මහ කන්නයේ අස්වැන්න අඩුවීම | සිළුමිණ

මහ කන්නයේ අස්වැන්න අඩුවීම

වෙළෙඳපොළේ සහල් මිල ක්‍රමයෙන් ඉහළ යමින්පවතී. අස්වනු නෙළීමත් සමඟ මිල පහළ යනු වෙනුවට ඉදිරියේදී සහල් මිල තව තවත් ඉහළ යා හැකි බවට ඉඟි පළ වී ඇත. මේ පිළිබඳ විවිධ පුවත්පත් වාර්තාවලද සඳහන් විය. මෙහිදී මතුවී තිබෙන ගැටලුව වශයෙන් පෙනෙන්නේ පසුගිය මහ කන්නයේදී වගා කිරීමට තරම් ප්‍රමාණවත් අහස් දිය (වැස්ස) නොලැබීමය.

තමන් සතුව මේ වනවිට ඇත්තේ, දින 20 කට ප්‍රමාණවත් සහල් තොගයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක, හේමක ප්‍රනාන්දු මහතා පැවසා සිටියේ පසුගිය මාර්තු 31 වැනිදායින් පසුව මෙරටට සහල් ආනයනය නොකළ බව ය.

අදාළ තත්ත්වය හමුවේ ඉදිරියේ වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළ අතර මේ වනවිට සහල් සඳහා රජය ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල ක්‍රියාත්මක වේ.

පසුගිය පෙබරවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම පාලන මිල යටතේ ආනයනික සහ දේශීය සහල් වර්ග සඳහා වෙන වෙනම පාලන මිලක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක් වේ. දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 78 කටද දේශීය සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 90 කටද අලෙවි කළ යුතුය. ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 කට අලෙවි කළ යුතු අතර ආනයනික නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 72 ක්. එහෙත් එම මිළ ගණන් යටතේ බොහෝ ප්‍රදේශවල සහල් අලෙවි නොවන බව පාරිභෝගිකයින් පවසයි.

දැනටමත් වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇතැයි මරඳගහමුල සහල් මෝල් හිමියන්ගේ සහ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා පැවසුවේ වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික් ටොන් 70 දහසත් 60 දහසත් අතර ප්‍රමාණයක් පවතින බව ය.

මේ අනුව පෙනී යන්නේ රටේ සහල් අර්බුදය තවමත් නිසි පරිදි විසඳී නැති බවය.

වෙළෙඳපොළේ සහල් මිල ක්‍රමයෙන් ඉහළ යමින්පවතී. අස්වනු නෙළීමත් සමඟ මිල පහළ යනු වෙනුවට ඉදිරියේදී සහල් මිල තව තවත් ඉහළ යා හැකි බවට ඉඟි පළ වී ඇත.

මේ පිළිබඳ විවිධ පුවත්පත් වාර්තාවලද සඳහන් විය. මෙහිදී මතුවී තිබෙන ගැටලුව වශයෙන් පෙනෙන්නේ පසුගිය මහ කන්නයේදී වගා කිරීමට තරම් ප්‍රමාණවත් අහස් දිය (වැස්ස) නොලැබීමය. මේ හේතුව නිසා මහා කන්නයේ සාමාන්‍ය වී අස්‌වැන්න වන මෙට්‍රික්‌ ටොන් මිලියන දෙකයි දශම පහක් පමණ වන වි අස්වැන්න 50% කින් අඩු විය හැකියැයි අනුමාන කෙරේ.

