මතවාද හිස මත තබාගෙන සම්භාවනීය ලේඛකයන්ට ගැරහීම සුදුසු ද? | සිළුමිණ

මතවාද හිස මත තබාගෙන සම්භාවනීය ලේඛකයන්ට ගැරහීම සුදුසු ද?

දයාපාල ජයනෙත්ති මහතාට පිළිතුරක්

වැල්ලවත්තේදී වර්ෂ 1890 ජනවාරි මාසයේදී උපන් ඩබ්ල්යු. ඒ. සිල්වාත් එම වසරේම මැයි මාසයේ කොග්ගල, මලලගම උපන් මාර්ටින් වික්‍රමසිංහත් තම ගම්මාන ප්‍රදේශයේ එවකට පැවැති මිෂනාරි විදුහල්වල මූලික අධ්‍යාපනය ලබා පසු කලෙක ස්ව අධ්‍යාපනයෙන් සිය දැනුම වගාදිගා කරගත්තේ වූහ යැයි කිවහොත් එය වරදක් නොවේ. ඉන් ලද පන්නරය අනුව මේ දෙදෙනාට අගනුවරදී සිය දක්ෂතා මඟින් සිංහල සාහිත්‍ය බැබළවීමේ මාර්ගයට අවතීර්ණ වූහ. එකල ලංකාවේ විශ්වවිද්‍යාල ඇරැඹී නොතිබුණ ද ඔවුන් දෙදෙනා එසේ ලද අධ්‍යයනය විශ්වවිද්‍යාල කිහිපයකින් ද ලබා ගැනීමට බැරි තරමේ එකක් ද වුයේ යැයි කිව හැක්කේ එක් මඟක ගිය සිල්වා - වික්‍රමසිංහ දෙදෙනා විසින් පසු කලෙකදී ලියා පළ කරවන ලද ග්‍රන්ථ සංඛ්‍යාව දෙස බැලීමෙනි.

මුල් යුගයේදී තම තමන්ගේ හරි වැරැදි පිළිබඳව සාකච්ඡා මඟින් පාඩම් ඉගෙන ගෙන තව තවත් දැනුම්වත් වන්නට කටයුතු කළ සිල්වා, වික්‍රමසිංහ, කුමාරතුංග, ලැනරෝල්, ෙහ්මපාල මුනිදාස ආදීහු එසේ එදා සමඟි සන්ධානයෙන් බැඳී කටයුතු කළ නමුදු පසු කලෙක ඔවුන් අතරට වන් පේරාදෙණි විශ්වවිද්‍යාල කල්ලියේ පුද්ගලයන් නිසා සිදු වූයේ ඔවුන්ගේ අමුතු දර්ශනයට නතු වූ මාර්ටින් වික්‍රමසිංහයන්, සිල්වා, කුමාරතුංග, ලැනරෝල් ආදි ලේඛක පඬිවරුන් අතරින් ඩැහැගෙන අමුතු සංකල්පනා මඟක් මවා ගනිමින් කටයුතු කිරිම ය. පසු කලෙක රට පුරා වඩාත් ප්‍රචලිත වූ පේරාදෙණියේ අමුතු ගුරුකුලයත්, සරච්චන්ද්‍ර කල්ලියත් නිසා සමඟි සන්ධානයෙන් යුතුව නිවැරැදි මාවතක ගමන් ගනිමින් සිටි එකල පැවැති පුවත්පත්වල ලේඛනයේ හා ග්‍රන්ථ රචනාවෙහි යෙදුණු විද්වතුන් දෙකඩ කර, අමුතු ලෙසක ප්‍රයෝග සාහිත්‍යයක් බිහි කිරීමට පේරාදෙණි කල්ලිය කැස කැවූහ.

