චීනය ලෝකයට රැගෙන යන ‘දුප්පත් අපගේ බයිසිකලේ’ | සිළුමිණ

චීනය ලෝකයට රැගෙන යන ‘දුප්පත් අපගේ බයිසිකලේ’

 කොළඹ හෝ මහනුවර හෝ එවැනි ප්‍රධාන නගරයක මාර්ග තදබදයට හසු වීම හෙවත් ‘ට්රැෆික්’ යනු එහි සිරවන්නන්ගේ විනෝදාංශයක් ද? ‘තුන්සිය හැට එක’ නාට්‍යයේදී මේ ගැන දේශපාලකයාගෙන් විමසන මාධ්‍ය වේදිනියට ලැබෙන්නේ අපූරු පිළිතුරකි. එහි දී දේශපාලකයා පවසන්නේ ‘ට්රැෆික්’ යනු ප්‍රගතිශීලී ගමනක් බවයි. එමෙන්ම ‘ට්රැෆික්’ සිරවීමකින් රස්තියාදු වී එක අඩියක් ඉදිරියට යන අවස්ථාව ලොව ඇති ඉහළම සතුට බවයි. මාධ්‍යයෙන් ජනතාවය නිදහස් කර ගැනීම කියන තේමාවෙන් උදයසිරි වික්‍රමරත්න වේදිකාවට ගෙනා මේ නාට්‍යයේ දී දිගහැරෙන සංවාදයට අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට අද ඇති ප්‍රගතිශීලී ගමන ‘ට්රැෆික්’ ය.

ප්‍රගතිශීලී හා ප්‍රතිගාමී යන වචන මෙරට සමාජයට පුරුදු කළේ වාමාංශික දේශපාලනය විසිනි. ප්‍රතිගාමී යනු ඉදිරි මඟ හෝ ඉදිරි දියුණුව වළක්වන පියවර වන අතර ප්‍රගතිශීලී යනු සමාජයේ ඉදිරි ගමන හෝ යහපත් ගමනයි. මේ යෙදීම් වඩාත් උචිත වන්නේ දේශපාලනයේ දී ය. විශේෂයෙන්ම වචන පමණක් ඉස්මතු වූ වාමාංශික දේශපාලනයේ දීය.

වාමාංශික දේශපාලනයට ආදර්ශ ගත් බව කියන රටක් වන චීනයේ නම් ‘ට්රැෆික්’ යනු ප්‍රතිගාමී අවස්ථාවක් ලෙස සැලකයි. එනම් එරට මාර්ග තදබදය ගැන සලකන්නේ රටේ ඉදිරි ගමන අවුරන අවස්ථාවක් ලෙසයි. එසේ වුව ද එරට මහා මාර්ග හැම විටම වාහනවලින් පිරී යයි. ඔවුන්ගේ සැලැසුම් හැම විටම ඒ තදබදය අවම කර ගැනීම පිණිසයි.

මුළු ශ්‍රී ලංකා භූමිය තරම් විශාල නගර ඇති චීනයේ මාර්ග තදබදයත් ඒ තරමටම විශාලයි. එක් අතකට මංතීරු හතරක් පහක් තිබියදීත්, එක කොන්ක්‍රීට් කණුව මත එක පිට එක මාර්ග තුන හතර උසට නැඟී මාර්ග ජාලයක් දසත ඇදී තිබියදීත් චීනයේ නගරවල ‘ට්රැෆික්’ ද කිසි අඩුවක් නැත. එහෙත් චීන ජනතාව අදටත් ලෝකයට ගමන් කරන ප්‍රගතිශීලී ගමන සඳහා යොදා ගන්නේ බයිසිකලය හෙවත් පාපැදිය බව චීන සංචාරයේදී අවධාරණය කර ගන්නට හැකි විණි. ඔවුන් නවීන සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය කරන රටක් දක්වා වර්ධනය වුව ද බයිසිකලය අත්හැර නැත. එය ‘ට්රැෆික්’ අවම කර ගැනීමේ වාහනයක් ලෙස ද භාවිතයට ගනී. කරුණාරත්න අබේසේකර ලියා, වින්සන්ට් ද පෝල් පීරිස් ගායනා කළ ‘දුප්පත් අපගේ බයිසිකලේ’ ගීතය මොනතරම් ප්‍රගතිශිලී දැයි අපට පසක් වූයේ චීනයේ බයිසිකල් ගමනාගමනය දකින විටයි. දුප්පත් පොහොසත් භේදය ද මේ බයිසිකලය විසින් තුනී කරනු ලැබීම මේ කතාවේ ඇති වටිනාම කොටසයි.

