ගංවතුර හා නියඟය එක්වරම වැළැක්වීමට අපේ විද්‍යාඥයන්ගෙන් විසඳුම්

 මේ දිනවල රටේ වියළි කලාපයේ දිස්ත්‍රික්ක 11ක පමණ දරුණු නියඟයකි. පසුගිය දිනවල රටේ තෙත් කලාපයේ දිස්ත්‍රික්ක 7 - 8 ක අධික වැසි ගංවතුර හා නායයෑම් ඇති විය. මේ නිසා ලක්ෂ 19ක පමණ ජනතාවක් පීඩාවට පත් වූහ. ජන ජීවිත 215ක් පමණ අපට අහිමි වූ කෝටි ගණන් වටිනා චංචල නිශ්චල දේපොළ වගාබිම් අපට අහිමි වූ එකම කාලයේ ඇතිවූ මේ ව්‍යසන දෙකම වැළැක්වීමට සුදුසු දිගු කාලීන විසඳුම් සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමට අපේ විද්‍යාඥයෝ දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති.

මේ ගංවතුරට හා ජල හිඟයට කුමන කාලගුණික දේශගුණික රටාවන් හේතු වුවත් අපටම ක්‍රියාවට නැංවිය හැකි ජල කළමනාකරණ ව්‍යාපෘති මඟින් මේ ස්වාභාවික ආපදා ගැටලු ජයගත හැකි බව ඒ විද්‍යාඥයෝ අවධාරණය කරති.

මේ පිළිබඳව මුලින්ම අපට තිරසර විසඳුමක් ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක (කෘෂිකර්ම හා ජල කළමනාකරණ) ආචාර්ය පී. බී. ධර්මසේන මහතායි.

ආචාර්ය ධර්මසේන මහතා පවසන්නේ අපේ රටේ සියලු මහ ගංගාවලින් ඒවාට වැස්සෙන් හා උල්පත්වලින් ලැබෙන ජලයෙන් සියයට 43ක් මහ මුහුදට ගමන් කරන බවයි. ඒ අනුව වසරකදී එලෙස මෙරට ඇති ගංගා ද්‍රෝණි 103න් එන ජලයෙන් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා බසින ජල ප්‍රමාණය ඝන මීටර් බිලියන 56කි. එය ජාතික අපරාධයකි. පහළ නිම්නයේ ගංවතුරට ප්‍රධාන හේතුවකි.

ධර්මසේන මහතාට අනුව කැලණි ගඟට ලැබෙන ජලයෙන් කිසිම වැඩක් නොගෙන වසරක් ඇතුළත මහ මුහුදට යන ජල ප්‍රමාණය සියයට 77 කි. ඒ නිකම්ම නොවේ. මුළු කැලණි වැලි මිටියාවත ද යට කරමින් ජීවිත දේපොළවලට ද අලාභහානි කරමිනි. එලෙසම කළු ගඟට ලැබෙන ජල ප්‍රමාණයෙන් සියයට 62ක් ද කිසිම වැඩක් නොගෙන කළුතරින් මහ මුහුදට ගලා යන්නේ කළු ගඟ මිටියාවතට මහ ගංවතුර හා දේපොළ ජීවිත හානි ඇති කරමිනි. ඊට අමතරව වළවේ ග‍ඟේ මුළු ජලයෙන් සියයට 62ක්ද ගිං ග‍ඟේ ජලයෙන් සියයට 35ක්ද එසේ එම ගංගාවල පහළ නිම්නවලට අධික ගංවතුර ඇති කරමින් නිරපරාදේ මහ මුහුදට ගලා යන බව ධර්මසේන මහතා පෙන්වා දෙයි.

ආචාර්ය ධර්මසේන මහතා පවසන සුවිශේෂ කරුණ වන්නේ මේ ජලාශවල ඉහළ මහ ජලාශ ඉදිකර මේ මහ මුහුදට යන ජල ප්‍රමාණය එහි රඳවා ගැනීම මේ ගංවතුරට ලොකුම විසඳුම බවයි. මින් පහළට ගංවතුර නැති වන බවත් නියඟය ඇති ප්‍රදේශවලට ඒ ජලය වාරි ක්‍රම මඟින් යැවීමට හැකි බවත් වැඩපිළිවෙළ දීර්ඝකාලීන වුවත් නියඟයට හා ගංවතුරට තිරසර විසඳුමක් බවක් ධර්මසේන මහතා පෙන්වා දෙයි.

