සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන හා බෙල්ලට පිහිය තැබීම | සිළුමිණ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන හා බෙල්ලට පිහිය තැබීම

 පසුගිය බදාදා සයිටම් ප්‍රශ්නය අරබයා පැවැත්වූ සිසු විරෝධතාවකදී ඒ විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාපැනීමත් සමඟ ආරක්ෂක අංශ ඔවුන්ට පහර දුන්හ. මේ ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරු නැවත වටයකින් වැඩවර්ජනයක් ආරම්භ කිරීම නිසා රෝහල් කටයුතු අඩාළ වී තිබේ. හදිසි සේවා නියමිත පරිදි සිදු කරන බව කීවත් රෝගී ප්‍රතිකාර හදිසි හා ප්‍රමාද ලෙස වර්ගීකරණය කළ නොහැකිය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන්නා සේම වැඩවර්ජනයක් කරන්නේ සරල අරමුණකින් නොවේ. ඒ නිසා මේ වැඩවර්ජනයද සමාජයට ආර්ථික වශයෙන් නොව ශාරීරික වශයෙන් හානි සිදු කරන වැඩවර්ජනයකි.

ධනපති ක්‍රමයට එරෙහිව පවතින අනවරත සමාජ අරගලයේදී වැඩවර්ජනය ශක්තිමත් අවියකි. එහෙත් එය අද වන විට ආණ්ඩුවකට එරෙහි විරෝධතා අවියක් ලෙස භාවිත වේ. කම්කරු අරගලයකදී වැඩවර්ජනයකට ලැබෙන අයිතිය අත්හළ නොහැකිය. එමෙන්ම එවැනි අවියක් කම්කරු අරගලයක ජයග්‍රහණය සඳහා ඉවහල් වේ.

සමාජ අරගල ඉතිහාසයේ වැඩවර්ජනයකින් සිදු කර ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කර ආණ්ඩුවට ආර්ථිකමය ලෙස හානියක් සිදු කිරීමයි. එම හානිය පෙරළ‍ා කම්කරු අරගලයට ශක්තිමත් විසඳුමක් දීම සඳහා ආණ්ඩුවකට බලපෑමක් එල්ල කරයි. එහෙත් අද වැඩවර්ජන යහමින් සිද්ධ වන්නේ ආර්ථික හානියක් පමණක් සිද්ධ වන ක්ෂේත්‍රවල නොවේ. සමාජයට ශාරීරික හානියක් කළ හැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගින් දිගටම වැඩවර්ජන සංවිධානය කිරීම වෘත්තී සමිතිවල සිරිතක් වෙමින් තිබේ.

මෙය බරපතළ තත්ත්වයකි. සමහර විට ආණ්ඩුවලට නිහඬව සිටිය හැකි වුවත් සමාජය මුහුණ දෙන්නේ කණගාටුදායක තත්ත්වයකට ය. මෙරට ජනතාවගෙන් 45%ක් පමණ දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපදවන්නෝය. එවැනි අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් වෙත ගොස් මුදල් ගෙවා සේවය ලබාගත නොහැකිය. එනිසා වෛද්‍ය වර්ජනයක් පවතින විට සිදු වන්නේ ආර්ථික ශක්තියක් නැති ජන කොටස පීඩාවට පත් වීමයි.

මෙහිදී එවැනි දුප්පතුන් ශාරීරිකව පීඩාවට පත් වීම වර්ජනය නමැති විශිෂ්ට කම්කරු අරගල අවියටද නිග්‍රහයකි. එහෙත් දැනට දශක තුනක පමණ කාලයක් තිස්සේ තම ඉල්ලීම් දිනා ගැනීමට වෛද්‍යවරු වැඩ වර්ජනය කරති. වෙළෙඳපළ ආර්ථිකය විසින් සමාජ වටිනාකම්වලටද මිලක් නියම කිරීම ඊට හේතුව වේ. ආර්ථික වශයෙන් ආන්තික පිරිස් වෛද්‍ය ක්ෂේත්‍රයට ආ පසුව සමාජ වටිනාකම් පසෙකලා ආර්ථික යුද්ධයට ගැළපෙන දේ කිරීම මේ අන්දමින් සිදු වන වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිහානියේ ආරම්භයයි. මේ සඳහා විසඳුමක් සොයාගන්නට නම් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම වැඩ වර්ජන තහනම් කළ යුතුව තිබේ.