චීනයේ මහ මඟ, පදික වේදිකාව සමීපයේ හෝ විශේෂයෙන් වෙන් කළ ස්ථානවල හෝ නවීන පන්නයේ බයිසිකල් කිහිපයක සිට සිය ගණනින් ගාල්කර තිබීම අපගේ කුතුහලය දනවන්නක් විණි. පළාතෙන් පළාතට අප ගමන් කරන විට ද ඒ දසුන දකින්නට හැකි වූ අතර බයිසිකලයේ වර්ණය පමණක් පළාත අනුව මාරු වෙයි. එසේ බයිසිකල් ගාල්කර ඇත්තේ අලෙවියට යැයි බැලූ බැල්මට පෙනී ගියත් ඇත්තටම කෙරෙන්නේ කුලියට දීමකි. රජයට අනුබද්ධ සමාගම් කිහිපයත් විසින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යයි. බයිසිකලය කුලියට ගනු ලබන්නේ නැති-බැරි දුප්පත් අය පමණක් නොව අති නවීන මෝටර් රථයෙන් ගමන් ගන්නා අය පවා යම් අවස්ථාවකදී මේ බයිසිකලයක් කුලියට ගනී. එහි අරුත කුමක්දැයි අපට පැහැදිලි කර ගැනීමට අවශ්‍ය විණි. එනම් වාහනයක් ඇති අය මෙන්ම නැති අය ද බයිසිකලයක් කුලියට ගන්නේ ඇයිද කියන කාරණයයි.

මාර්ග තදබදය මඟ හැර ඉක්මනින් ගමනාන්තයට යාමට හෝ නිදහස් සිතින් අවශ්‍ය ගමන යාමට හෝ චීනය ජනතාව පොළඹවා ඇත්තේ මේ බයිසිකලය වෙතටයි. මේ බයිසිකලයක් කුලියට ගැනීමට අවශ්‍ය වූ විට තම ජංගම දුරකතනය භාවිතා කොට තමන් තොරා ගන්නා බයිසිකලයේ අගුල ඇර ගැනීමට හැකියි. ඒ සඳහා භාවිතා කෙරෙන්නේ මිතුරු සමාජ වෙබ් අඩවියක් වන ‘වී චැට්‘ ය. ‘වී චැට්‘ යනු‘ෆේස් බුක්‘ වෙනුවට චීනය භාවිතා කරන සමාජ මාධ්‍ය ලෙස හැඳින්වීමද වැරැදි නැත. එමඟින් අවශ්‍ය බයිසිකලය තෝරා ගනී. අදාළ බයිසිකල් සමාගම බයිසිකලය කුලියට ගත් අය ගැන දැන ගනී. ඒ ‘වී චැට්‘ මඟිනි. ‘දුප්පත් අපගේ බයිසිකලය‘ සමඟ චීනය අති නවීන තාක්ෂණය එසේ නැතිනම් තොරතුරු තාක්ෂණය යොදා ගෙන ඇතැයි කීම ශ්‍රී ලාංකික සමාජයට නම් පුදුමය දනවන්නක් විය හැකියි. ශ්‍රී ලාංකික සමාජයේ වැඩි දෙනා අතර තොරතුරු තාක්ෂණය භාවිතා වන්නේ නිෂ්පාදන හෝ සේවා ක්‍රියාන්විතයකට වඩා විලාසිතාවක් හෝ අනෙකා ගැන ඕපාදූප සෙවීමකට වන බැවිනි.