වසර 40කට අධික කාලයක් අපේ රටේ පස් හා ජල කළමනාකරණය වැව් පද්ධති හා කෘෂිකාර්මික රටා පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදුකර ඇති ධර්මසේන මහතා මෙහිදී තවත් ඉතා වැදගත් කරුණක් ද අවධාරණය කරයි.

මහා වැව් හා එල්ලංගා පද්ධති බහුලව සම්බන්ධ වී ඇති කලා ඔය, මල්වතු ඔය හා යාන් ඔය වැනි ගංගා ද්‍රෝණිවලින් ඉහත මහ ගංගාවලින් තරම් ජල ධාරිතාවක් මහ මුහුදට නොයන බව ඔහු පවසයි. ඒ අනුව කලා ඔය ඔස්සේ මහ මුහුදට ගලා යන්නේ එයට ලැබෙන ජලයෙන් සියයට 12ක් පමණි. කලා ඔය මඟින් එල්ලංගා පද්ධති, කලා වැව, බළලු වැව, රාජාංගණය වැව, දඹුලු වැවද පෝෂණය කරනු ලැබේ. ඊට අමතරව ජලය අඩු ඔයවලට ජලය ලබා දෙයි. ඒ නිසා මහ මුහුදට යන ජල ප්‍රමාණය අඩු වී ඇත. ඊට අමතරව මල්වතු ඔයෙන් ද මහ මුහුදට යන්නේ ඔයට ලැබෙන ජල ප්‍රමාණයෙන් සියයට 12%ක් පමණි.

මෙතරම් අඩු ජල ප්‍රමාණයක් මල්වතු ඔය ජලාශයෙන් මහ මුහුදට ගලා යන්නේ මාතලේ හා රිටිගල හරහා එන මල්වතු ඔය අනුරාධපුරය, නුවර වැව, මහකනදරාව හා අවට එල්ලංගා පද්ධති ද පෝෂණය කරමින් පහළට ගලා එන බැවිනි. ඊට අමතරව යාන් ඔය මඟින් ද මුහුදට ගලා යන්නේ ඊට ලැබෙන ජල ප්‍රමාණයෙන් සියයට 19ක් පමණි. යාන් ඔය එල්ලංගා පද්ධතිවලට සම්බන්ධ බැවිනි. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ අපේ ගංගා ද්‍රෝණිවල ඉහළ මහ ජලාශ හා එල්ලංගා පද්ධති තිබෙන විට පහළට එන ජල ප්‍රමාණය අඩුවන බවයි.

මේ කරුණු අනුව ආචාර්ය ධර්මසේන අවධාරණය කරන්නේ මේ කලා ඔය මල්වතු ඔය, යාන් ඔය වැනි ජල ද්‍රෝණිවල මෙන් කළු, කැලණි, මහවැලි, වලවේ ගිං හා නිල්වලා ගංගාවල ඉහළ ප්‍රදේශවල මහ ජලාශ ඇති කිරීමත් ඒ මඟින් මුහුදට ගලා එන ජලය අඩු කිරීමට ඒ ගංගාවලට එල්ලංගා පද්ධති, අලුත් වැව් හා යෝධ ඇළවල් සම්බන්ධ කිරීමත් කළ යුතු බවයි.

ඊට අමතරව මේ මඟින් ලැබෙන ලොකුම වාසිය මේ ඉහළ ඉදිකරන මහ ජලාශ මඟින් නියඟය ඇති ප්‍රදේශවලට ජලය ඇති තරම් පොම්ප කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව ලැබීමයි. ගංගා ද්‍රෝණිවල ඉහත්තාවේ මේ ජලාශ නිර්මාණය කළ විට පුත්තලම, අනුරාධපුරය, කුරුණෑගල, වවුනියාව වැනි ප්‍රදේශවලට මේ ජලය පහසුවෙන්ම නළ පද්ධති මඟින් ගුරුත්වාකර්ෂණ බලයෙන්ම පොම්ප කිරීමට හැකියාව ඇත.

