවිට සෙල්ෆියත් ජීවිතයත් දෙකම රැකගන්න හැකි වේවි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.