දශකහතකට පසු 47 කණ්ඩායමසුද්දන් එළවයි | සිළුමිණ

දශකහතකට පසු 47 කණ්ඩායමසුද්දන් එළවයි

බන්දුල ජයමාන්න

තමන්ව පොඩිපට්ටම් කරමින් භේදබින්න කළ අධිරාජ්‍යවාදියාගෙන් ඉගෙන ගත් පෝෂණය කරගත් කුමන හෝ දෙයකින් එකී අධිරාජ්‍යවාදියාව තලාපෙළා දැමීමට හැකි නම් එක් අතකින් එය පලිගැනීමකටත් වඩා දෛවයේ සරදමක් බව නොරහසකි. ක්‍රීඩාවකින් වුවද එසේ සටන් කිරීම ජය ගැනීම එක් අතකින් ඉතිහාසය නැවත නැවතත් සිහිකිරීමක්, මතක් කරදීමක් හැර අන් කවරක්දැයි බැහැර කළ හැකිද?

කාල් මාක්ස් ප්‍රකාශ කර ඇත්තේ...

ඉතිහාසය නැවත නැවත සිදුවනවා. ඉතිහාසය පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවැනුව ප්‍රහසනයක් ලෙසත් නැවත සිදුවෙනවා.

එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැති අටවැනි චැම්පියන්ස් ශූරතා (මෙය බොහෝ විට අවසන් තරගාවලිය ලෙසද හැඳින්වෙයි. කෙසේ වෙතත් 2013 දී ද මෙවැනි ප්‍රකාශයක් කරළිගත විය) ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය කඩුලු අටකින් ජයගනිමින් මෙවර තරගාවලියේ ඒ සහ බී කාණ්ඩයන්හි මූලික වටයේ එකම අපරාජිතයන් වූ එංගලන්ත කණ්ඩායමේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු බිඳ දැමීමත් සමඟම දශක කිහිපයකට පෙර එක්ව සිටි ජනතාවක් අද බෙදී වෙන්ව සිටිය ද චැම්පියන්ස් නාමය තමන් වෙතම රඳවා ගැනීමට එක්වීම විශේෂත්වයකි. ආඩම්බරයකි. සිය අභිමානය නැවත ලෝකයාට සිහිකරදීමකි. එංගලන්තය පරාජය වීමත් සමඟම 1947 කණ්ඩායම නැවත එකතුවීම අප නැවතවතාවක් කියවිය යුත්තේ ද එබැවින්ය.

චැම්පියන්ස් ශූරතා ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය වීමත් සමඟම අවසන් මහා තරගයට මුලින්ම සුදුසුකම් ලැබූ පාකිස්තානය දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ ඉන්දියාව හා බංග්ලාදේශයත් දශක හතකට පමණ පෙර එක්ව එකාවන්ව පැවැති රටකි. අවසන් තරගයට ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තේය.

අධිරාජ්‍යවාදීන්ගේ බල තණ්හාවත්, දේශපාලනික බලලෝභයත් නිසා එදා එක් තනි රට ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යනුවෙන් රටවල් තුනක් ලෙස වෙන්ව ගොස් තනි තනියම නැඟී සිටින්නට විය. ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් දකුණු ආසියාවේ ව්‍යාප්ත වෙන්නේ ඉංග්‍රිසි අධිරාජ්‍යවාදියාගේ බලපෑමෙනි. එය ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද පොදු විය.

ලේ නොවැගිරුණද මහා අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1947 දී ඉන්දියාව නිදහස අත්පත් කරගත් නමුත් ඉංග්‍රීසින්ගේ මැදිහත් වීමෙන් මුස්ලිම් අතිබහුතරයක් වෙසෙන පාකිස්තානයත් - හින්දු අති බහුතරයක් වෙසෙන ඉන්දියාවත් රටවල් දෙකක් වශයෙන් බෙදී වෙන් විය.

ඉංග්‍රිසින්ගේ ඉන්දියාව එසේ නැතහොත් බ්‍රිතාන්‍යයේ ඉන්දියාව බ්‍රිටිෂ් ඉන්දියා වශයෙන් වෙන් කිරීමට ඉංග්‍රීසින් පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1947 අගෝස්තු 14, 15 දා වන විට ඉන්දියාව සහ පාකිස්තානය නිල වශයෙන්ම රටවල් දෙකක් ලෙස බෙදිවෙන් විය. කෙසේ නමුත් කාශ්මීර් අර්බූදය ලෙස තවමත් ඉන්දු පාකිස්තානුවන් දේශසීමා අර්බූදයකට මැදිවී සිටියි. ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ගේ මෙකී බෙදීම හේතුකර ගෙන තවත් රාජ්‍යයක් ඇතිවීමට හේතු සාධක පෙළ ගැසුණි.

ඉංග්‍රීසීන් ඉන්දියාව බෙදා වෙන් කිරීමේදී බෙංගාලය, නැගෙනහිර බෙංගාලය සහ බටහිර බෙංගාලය ලෙස වෙන් කිරීමට ද කටයුතු කළ අතර, නැගෙනහිර බෙංගාලය පසු කාලීන බංග්ලාදේශය වශයෙන් වෙනම නැගී සිටීමට සමත් විය. ඒ පාකිස්තාන් පාලනය නැගෙනහිර බෙංගාලය නොසලකා කටයුතු කරමින් ස්වාධීන බංග්ලාදේශයක් වෙනුවෙන් පෙරට ඒම නිසාය. ඒ අනුව 1971 දී බංග්ලාදේශය යනුවෙන් ස්වාධීන රටක් නිර්මාණය විය.

අද වන විට විශේෂයෙන් දකුණු ආසියානුවන්ගේ ජීවිත හා ක්‍රිකට් ක්‍රීඩාව දෙකක් නොව එකක් බවට පත්වෙමින් මෙකී ජනී ජනයා ජීවත් කරවන හුස්ම පොද බවටද පත්ව තිබේ. කොටින්ම දකුණු ආසියානු රටවල ජනයාගේ හදවත් සුවපත් කරන එකම ඖෂධය ක්‍රිකට් බව නොරහසකි.

ඉංග්‍රීසින් හොඳට හෝ නරකට ඉන්දියානු උප මහද්වීපයට දායාද කළා වූ ක්‍රිකට් ක්‍රීඩාව මේ ගෙවෙන මොහොතේ තමන්වද අභිබවා යනු ඇතැයි එදා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ ලද පරාජයත්, 1996 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වූයෙත්, මෙදා කාඩිෆ්හිදී පාකිස්තානුවන් වෙතින් සිහි එළවාගත නොහැකි වීමත් දෛවයේ සරදමක් දැයි ඉංග්‍රිසින් කල්පනා කරනු නියතය.

දශක කිහිපයකට පෙර එක්ව සිටි ජනතාවක් අද වෙන් වෙන්ව සිටියද, චැම්පියන්ස් නාමය තම සන්තකයේ රඳවා ගැනීමට පෙරමුණ ගැනීම ඉතිහාසය නැවත සිහිකරදීමකි.

 

 
 

Comments