කම්කරුවන් නොවන පිරිස්වලට අසාධාරණයන් සිදු වන විට ඒවා විසඳාගැනීමට අලුත් ක්‍රමෝපායන් සොයාගත යුතුය. ප්‍රශ්න කෙතරම් බරපතළ වුවත් ඒවා කොතරම් හානිකර වුවත් මිනිසුන්ගේ බෙල්ලට පිහිය තබා ආණ්ඩුව සමග කේවල් කිරීමට වෘත්තීය සමිතියකට අයිතියක් නැත. වෘත්තීය අරගල සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඉන්නේ නොමේරූ ස්ථාවරයක නිසා හොස්ස ළඟින් මැස්සකු ගියද වැඩ වර්ජනය කිරීමට ඔවුහු පෙලඹී සිටිති.

මෙවැනි අදහස් දරන මැද පාන්තික වෛද්‍යවරුන්ට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය සමාජය සූරාකෑම සඳහා කෙම්බිමකි. ඉතිහාසයේ එක් යුගයක නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය සමාජයට කළ දායකත්වය අගය කළ නොහැකිය. එහෙත් කාලයා සමඟ අද වන විට ඒ උසස් සංකල්ප දෙකම අවලංගු වෙමින් හා අතාර්කික වෙමින් තිබේ. ඊට හේතුව සමාජයේ අලුත් මැද පන්තියක් බිහි වීමයි. එනිසා අතාර්කික හා අවලංගු වෙමින් පවතින සංකල්ප නැවත ඔසොවා තබන්නට අරගල කිරීම සමාජ විරෝධී වේ.

අලුතින් බිහිව ඇති මැද පන්තියට ආර්ථික ශක්තියක් තිබේ. ඔවුහු බොහෝ විට සමාජය තුළ අනන්‍යතාවක් ලබාගැනීම සඳහා කටයුතු කරති. ඒ මැද පන්තියට තම අරමුණු සාධනයේලා නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යෑම සමාජ විනාශයකි. ඒ නිසා කළ යුත්තේ ධනේශ්වර ආර්ථික ක්‍රියාකාරකම් නිසා ආන්තිකකරණයට ලක්ව ඇති සමාජ කොටස්වලට නොමිලයේ අදාළ පහසුකම් ලබාගැනීමට ක්‍රමයක් නිර්මාණය කරගැනීමයි. එසේම මැද පන්තියට තමන්ට අවශ්‍ය ලෙස මුදල් ගෙවා ඒ පහසුකම් ලබාගැනීමට සේවා ස්ථාන සකස් කර දීමයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්මික ආරාවුල් විසඳීමට පූර්ණ බලැති කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු අතර, ඊට තීන්දු තීරණ ගැනීම සදහා බලය පැවරිය යුතුය. එම කොමිෂන් සභාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාමධාරී කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය. එවිට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ යම් කාර්මික ආරවුලක් නිර්මාණය වූ විට පළමුව කළ යුත්තේ කොමිෂන් සභාවට ඒ බව දැන්වීමය. කොමිෂන් සභාව මඟින් තීරණයක් ලබාගැනීම සඳහා නිර්ණායකයන් හා ක්‍රමවේද සකස් කළ යුතුය.

වෘත්තීය සමිති ලෙසත් වෘත්තීය සේවා ලෙසත් දේශපාලනික මැදිහත්වීම් සඳහා වෙනත් විකල්ප ක්‍රම අනුගමනය කිරීමට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කල්පනා කළ යුතු අතර, ශාරීරික පීඩාකාරි වැඩවර්ජන සිදු කිරීම ආචාරධාර්මිකවත් නෛතිකවත් අහෝසි කළ කළ යුතුය.

හිපොක්‍රටිස් සමඟ කෙරෙන ආචාරධාර්මික සංවාදයකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම නතර කිරීම උගහටය.

- අබරන් 

Comments