යුරෝපා ජාතින් තුන්ගොල්ලකගේ බලපෑමට යටත් වූ හෙයින් සංකර වී තිබු අපේ ජනසමාජ විඥානය යළි නියම මඟට යනු වස් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ මඟපෙන්වීම අනුව ඉදිරියට පැමිණ සිය ‘සිංහල ජාතිය’ සඟරාවෙන් හා පසුව මුලින්ම නව ප්‍රබන්ධ කලාවට ප්‍රවිෂ්ට වීමෙන් සිදුකළ මහ මෙහෙය මෙවන් වූ පේරාදෙණි ගුරුකුලයේ මහඇත්තන් පෙන්වා දුන්නේ - ඉගැන්වූයේ බොලඳ කටයුතු ලෙස ය. වසර දහස් ගණනක් තිස්සේ සිංහල බෞද්ධයන් වශයෙන් පන්සිය පණස් ජාතක කතාවලින් උපුටා ගත් ජන විඥාන දර්ශනය අනුව නව ප්‍රබන්ධ කළ එතුමා ඇතුළු පිරිස ‘අරාබි නිසොල්ලාසයේ’ පරිවර්තනය අනුව නව ප්‍රබන්ධ කළ ඇත්තන් වශයෙන් හඳුන්වා දෙන්නට ද ඔවුහු කටයුතු කළහ. එය ද ගහ දන්නා අයට කොළ කඩා පෙන්වීම වැනි ප්‍රලාපයක් ලෙස හැඳින්විය හැකිය.

මෙසේ මෑත යුගයේ නව ප්‍රබන්ධ කලාව - නවකතා කලාවේ වර්ධනයක් විනාශයක් පිළිබඳ ව මෑත යුගයේ විචාරකයන් ග්‍රන්ථකරණයෙහි යෙදුණේ ද එම පේරාදෙණිය කුලයේ අත‍ අල්ලාගෙන බව ද එම ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබෙන සත්‍යයකි. ස්වාධීන මඟක යමින් සිය බුද්ධිය පුළුල් කර ගැනීමේ වෑයමක යෙදෙමින් සිටි කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ සූරින් තම වසඟයට ගෙන සෙසු සියලු ම ලේඛකයන් - විද්වතුන් - පඬිවරුන් හෑල්ලු කර දැක්වීමේ මහා අපරාධයෙක යෙදීමෙන් අමුතු ලේඛන භාවිතයක් බිහි කළ පේරාදෙණි විශ්වවිද්‍යාල කල්ලිය විසින් සිදුකරන ලද්දේ, අපේ ඉතිහාසයේ ඕජෝ ගුණයෙන් හීන කර දමනු පිණිස කාලිංග මාඝ වැන්නන් මෙන්ම මෑත යුගයේ ටොරින්ටන් සාමි වැන්නන් විසින් ද සිදුකරන ලද අපරාධයට සමීප වන අන්දමේ මහාපරාධයකි.

මෙවන් විවරණයක් අපට ලියන්නට සිදුවූයේ අපගේ ද දිගුකාලයක පටන් හිතවත් ශාස්ත්‍රධරයකු වූ දයාපාල ජයනෙත්ති සූරින් විසින් ‘සිළුමිණ’ සත්මඬල වෙත ලියා තිබෙන ‘සිංහල නවකතාව සහ දේශීය සාහිත්‍ය සම්ප්‍රදාය’ නම් වූ ලිපිය කියවා එහි සමහර තැන් පිළිබඳ ව අප සිතේ මතු වූ කුහුල නිසා ම ය.

