වග­කී­මෙන් වැඩ කළා­ නම් මල්ලී තාමත් ජීව­තුන් අතර | සිළුමිණ

වග­කී­මෙන් වැඩ කළා­ නම් මල්ලී තාමත් ජීව­තුන් අතර

දෛවය සෑම කෙනෙකුගේම ජිවිතවලට විටින් විට සරදම් කරන්නේය. නමුත් එය දරා ගැනීම කෙතරම් දුරට පුළුවන්කමක් තිබේද යන්න දන්නේ එයට මුහුණ පෑ ඔවුන්ම පමණි. පසුගියදා බදුරැලිය මාකෙළිය ඇල්ලට බිලිවූ වෛද්‍ය තමීර දිසානායකගේ නිවුන් සොහොයුරු වෛද්‍ය තාරක දිසානායක සහ ඔවුන්ගේ මවු පිය යුවළට දෛවය සරදම් කර ඇති ආකාරය විටෙක පවුලට සතුට දුක මෙන්ම රටටද කදුළක් එක් කොට තිබේ.

දිසානායක පවුලේ මව ගුරුවරියකි. පියා රජයේ නිලධාරියෙකි. එම පවුලට ශක්තියක් වන්නට මීට වසර විසි අටකට පෙර එක් වූයේ නිවුන් දරුවන්ය. එකම රූපශ්‍රීයෙන් උපන් මේ පුතුන් දෙදෙනාට සුන්දර ළමා වියක් නිරායාසයෙන්ම උරුම විය. එකම විදිහේ ඇඳුමින් දෙදෙනාම සරසා සපත්තු මේස් පලඳා එකම ලෙසට හැඩකරගත් දරු දෙදෙනාගේ සුරතල් බලා ඔවුන්සතුටු වූ වාර අනන්තය. එකම පාසලේ එකම පංතියේ එකාට එකා පරයා දස්කම් විස්කම් පෑ මේ නිවුන් දරුවන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව තිබෙනු දුටු මවු පිය දෙදෙනා එදා ඔවුන් දෙදෙනා ගැන දහසක් පැතුමන් පිරූහ. දරුවන් ඇතුළත් ද උසස් පාසලකටය. හොඳින් අධ්‍යාපනය ලැබූ දරු දෙදෙනාද ඉන් උපරිම පළ නෙළා ගත්හ. අපොස සාපෙළ විභාගය ඉතා ඉහළින් සමත් වූ ඔවුහු අපොස උසස් පෙළ විභාගයෙන් ද ඉහළින් සමත් වූහ. උසස් පෙළ විභාගයට දෙදෙනාම විද්‍යා විෂය ධාරාව තෝරා ගනිද්දී තම දරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වී රටට සේවයක් කරනු දැකීම මවුපියන්ගේ එකම සිහිනය වූවා නිසැකය.

ඔවුන්ගේ ජීවිත දෛවය විසින් පළමු වතාවට දුකට ඇද දමන්නේ මෙම වකවානුවේදිය. දරුවන් උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියදී මෑණියන් ජීවිතයෙන් සමුගන්නේ අනපේක්ෂිත අයුරිනි. මවගේ මරණින් දෙමසකට පසු ආ ප්‍රතිඵල අනුව පුතුන් දෙදෙනාම ඉතාම ඉහළින් සමත්ව වෛද්‍ය විද්‍යාලයට තේරී සිටින අයුරු දැක ඒ සතුට භුක්ති විදිමට මවට දෛවය ඉඩ නොදුන්නේය. සැම කෙනෙකුම හදවතින් වැලපෙමින් දිවි ගමන ගෙන යද්දී මවගේත් පියාගේත් යුතුකම් වගකීම් සමුදායට මුහුණ දීමට සිදු වූයේ පියාටය. දරුවන් දෙදෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරා වෛද්‍යවරුන් බවට පත්වෙද්දී නැවත ඔවුනට දෛවය හරස් වන්නේ කිසිවෙකු කිසිදා බලාපොරොත්තු නොවූ අයුරිනි.