මේ පිළිබඳව කරුණු දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ වියළි කලාපයේ අතීතයේ තිබුණු බව පවසන වැව් 35000 යළි හාරා ප්‍රතිසංස්කරණය කිරීමත් ඒ වැව්වලට සම්බන්ධ එල්ලංගා වැව් පද්ධති හා යෝධ ඇළවල් යළි ප්‍රතිසංස්කරණය කිරීමත් මඟින් වියළි කලාපයේ නියඟය හා ගංවතුර වැළැක්වීමට හැකි බවයි.

“අනුරපුරයේ ප්‍රධාන යෝධ ඇළක් තිබෙනවා. කිලෝමීටර 60 - 70 දිගයි. මේකට මමනම් කියන්නේ ඇළක් කියලා නෙමෙයි ලොකුම වැවක් කියලා. අනික් එක මේකේ තිබෙන්නේ එක ඉවුරයි. මේ විශාල යෝධ වැව හරියට ශුද්ධ කළොත් ගංවතුර ආවොත් ඒ ජලය ගලාගෙන ගොස් ජලය අඩු වැව්වලට ජලාශවලට එල්ලංගා පද්ධතිවලට ජලය ගමන් කරන විදියට තමයි ඒක හදලා තිබෙන්නෙ. දැන් ඒක ගොඩවෙලා ඒක ශුද්ධ කරන්නයි ඕන.

වියළි කලාපයේ තවත් යෝධ ඇළවල් ගොඩක් තිබුණා. ඒවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකු සිතියම්වල තිබෙනවා. ඒවායේ දැන් ගෙවල් හදලා කුඹුරු බවට පත්වෙලා. ඒ අනවසර ඉදිකිරීම් ඉවත් කරලා ඒ ඇළවල් ගැඹුරු කළොත් පිළිසකර කළොත් කවදාවත් වියළි කලාපයට ගංවතුරවත් ජල හිඟයක්වත් එන්නේ නැහැ. මහාචාර්ය අතුල සේනාරත්න අවධාරණය කරයි.

ඒ සමඟම තෙත් කලාපයේ ගංවතුර හා ජල හිඟය වැළැක්වීමට මුතුරාජවෙල අත්තිඩිය, ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රටේ තිබෙන ප්‍රධාන වගුරු බිම් ඇතුළත විශාල ගැඹුරු ජලාශ ඉදිකිරීම ඉතා උචිත බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. පසුගිය කාලයේ ඒ වැඩ පිළිවෙළ බස්නාහිර පළාතේ සාර්ථකව ක්‍රියාවට නැංවුණු බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඒ වැඩපිළිවෙළ අනුව කළු ගඟ ගලා බසින ප්‍රදේශ අවට හා කැලණි ගඟ ගලා බසින ප්‍රදේශ අසල ඇති වගුරු බිම් ආශ්‍රිතවද ක්‍රියාවට නැංවිය යුතු බව පවසයි. මේ සඳහා වගුරු බිම්වල අඩුම වනාන්තර ප්‍රමාණයක් ඇති ස්ථානවල හා අනවසර ඉදිකිරීම් ඉවත් කර ඒ ස්ථානවල විශාල ගැඹුරු ජලාශ ඉදිකිරීමට උචිත බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි.

මේ ඉහත කරුණු අනුව අපට පැවැසීමට හැක්කේ මේ දිනවල රටේ දිස්ත්‍රික්ක 18ක පවතින නියඟයට කලින් ඇතිවුණු ගංවතුර ආපදාවලට පමණක් නොව ඉදිරියට මෙවැනි ව්‍යසන අපේ රටට යළි ඇතිවීම වැළැක්වීමට මේ අපේ විද්‍යාඥයන්ගේ ඥානාන්විත සැලසුම් යෝජනා හා විසඳුම් ඉතාම සුදුසු බවයි.

නිහාල් පී. අබේසිංහ

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.