අටසිය ගණන්වල අගභාගයේ සිට නවසිය ගණන්වල මුල භාගය දක්වා අපේ රටේ ජාතික සාහිත්‍ය කලා ඉතිහාසය මැනැවින් සුපරීක්ෂාකාරීව බලන්නකුට දක්නට ලැබෙන එක් සත්‍යයක් නම් ඒ මුල් යුගවල පුවත්පත් කලාව හා ජාතික සාහිත්‍ය කලාව මනා ලෙස වූ හික්මීමකින් යුතුව වර්ධනය වෙමින් පැවැති බව ය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ අපේ හෙළ බොදුනු චින්තනයෙන් ශික්ෂණය ලත් විද්වතුන් සිය මෙහෙය ඉටු කරන්නට එය පූර්වාදර්ශයක් කොටගත් නිසා ය. එහෙත් විසිතිස් ගණන්වලින් පසුව නවසිය සතලිස් ගණන්වල ඉතිහාසය දක්වා සුපරීක්ෂාකාරිව බලන විට එසේ බෞද්ධ හැදියාවෙන් ද යුතු වූ මෑත යුගයේ බිහි වන බුද්ධිමතුන්ගේ මොළවලට ගොම දැමීමේ සූක්ෂ්ම අගතිගාමී ව්‍යාපාරයක පේරාදෙණියේ ගුරුකුල ඇත්තන් යෙදුණු බවට සාධක දැකගත හැකිය. වැඩිහිටියන් ගරු නොකරන, ආගම දහමට නැති සිංහල ජනතාවගේ සිත්හි රස විඥානය මතු කළ විවිධ විරිත්වලට අයත්, නාද රටාවන්ට අයත් කාව්‍ය සම්ප්‍රදාය පවා බැහැර කර ‘නිසදැස් කවි’ ‘නිදහස් කවි’ නම් වූ අමුතු, පුස් කාව්‍ය සම්ප්‍රදායයන් බිහි කිරීමෙන් සිංහල ජන සාහිත්‍ය රසිකයාගේ සිත් බොළඳ කරවන්නට ද ඔවුහු සමත් වූහ.

තම ලිපියෙන් ඈත ඉතිහාසයෙහි විසූ ප්‍රබුද්ධ පුරුෂයන්ගේ සාහිත්‍ය පිළිබඳ ව ද ඉන් අනතුරුව පේරාදෙණි සාහිත්‍ය කුලකය මඟින් තරුණ ලේඛකයන් නොමඟ ගිය බව ද ළාවට සඳහන් කරන දයාපාල ජයනෙත්ති සූරීහු නොයෙකුත් උපමා රූපක, කරුණු කාරණා මඟින් සිංහල සාහිත්‍ය සම්ප්‍රදායය පිළිබඳව කරුණු දක්වාලමින් අන්තිමේ ඒ සියල්ලම පසෙක තබා තමන්ගේ සම්භාව්‍යයට පත් මාර්ටින් වික්‍රමසිංහ මහා ලේඛකයාණන් හා එදිරිවීර සරච්චන්ද්‍රයන් හුවා දැක්වීමේ මහා කාර්යයක යෙදි සිටිති. එතුමන් විසින් දක්වන ලද ඒ සියල්ලම සැබෑව යැයි ද, එය එසේම වූ‍යේ යැයි ද දේව භාෂිතයක් මෙන් පිළිගත යුතු බව පෙන්වා දෙති. ඒ ගමන් ම පේරාදෙණි කුලකයේ ද මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ද නිර්දය විවේචනයට ලක්වූ සමකාලීන සාහිත්‍යධරයකු වූ ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාණන්ට ද ගල් පහරක් එල්ල කිරීමේ දීන පියවරක ද යෙදෙයි. එතරම් ම උගතකු නුවුවද දශක හයහමාරක් පමණ කාලයක් තිස්සේ සමකාලීන විද්වතුන් සමඟ ඇසුරු කර ලබන ලද ‘සාහිත්‍ය රසය මනාව විඳ ගැනීමේ’ භාග්‍යය ලත් කෙනකු ලෙස ජයනෙත්ති විද්වතාණන් විසින් ලියා ඇති ‘බටහිර ලේඛකයන්ගේ කෘතීන් අද බැතින් වැලඳ ගත් ඩබ්ලියු. ඒ. සිල්වාගේ කෘති හැරුණු විට මුල් යුගයේ සියලු නවකතාකරුවන්ගේ කෘති මෙරට අත්දැකීම් පදනම් කොටගත් ස්වාධීන රචකයාය’ යනුවෙන් දක්වා ඇත්තේ කවර තරමේ නියැදි මඟක් පදනම් කරගෙනදැයි විමසිය යුතුය. තමන්ගේ සම්භාවනයට පාත්‍රව වෙසෙන විද්වතාණන්ගේ සියලුම කෘතීන් ස්වනිර්මාණ බවටත්, ස්වතන්ත්‍ර හැඟීම් මල්පල ගැන්වීමක් බවටත් සිතාගෙන ඒවා දේව භාෂිතයක් ලෙසට ගණන් ගෙන එතුමා මේ ලිපිය ලියා ඇති බව පෙනේ.