මේ පිළිබඳව රජය මගින් නිවැරදි දත්ත තවමත් ප්‍රකාශයට පත්කර නෙමැති අතර මේ පිළිබඳව තළ පුවත්පත් විමසීමකදී බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් මහ කන්නයේදී වගා කෙරෙන වී වගා බිම්වලින් තුනෙන් දෙකක ප්‍රමාණයක්‌ පමණක්‌ පසුගිය මහ කන්නයේදී වගා කළ නිසා නිසැකයෙන්ම මහ කන්නයේ වාර්ෂික අපේක්‍ෂිත අස්‌වැන්නෙන් මෙවර තුනෙන් එකක්‌ අපට අහිමි වන බවය. එනම් වී මෙට්‍රික්‌ ටොන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක අඩුවීමක්‌ අපේක්ෂා කළ හැකිය. එසේ වුවහොත් මහකන්නයේ අස්‌වැන්න වී මෙට්‍රික්‌ ටොන් මිලියන එකයි දශම පහකට ආසන්න අගයකට පැමිණේ.

මෙවර වෙළෙඳපොළට ලැබුණ වී සඳහා ඉතා හොඳ ආදායමක්‌ උපයාගත හැකිවිය. මාර්තු - අප්‍රේල් මාසවලදී දක්නට ලැබුණ වී ගැණුම්කරුවන් අතර තරගය නිසා මහා පරිමාණ මෝල් හිමියන් බොහෝමයක් දෙනා වී කැපෙන දිනම කුඹුරටම තරාදි හා ලොරි රථ රැගෙන ගොස්‌ වී කිරණ අයුරු මඟුල්පොකුණ, සිංහපුර, අරලගංවිල, දෙහිඅත්තකණ්‌ඩිය, පුලස්‌තිපුර, කඳුරුවෙල, සෝමාවතිය, සුංගාවිල, වැලිකන්ද ආදී ප්‍රදේශවලදී දැකගැනීමට හැකිවිය.

ගොවියන් කීවේ සම්බා කිලෝවක්‌ සඳහා රුපියල් 42-43 ක්‌ වැනි මිලක්‌ හා නාඩු කිලෝවක්‌ සඳහා රු. 43-45 අතර මිලක්‌ තමන්ට ලැබුණු බවය.

පසුගිය වගා කාලය පුරා තමන් ලබාගත් ඉහළම හා හොඳම වී මිල මෙය බවද ඔවුහු අප සමඟ පැවසූහ. තමන් බිත්තර වී සඳහා මෙන්ම කෑමට තියාගන්නා වීවලටත් ඉහළ ඉල්ලුමක්‌ පවතින බවද මෙහිදී ගොවියෝ පැවසූහ.

වී මිල හොඳ නිසා ඇතැම් ගොවියෝ කෑමට පමණක්‌ වී තියාගෙන බිත්තර වීවලට තියාගත් පංගුවද විකුණා දමා ඇත. එනිසා ඉදිරි කාලයේදී හොඳ බිත්තර වී ලබා ගැනීමේ මහත් දුෂ්කරතාවකට ගොවියන් මුහුණදියහැකි බවද පැවසේ.

ඇතැම් ප්‍රදේශවල ගොවියෝ තම පාරිභෝජනය සඳාවත් වී තබා නොගෙන විකුණා ඇති නිසා එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය සහාල් වෙළෙඳ පළෙන් මිලදී ගන්නා තත්ත්වයට පත්ව ඇත.

කෙසේ නමුත් පසුගිය කාලය වන විට දළවශයෙන් මෙට්‍රික්ටොන් 76000ක පමණ රැඳී තිබුණු සංචිතය මේ වන විට මෙට්‍රික්ටොන් 50000 සක්වා අඩු වී ඇති බව වී අළෙවි මණ්ඩලයේ සභාපති එම් බී දිසානායක මහතා පවසීය.

වී අළෙවි මණ්ඩලය හරහා සතොස ට දෛනිකව සහල් ලබාදෙන බවත් ඒමහතා අප සමග පවසා සිටියේය.

කෙසේ නමුත් ඉදිරියේදී ඇති විය හැකි සහල් හිඟය පියවීම සඳහා කඩිනමින් සහල් අපනයනය කළ යුතුව ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටිති.

රසික කොටුදුරගේ 

Comments