තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

උගත් පෙනුමක පාතාල නායකයා

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපට සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. මේ දවස­්වල ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසකින්ම රසිකයා අතරට එන ශ්‍රියන්ත ගැන යළිත් කතා බහ කරන්න පටන්ගෙන ඇත්තේ ඔහු 'ෆේස් ටු ෆේස්' චිත්‍රපටයේ රඟ දක්වන නවතම චරිතය නිසා. 'මේ චිත්‍රපටයේ මම රඟ දක්වන්නේ පාතාල නායකයකුගේ චරිතයක්. කාලෙකට පස්සේ තමයි මේ විදිහේ මැර චරිතයකින් සිනමාවට එක් වුණේ. පාතාල නායකයෙක් කිව්වට මහාචාර්යවරයකුගේ පෙනුම තමයි ඔහුට තිබෙන්නේ. කොණ්ඩය බැඳලා, රැවුල වවලා උගත් පෙනුමෙන් යුතු පාතාල නායක චරිතයක් මෙය. මගෙ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ චිත්‍රපටයේ සටන් ජවනිකා රැසක් අන්තර්ගතයි. කරාබුවක් දාලා වෙනස්ම ස්වරූපයකින් මම සටන් කරන හැටි ප්‍රේක්ෂකයාටත් අලුත් අත්දැකීමක් වේවි.


 රඟපාන්න සූදානම්

පුංචි තිරය හැඩ කළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මංජුලා කුමාරි. මංජුලාගේ රංගනයන් කාලෙකින් අපේ නෙත නොගැටුණු තරම්. කොහොම වුණත් මංජුලාගේ අලුත්ම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා. එතකොට තමයි අපිට දැන ගන්න ලැබුණේ යළිත් රංගනයට එක් වෙන්නට ඇය පෙරමඟ බලමින් සිටින බව. 'මේ දවස්වල නම් ගෙදරටවෙලා තමයි කාලය ගත කරන්නේ. මොකද නිර්මාණ කිහිපයකටම කතා කළත් ඒ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අනෙක තරමක් දුර තමයි රූගත කිරීම් යෙදිලත් තිබුණේ. කොහොම වුණත් දැන් පුතාටත් අවුරුදු 2ක් වෙන්න ළඟයි. පුතාගේ උපන්දිනයත් ළඟ ළඟම එනවා. දැන් එයාට යම්යම් දේ තේරුම් ගන්න පුළුවන්. ඕගන් ගහන්න හරිම ආසයි. දවස පුරාම මාත් එක්ක හුරතල්වෙවී ඉන්නවා. පුතා තරමක් ලොකු නිසා හොඳ නිර්මාණයකට දායක වෙන්න දැන්මට කාලය යොදවන්න පුළුවන්.


ජයලාල් ගෙනෙන 'ගොන්ඩෝලා'

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම නාට්‍යවේදියකු වන ජයලාල් රෝහණයන් කලකට පසුව නවතම වේදිකා නාට්‍යයක් අධයක්ෂණය කරමින් වේදිකාවට ගොඩ වෙන්නට සුදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන අපි ඔහුගෙන්ම විමසා බැලුවා.

'ගොන්ඩෝලා' තමයි මගේ නවතම වේදිකා නාට­්‍යය. මෙහි තිර රචනය සහ අධ­්‍යක්ෂණය මගේ. මේ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරි මහතා. විශේෂයෙන්ම ගොන්ඩෝලා ඔස්සේ මම කතා බහට ලක්කරන්නේ වර්තමාන මිනිසාට බලපා අති සමාජ දේශපාලනික සංස්කෘතික කාරණාවල යථාර්ථයන් පිළිබඳවයි. මේ නාට්‍යය නරඹලා ජීවිතාවබෝධයකුත් එක්ක තමයි ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත්ව යන්නේ. මෙහි ගොන්ඩෝලා චරිතයක් මම රඟ දක්වනවා. ඒ වගේම රොඩ්නි වර්ණකුල, කුමාර කරුණානන්ද, මාලි ජයවීරගේ චන්දන නිශාන්ත චරිත නිරූපණයෙන් එක්වෙනවා. ලබන 30 වැනි දා සවස 6.30ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හි දී 'ගොන්ඩෝලා' වේදිකා ගත වෙනවා.,,