තමන්ට රිසි තැනකින් බයිසිකලය කුලියට ගත් චීන ජාතිකයා බයිසිකලයට නැඟී ගමනේ යයි. අදාළ ගමනාන්තයට ළඟා වූ පසුව, බයිසිකල් ගාල් කර තබන තැනින් එය ගාල් කළ පසුව, ගිය දුරට අදාළ මුදල ජංගම දුරකතනයේ බිල් පතට එකතු වූ බව පාපැදි කරුට දැනුම් දෙයි. චීනයේ ජීවන වියදමට අනුව කිලෝමීටර් තුන-හතරක මෙවැනි බයිසිකල් ගමනකට වැය වන්නේ ඉතාම සුළු මුදලකි. අනෙක් විශේෂ කරුණ වන්නේ තමන් පැදගෙන ආ බයිසිකලය ගැන ආරක්ෂාව අමතක කොට තම ඊළඟ පියවරට නිදහසේ යාමට හැකි වීමයි. තවත් ආකාරයකට පවසතොත් බයිසිකලය පැදගෙන ගමනාන්තයට ආ පසුව එම බයිසිකලය ගත් තැනට නැවත රැගෙන යෑමට අවශ්‍යතාවයක් නැත. තමන් ආපසු යන්නේ ගමන ආරම්භ කළ තැනටම වුව ද නිදහසේ වෙනත් බයිසිකලයක් තෝරා ගෙන ඒ ගමන හිතුන වෙලාවක යා හැකියි. දුම්රියට යෑමට, තම වාහනය මාර්ග තදබදයට හසු නොකර ගමන යාමට, පාසලට, විශ්වවිද්‍යාලයට නිදහසේ යාමට මේ බයිසිකලය තරම් වටිනා වාහනයක් චීන ජනතාවට නැති තරම් ය. අතිනවීන මෝටර් රථයක හිමිකරුවා ද අවශ්‍යතාව අනුව බයිසිකලයක් තෝරා ගෙන පැදයාම ඔහුට අභිමානයකි. වාහනයක් නැති දුප්පතා ද බයිසිකලයක නැඟී තම ගමන යන්නේ අභිමානයකින් මිස හීනමානයකින් නොවීම ශ්‍රී ලාංකික සමාජය තේරුම් ගන්නේ කවදා දැයි සිතා ගැනීමටවත් නොහැකිය. අර තරම් අතිනවීන බයිසිකල් මහ මඟ රැයක් දවාලක් නැතිව ගාල් කර තැබීමට සොර සතුරු කරදරයක් අත් නොවීම ගැන ඇත්තේ ද පුදුමයකි! බයිසිකලයක එක ඇන මුරිච්චියක් නැති වන්නේ නැති බව දැනගන්නට ලැබිණි. එවැනි සමාජයක් චීනයේ ඇත්තේ දුප්පතුන් නැතිව නොවේ. මේ වන විට කොළඹ නගරයේ දැවන්ත ඉදිකිරීම්වල, දවසට පැය දොළහක් වැඩකරන චීන කම්කරුවන් මඟින් චීනයේ දුප්පතුන්ගේ කතාව අපට පහසුවෙන් දැක ගත හැකියි.

බයිසිකලය ‘ට්රැෆික්’ අවම කරන්නක් පමණක් නොවේ. ශරීර සුවතාවද බයිසිකල් ගමනකින් ආරක්ෂා වෙයි. බයිසිකලය ඇති හා නැති අය අතර මානසික පරතරය තුනී කරන්නට ද හේතුවක් වන බැවින් සමාජයේ සාමූහික බවටද රුකුලකි. බයිසිකලයක නැඟී යන ගමන එක් අයෙකු හා සම්බන්ධයෙන් ගත් කල නොසැලකිය යුතු තරම් ආර්ථික වාසියක් ගෙනෙන කතාවකි. එහෙත් චීනයේ ජන ගඟ එය ආදේශ කර බලන විට බයිසිකල් ගමන නිසා චීනය ඉතිරි කරන්නේ විශාල ධනයකි. ඒ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අමතරවයි.

ලක්ෂ්මන් පිය­සේන

Comments