තමන්ගේ ‘මවුන්ට්’ මුද්‍රණාලයෙන් සරච්චන්ද්‍රයන් තමා ඇතුළු තම අනුගාමිකයන් ලියූ පොත් ඉංග්‍රිසියෙන් විවරණයක් ඉහළට තැබූ ඉංග්‍රීසි ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත් කළ මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් ගත් ක්‍රියාමාර්ගය කෙතරම් නිවැරැදි යැයි එකල ම විවරණය කෙරුණේ ය.

මෙහිදී කිය යුතු තවත් ප්‍රධාන කාරණයක් ජයනෙත්ති සූරිනට මතක් කර දිය යුතුය. වික්‍රමසිංහ සූරින් සිය චරිතය හකුළුවා ලියූ ආත්මාවදාන ග්‍රන්ථය වූ ‘උපන්දා සිට’ පොත මුල මැද අග මුළුමනින්ම බොරු වැලක් බව ය. තවත් ඉහළට කැපී පෙනෙන ලෙස තමන් හා සමකාලීනව ඇසුරු කළ අනෙක් බුද්ධිමතුන්ට සූක්ෂ්මව පහර දෙන - අවඥාවට ලක්කරන ලද එයට පිළිතුරක් වශයෙන් විද්වත් සමකාලීන ලේඛකයකු වූ කේ. බී. සුගතදාස මහතා විසින් ලියා ඇම්. ඩී. ගුණසේන සහ සමාගම මඟින් පළ කරන ලද ‘උපන්දා සිට වික්‍රමය’ ග්‍රන්ථය යළිත් කරුණු බලන ලෙස එතුමාට ආරාධනා කරමි. අවාසනාවකට මෙන් එහි මුද්‍රණය වූයේ පළමු එක් මුද්‍රණයක් පමණකි. උපන්දා සිට පොතේ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද ‘අල්ලේ පැලවෙන බොරු’ සියල්ලක් ම එහි හෙළිකර ඇත්තේය.

ලේඛකයකු වශයෙන් තම හිතවත් සාහිත්‍යධරයකුට පුවත්පතක සේවයක් උදෙසා සහතිකයක් දෙන්නැයි වර්ෂ 1957 මුල භාගයේදී හේමපාල මුනිදාස මහතා ලිපියක් මඟින් මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ වන විට බී. ඒ. උපාධිය ද ලබා සිටි ගුරුවරයකු ද වූ ඇල්. ඇම්. ඒ. සිල්වා මහතාගෙන් ඒ ගැන විමසූ මාර්ටින් වික්‍රමසිංහ මහතා රුසියන්, ප්‍රංස, ඉංග්‍රිසි නවකතා ගණනාවක් ගැන සඳහන් කරමින් ඒවා කියවා ඇත්දැයි විමසා සිටියේය. සිල්වා මහතා එසේ යැයි කීවේය. තවත් ප්‍රශ්න ගණනාවකින් පසුව මාර්ටින් වික්‍රමසිංහ මහතා කියා සිටියා යැයි කියන්නේ ඔහුට සහතික ලිපියක් දීමට බැරි බව ය. මෙය සිල්වා මහතා හේමපාල මුනිදාස මහතා හමුවේ කියා සිටි අවස්ථාවේදී එතුමා කියා සිටියේ,

“කොණ්ඩය බැඳ සරමක් කමිසයක් ඇඳ මඩකලපුවේ කරවල කඩයක ලියනප්පුකම කළ පුද්ගලයකුට ස්ව අධ්‍යාපනය ලබලා පසුව ජාතියේ මහා ලේඛකයා වන්නට පුළුවන්නම් ඔබ වැනි ශාස්ත්‍රවරයකුට පුවත්පතක සේවයට තිබෙන නුසුදුසුකම කුමක් ද?” කියා විමසීය.