වටිනාම උපන්දින තෑග්ග

සාමාන්‍යයෙන් හැමදාමත් වගේ කලා ලොවට පෑයූ තරුවල උපන්දින සැමරෙනවා. එලෙස පසුගිය දවසක ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඇගේ උපන්දිනය සමරනු ලැබුවා. ඇය තමයි සේමිණී ඉද්දමල්ගොඩ. උපන්දිනය දවසේ සේමිණීට කෝටියකටත් වඩා වටිනා උපන්දින තෑග්ගක් ලැබිලා. ඒ ඇගේ ආදරණීය දියණිය කුමලිගෙන්. ඒ ගැන සේමිණී අපිත් එක්ක කතා කළේ කුමලී ගැන උතුරාගිය සෙනෙහසකින් වගේම සතුටකින්.

' මගේ උපන්දිනය යෙදුණෙ පසුගිය සඳුදා. මට මුල්ම සප්‍රයිස් එක හම්බවුණේ මගේ දු පැටියගෙන්. එයා පාන්දර 2 වෙනකනුත් පාඩම් වැඩ කරලා. පාන්දරම නැවත නැගිටලා මගේ උපන්දිනය වෙනුවෙන් කිරිබත්, ලුණුමිරිස් ,හදලා , කෙසෙල් එක්ක ලස්සනට මේසෙයට ඇරලා. මට පුදුම හිතුණා. ඒ වගේම මගේ දුව ගැන ලොකු ආඩම්බරයකුත් ඇතිවුණා. උපන්දිනය දවසේ මට ලැබුණු වටිනාම තෑග්ග එයයි. ඒක මට කෝටියකට වඩා වටිනවා. 'සේමිණී එලෙස පැවැසුවේ නෙතට නැගුණු සතුටු කදුළුත් එක්කයි.

 


සෙට් එකේ ජරමරේ

ටෙලි නාට්‍ය රූගත කරන දර්ශන තලය සමහර වෙලාවට නළු නිළියන්ට සතුට ගෙනෙන තෝතැන්නක්. විවිධ උසුළු විසුළු සිදුවීම් නිරන්තරයෙන් සිදුවන තැනක්. මේ දවස්වල පැහැසරා ටෙලි නාට්‍යයේ දර්ශන තලයත් මේ වගේලු. පැහැසරා ටෙලි නාට්‍යයේ 'කුසල්' ලෙස රඟපාන සුරේන් පෙරේරාට නම් මේ දර්ශන තලයේ දී සිදු වන්නේ නොහිතපු අකරතැබ්බ කියලා අපිට දැන ගන්නට ලැබුණා. සුරේන් මීයන්ට , කැරපොත්තන්ට දක්වන්නේ හරිම අප්පිරියාවක්. මේ සතුන්ට ඇති අකැමැත්ත නිසාම සුරේන් උන් දකිනවිටත් කෑගහගෙන දුවනවලු. කොහොම වුණත් මේ නිසා පසුගිය දවසක දර්ශන තලයේ වැඩ කටයුතු පවා මොහොතකට නතර වුණාලු. මේ ගැන සුරේන්ගෙන්ම විමසා බලන්න අපිට සිතුණා. 'මම කැරපොත්තන්ට, මීයන්ට අක­ැමැති නිසා සෙට් එකේ අය එක එක දවසට මීයන් අල්ලගෙන එනවා. පසුගිය දවසක සඳුන් අයියා ගෙදරින්ම මී පැටියෙක් පෙට්ටියකට අල්ලගෙන ඇවිත් මට දර්ශන තලයට එන්න කියලා පණිවිඩයක් එවලා. මම ඒත් සැකයට එතනට යනකොට මම දැක්කා මීයෙක් අල්ලාගෙන ඇවිත් ඉන්නවා. මම බය වුණු පාර කෑගහගෙන දිව්වා. බලනකොට ළඟ හිටපු මේකප් ආටිස්ට්ගේ බඩත් හොඳටම හුරාගෙන තමයි මම දුවලා තියෙන්නේ. කොහොම හරි ඒ කලබලය නිසා රූගත කරමින් සිටි දර්ශනය නැවතිලා යළිත් රූගත කරන්න වුණා.

 

Comments