මවු කුසයේ එකට සිටිමින් මෙලොවට බිහි වූ දා සිට අවුරුදු විසි අටක් තිස්සේ එකට කටයුතු කර ජයග්‍රහණයේ හිණි පෙත්තට නැඟි පසු එක් සොහොයුරකු දිය රකුසාට බිලිවී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නේ එම පුංචි පවුල දුක් සයුරේ ගිල්වමිනි. ඒ වන විට දෙදෙනාම වෛද්‍යවරුන්ය. කාගේත් හොඳ හිත දිනා සිටි මේ වෛද්‍ය නිවුන් සොහොයුරෝ නිතර කාටත් උදව් පදව් කරමින් කාගේත් හිත සුව පිණිස කටයුතු කළෝ වූහ. මේ දෙදෙනා අතරින් එක් අයකුගේ අකල් මරණය කාටත් ඉහිළිය ‍නොහැක්කක් විය.

රටක් වටිනා පුතකු අහිමිව දුකින් තැවෙන ඒ පවුලේ අය මුණ ගැසීමට අපි පසුගියදා මහනුවර වටපුලුව දේවි පාරේ පිහිටි ඔවුන්ගේ නිවෙසට අපි ගියෙමු. ඒ යද්දී මල් ශාලාවේ ඉතිරි බඩු මුට්ටු පුරවා ගත් වාහනය ගෙමිදුලෙන් හෙමින් සීරුවේ ඉදිරියට ඇදී ගියේ ජීවිතයක අවසානය මේ යැයි යන්න අපේ සිත්හි සලකුණු කරමිනි. හිමින් සිරුවේ අපි ගෙතුළට එබී බැලුවෙමු. දෑත් එක්කොට අප නිහතමානීව පිළිගත් වැඩිහිටියෙකු සහ කඩවසම් තරුණයා ආයාසයෙන් දුක දරා සිටිනු අපි දුටුවෙමු. ඔවුන් මේ පවුලේ සිටින පිය පුතු දෙදෙනාය. අපි පත්තරෙන් අපිට ටිකක් කතා කරන්ට පුළුවන්දැයි විමසූ විට හිස වනා කැමැත්ත පළ කළ ඔවුහු අප සමග කතා බහට එක් වූහ.

“ මට අදහා ගන්ට බෑ මේ දරුවට සිදු වුණ දේ. අපි මේ දරුවෝ දෙන්නා හැදුවේ ඇස් දෙක වගේ. මෙයාලා පොඩි කාලේ ඉඳලම හරිම යාළුයි. අපිට ඉන්නේ මේ දරුවෝ දෙන්නා විතරයි. මෙයාලගේ අම්මා එකම විදිහේ ඇඳුම් අන්දලා ලස්සන බලනවා. දෙන්නම එකවගේ. ඉගෙන ගන්ටත් එක වගේ දක්ෂයි. අපේ රැකියා කටයුතුත් එක්ක අපි කලක් නුවරඑළියේ සිටියා. මෙයාලා පොඩි කාලේ ඉස්කෝලේ ගියේ නුවරඑළියේ මිශ්‍ර පාසලකට. පහේ ශිෂ්‍යත්වයේ පටන් හැම විභාගයක්ම දෙන්නා ඉතා ඉහළින් සමත් වුණා.

අම්මා මිය ගියදා ඉඳලා පුතා සැම පෝයකටම සිල් ගත්තා. මේ දරුවට පුදුම උණු වෙන හිතක් තිබුණේ. නැති බැරි අයට පොත් පත් සපත්තු ඇදුම් පැළඳුම් එයාගේ මුදලින් අරන් දෙනවා. එයා තව මාස කිහිපයකින් විවාහ වෙන්ට හිටියේ. එයත් දන්ත වෛද්‍යවරියක්. ඒ දරුවත් ආගම දහමට පුදුම විදිහට ළැදියි. හැම වැඩකදීම පුතාලා දෙන්නා එකට හිටියේ. ඒත් දැන් එක්කෙනෙක් තනිකර අනෙක් එක්කෙනා ගියා.” යැයි වෛද්‍ය නිවුන් සොහොයුරන්ගේ පියා පැවසීය.

මාකෙළිය ඇල්ලට බිලිවී අකාලයේ දිවි අහිමිවූ වෛද්‍ය තමීරගේ සොහොයුරු වෛද්‍ය තාරක මේ අතරදී කටහඬ අවදි කළේය.