ඉන්පසු එතුමා කළේ ‘ස්තෝත්‍ර පූජාව’ නමින් කෙටිකතාවක් ලියා එය ‘සිළුමිණ’ පත්‍රයට යවා එහි පළ කරවීම ය.

ඒ කෙටිකතාව ද පසුව අධිනීතිඥයකු බවට පත්ව නීති විද්‍යාලයේ ද විභාග පරීක්ෂකයකු බවට ද පත්වූ ඇල්. ඇම්. ඒ. සිල්වා මහතා විසින් වර්ෂ 1959 දී ලියන ලද ‘විචාර විවරණය’ නමැති ග්‍රන්ථය ද කියවා බලන ලෙස මම ජයනෙත්ති මහතාට ආරාධනයක් කර සිටීමි. එසේම ‘ස්තෝත්‍ර පූජාව’ කෙටිකතාව පසුව ‘හේමපාල මුනිදාස අපදානයට’ ද ඇතුළත් විය.

තවත් එකක් කිව යුතුය. ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා සිය ‘දෛවයෝගය’ නම් වූ නවකතාව ලියුවේ ඓතිහාසික ප්‍රබන්ධයක් ලෙසට ය. එහි පර්වත විමානයත් සෙසු චරිතත් මැනැවින් ම වර්ණිත විය. ඉන් පසුව වසරේදී මාර්ටින් වික්‍රමසිංහ මහතා කළේ සිල්වා මහතාගේ ‘දෛවයෝගය’ අමු අමුවෙන් ම කොපි කර ‘ගම්පෙරළිය’ නම් නවකතාව දකුණේ ගම්මානයක ‘කයිසාරුවත්තේ මුහන්දිරම් වලව්ව’ මූලික කරගෙන නිර්මාණය කිරීම ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ශ්‍රේෂ්ඨතම නවකතාව වශයෙන් ද ගණන් ගැනෙන්නේ ‘ගම්පෙරළියයි’. එය පසුව තුන් ඈඳුතු නවකතාවකට ද මුල් විය; චිත්‍රපටයට ද ගැනිණ.

දෛවයේ සරදමකට මෙන් එයට මුල් නිර්මාණය වූ සිල්වා මහතාගේ ‘දෛවයෝගය’ ද චිත්‍රපටගත කෙරිණ. මෙය ඇතුළු මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ‘ගම්පෙරළිය’ නවකතාව අනුකරණයේ ප්‍රබන්ධ කළා යැයි ලියැවෙන්නේ ප්‍රථමවරට ද විය හැකි ය. මේ නවකතා දෙක සම කර බලත්වා!

ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාණන් ද මාර්ටින් වික්‍රමසිංහ මහතාණන් ද අතර සමබන්ධය අදින් වසර 92කට පෙර - වර්ෂ 1925 අප්‍රේල් 20 වැනිදා ලියා තැබු සිල්වා මහතාගේ දින පොතක පළ වූ සටහනකින් හෙළි කළ හැකි ය:

‘1925 අප්‍රේල් 20 වෙනිදා

ඇන්. ඇම්. ජිනදාස මහතාගෙන් පුරප්පාඩු වූ ‘දිනමිණ’ වැඩට මාර්ටින් වික්‍රමසිංහ මහතා පත්කිරීම වෙනුවෙන් මා වජිරඥාන නායක හාමුදුරුවන්ගෙන් ලියුමක් ලබාදීම.‘

(-කතා රජ කතාවේ 211 පිටුව)

මේ කරුණු අනුව බලන විට එතෙක් සමීප සම්බන්ධතාවෙන් කල් ගත කරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කළ සාහිත්‍යධරයන් කිහිප දෙනකු විරසක කරවමින් මහා සාහිත්‍ය අපරාධයක් සිදු කිරීම පිළිබඳව පේරාදෙණි සාහිත්‍ය කුලකය කරන ලද අපරාධය සුළුපටු නොවේ. ඒ පිළිබඳ තොරතුරු තව තවත් හෙළි විය යුතුය.

අදහස්