හරි වහර | සිළුමිණ

හරි වහර

1. ගිණුම - මෙහි (මූර්ධජ) ‘ණු’ යෙදෙන සැටි සැලැකිල්ලට ගත යුතු ය. මෙය ‘ගණ’ (ගණනය කිරීමේ) ධාතුවෙන් ක්‍රියා මූලයට ‘භාවකාරකාර්ථයෙන් ‘උට්’ කෘදන්ත ප්‍රත්‍යයය එක්වීමෙන් නිපන් වදනෙකි. (ගණ + උම් = ගිණුම්) ගණනය කිරීම යන්න මෙහි වදන් අරුත වන නමුදු, වෙසෙසින් යෙදෙනුයේ මුදල් පිළිබඳ බැංකු කටයුතු ආදියෙහි දී, ඉංගිරිසියේ account යන්නෙහි අරුත දීම පිණිස යි. එහිදී බැංකු ගිණුම (bank account) ඈ ලෙසින් වෙසෙසා ද දක්වනු ලැබේ‍. දැන් දැන් වෙනත් විස්තර වාර්තා ආදිය ගැන කීමේ දී ද account යන්නෙහි අරුත දීම සඳහා සිංහලයෙන් ගිණුම යනු යොදන බව ‘ට්විටර් ගිණුම’ (twitter account) වැනි යෙදුම්වලින් පෙනී යෙයි. ඉංගිරිසි account යන්න එ බඳු තන්හි යෙදිය හැකි වුව ද රූඪි අර්ථයෙන් විනා වාච්‍යාර්ථයෙන් නම් සිංහලයේ ගිණුම යනු එ බඳු තන්හි යෙදීම නො ගැළැපේ.

2. ගිනි - ‘ගිනි’ යනු බොහෝ දෙන ‘ගිණි’ යි (මූර්ධජ) ‘ණි’ සහිත වැ වරදවා ලියති. මෙහිලා නම් ගුරු කුල භේදයෙන් හෝ (මූර්ධජ) ‘ණි’ යෙදීමට ඉඩක් නොවේ. ‘ගිනි’ යනු ඒකවචන ‘අ’ ප්‍රත්‍යය යෙදීමේ දී ‘ගින්න’ යැයි එහි ‘න්’ ශබ්දය ද්විත්ව වැ යෙදෙන හෙයින් ‘ණි’ යෙදීමට මෙහිලා කිසිදු හේතුවක් නො වේ.

‘ගිනි’ යන්නට අනුරූප වැ සංස්කෘතයෙහි ‘අග්නි’ යනු දු පාලියෙහි ‘අග්ගි’ යනු දු යෙදේ. එ හෙයින් මෙය සංස්කෘතයට වඩා සමීප වූවක් සේ සැලැකිය හැකි ය. පාලි ‘අග්ගි’ යනු හා වඩා සමීප වූ, ගිනි අරුත දෙන වෙනත් වදනකුදු වේ. එ නම් ‘අග’ යනු යි. ළැවග (ළැව් ගින්න), සොවග (සෝ ගින්න) වැනි තන්හි ඒ නිතර යෙදේ.

ගිනි යන්න එක් වීමෙන් නිපන් යෙදුම් බොහෝ ගණනාවක් සිංහලයෙහි වෙයි. ගිනි අඟුරු, ගිනි කන්ද, ගිනි කබල, ගිනි කූර, ගිනිගල, ගිනි පුපුර, ගිනි මැලය, ගිනි වතුර, ගිනි ගන්නවා. ගිනි තියනවා, ගිනි නිවනවා යනු ඉන් කිහිපයෙකි. මේ සියලු තන්හි (දන්තජ) ‘නි’ සහිතව ම ‘ගිනි’ යනු යෙදිය යුතු යි.

ඉතා ම පැරැණි වහරෙහි එක් තැනෙක (ම‍ුර්ධජ) ‘ණි’ සහිත වැ ‘ගිණි’ යනු යෙදී ඇත්තේ ය. ඒ ගණිකාව යන අරුතිනි.

3. ගිනි කනවා - ‘බොහෝ සෙයින් මුදල් අය කරනවා’ යන අරුත දීම සඳහා දිගු කලෙක පටන් වහරෙහි පවත්නා යෙදුමෙකි. මෙහි ‘ගිනි’ යනු අග්නිය නො ව එක්තරා මුදල් වෙසෙසක් දක්වන වදනෙකි. ඉංගිරිසි පාලන අවධියෙහි දී භාවිත වූ සිලිම් 21ක අගය ඇති කාසිය ගිනි (guinea) නමින් හැඳින්වෙයි.‍ එ බඳු කාසි බොහෝ සෙයින් අය කිරීම ‘ගිනි කෑම’ යනුවෙන් එකල සිට හැඳින්විණ. දැන් කවර හෝ මුදලක් වැඩිපුර අය කිරීම එයින් ගැනේ. මෙහි දු (දන්තජ) ‘නි’ යෙදීම නිවැරැදි ය.

4. ගිනි කුකුළා - මෙහි දු ‘ගිනි’ යනු යෙදෙනුයේ ‘අග්නි’ අර්ථයෙන් නො වේ. ඉංගිරිසියෙන් ‘guinea fowl’ යනුවෙන් හඳුන්වන කුකුළා සිංහලයෙන් මෙ නමින් හැඳින්වේ. මෙහි දු (මූර්ධජ) ‘ණි’ යෙදීමට හේතුවක් නොපෙනෙනුයෙන් (දන්තජ) ‘නි’ ම යෙදීම වඩා නිවැරැදි වේ.

5. ගිනිකොන - අට දිසාවෙන් එකක් හඳුන්වනු පිණිස යෙදේ‍. මෙහි දු ‘ගිනි’ යනු අග්නි අරුතින් යෙදෙනුයෙන් (මූර්ධජ) ‘ණි’ නොව (දන්තජ) ‘නි’ ම යෙදිය යුතු ය. එ මතු නො ව මෙහි කොන යන්නෙහි දු (දන්තජ) න යෙදිය යුතු ය. ප්‍රකෘතිය ‘කොන්’ යැ යි හල් වැ යෙදෙන බැවිනි. (‘කොන’ යටතේ එහි විස්තර දැක්විණි) ඒ අනුවැ ගිණිකොණ, ගිනිකොණ, ගිණිකොන යන වදන් තුනම වැරැදි ලෙස සැලැකිය යුතු වේ.

6. ගිනියම - මෙහි දු (දන්තජ) ‘නි’ ම යෙදිය යුතු වේ.

එද අග්නි අර්ථයෙන් ම ය. ‘ගිනි’ යන්න හා ‘තම’ එක් වීමෙන් ගිනියම නිපැදේ. (ගිනි + තම = ගිනියම) මෙහි ‘ත්’ වෙනුවට ‘ය්’ ආදේශ වෙතියි වියරණ ඇදුරෝ දක්වති.

Comments

ඉතා ප්‍රයෝජනවත් ලිපියක්. වචන වල උපත පිළිබඳ කතාකිරීම ඉතාම රසවත් විශයයක්. සාමාන්‍ය වහරේ යෙදෙන 'ගිනි විජ්ජුම්බරය' ' ගිනි කණ වැටෙනවා' වැනි යෙදුම්ද බහුළව යෙදෙන නිරුක්තිය බොහෝ දෙනා නොදන්නා යෙදුම් නේද?

පිටු