“ අම්මා නැතිවූ දා පටන් අපිට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියේ තාත්තා විතරයි. මල්ලියි මායි දෙන්නම 2008 අවුරුද්දේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. මල්ලි පේරාදෙණියේ මම කොළඹ විශ්ව විද්‍යාලයට. අපි දෙන්නාම වෛද්‍යවරුන් විදිහට කයයුතු කරද්දි තමා මේ සිද්ධියට මුහුණ දුන්නේ. මම කරාපිටියේ රෝහලේ සේවය කරනවා. මල්ලි කොළඹ ජාතික රෝහලෙත් වැඩකළා. සොයිසා රෝහලේත් වැඩ කළා. අපේ වෛද්‍ය වෘත්තියට දෙමළ භාෂාව ඉගෙන ගැනීමට තියෙනවා. මැයි මාසයේ 13 වැනිදා දෙමළ භාෂාව ඉගෙන ගැනීමට අගලවත්ත චාල්ටන් ෆීල්ඩ්හි ජාතික භාෂා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට මල්ලි ගියා. මටත් යන්ට තිබුණා. මම ගියේ නෑ. එයා මට යනවා කියලා ගියේ. 20 වැනිදා මෙම ආයතනයෙන් ගිය ක්ෂේත්‍ර චාරිකාවට අසූ පහක් සහභාගි වෙලා තියෙනවා.

මම ගාල්ලේ රෝහලේ සිටින විට දුරකතන ඇමතුමක් ආවා මල්ලි වතුරට වැටිලා අනතුරකට පත්වෙලා කියලා. මම ඒ වෙලේම ගියා. මම යන විට රාත්‍රී නවයට විතර ඇති. ඒ වෙද්දිත් මල්ලිගේ සිරුර හොයා ගෙන තිබු‍ණේ නෑ. ඒ සිද්ධිය වෙලා තිබුණේ සවස හතර හමාරට විතර. මේ ඇල්ල ගැන අවබෝධයක් තිබ්බා නම් මගේ මල්ලි මේ වගේ අවදානම් තැනකට කවදාවත් යන්නේ නැ. මල්ලි පොටෝ ගන්ට ගියා කියලා මාධ්‍ය කීවා. එහෙම දෙයක් වෙලා නෑ. එයා දිය ඇල්ල ළඟට යනවාත් එක්කම ලිස්සලා ගිහින්. එතැන පිහිනන්ට දන්න කවුරුත් ඉඳලා නෑ. නැත්නම් මල්ලි බේරා ගන්ටත් තිබුණා. මගේ මල්ලිගේ ජිවිතය දැන් ඉවරයි. මේ ස්ථානයේ හතළිහක් පමණ මේ වන විට බිලිගෙන තියෙනවා. මේවා ගැන එක්ක යන අයටවත් යන අයටවත් දැනුමක් නැ. මින් ඉදිරියටවත් මෙවැනි දේ නොවෙන්ට වග බලා ගැනීම කළ යුතුයි. අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ වගකීමක් ඇතිව කටයුතු කළා නම් මගේ මල්ලි අදටත් ඉන්නවා. රටට ලොකු සේවයක් කරන්ට පුළුවන් කෙනෙක්. ඒ සියල්ල දැන් නැතිවුණා.

මගේ මල්ලි වෛද්‍ය ලැයිස්තුවේ 1400න් 28 වැනියාට හිටියේ. එයා ඒ තරමට දක්ෂයි. එයා මේ සිද්ධිය වෙද්දී ඊළග විභාගයට සුදානමින් සිටියේ. මම මල්ලි අන්තිමට දැක්කේ 15 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අපේ ප්‍රතිඥා දෙන දවසේ. එයා මගේ ළඟමයි එදත් වාඩිවෙලා හිටියේ.

අපි දෙන්නගේ ජිවිත අපි සැලසුම් කරලා තිබුණේ. දැන් සියල්ල වෙනස් වුණා.”

වෛද්‍ය ශිෂ්‍යයන් අතරේ පිහිනන්ට පුළුවන් අය හිටියානම් මෙලෙස වටිනා ජිවිතයක් අහිමි නො‍වන බවත් මෙවැනි පිරිසක් රැගෙන යද්දී භාෂා ආයතනය පිහිනුම්කරුවකු රැගෙන යා යුතුව තිබූ බවත් තරුණ පිරිස් ඇල්ලේ නාන්න යද්දී මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් මතුගම හදිසි මරණ පරික්ෂක වරයා මරණ පරික්ෂණයේදි අවධාරනය කර තිබේ.

බදුරැලිය මාකෙළි ඇල්ල මේ වන විට හතළිස් දෙනෙකු පමණ බිලිගෙන ඇතැයි ප්‍රදේශ වාසිහූ පවසති. එබැවින් මේ වගකිව යුත්තන් මේ හතළිහ හතළිස් එකක් නොවන්නට වග බලා ගැනීම යුතුකමකි. 

Comments