හරියට පරිසරය රැක්කොත් ස්වාභාවික ව්‍යසන අවම කළ හැකියි | සිළුමිණ

හරියට පරිසරය රැක්කොත් ස්වාභාවික ව්‍යසන අවම කළ හැකියි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි

* සිලි සිලි බෑග් එකක් දෙවරක් පාවිච්චි කළොත් දවසකට සිලිසිලි බෑග් ලක්ෂ හත හමාරක් පරිසරයට මුදා හැරීම නවතිනවා
* තුනී පොලිතින් තහනම දැඩිව ක්‍රියාත්මක කරනවා
* 2020 දී පරිසර නියමු භටයෝ ලක්ෂයක් බිහි වෙති

පසුගිය දිනවල අපේ රටේ සිදුවූ පාරිසරික ව්‍යසන බොහොමයක් පරිසරය නිවැරැදිව සුරැකීම මගින් අවම කර ගැනීමට අවස්ථාව තිබුණු බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

ගංවතුර, නාය යෑම්, නියඟය, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම, වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිලි කඩා වැටීම පසුගිය දිනවල ප්‍රධාන පාරිසරික ව්‍යසන ලෙස අපට අත්දකින්නට සිදුවූ බව පෙන්වාදෙන සභාපතිවරයා පරිසරය පිළිබඳව නිවැරැදි සංරක්ෂණ ක්‍රම හා දැනුම්වත් කිරීම මගින් මේ පාරිසරික ව්‍යසන සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමට හැකි බවත් පැවසීය.

ජගත් පරිසර දිනය ජූනි 5 වැනිදාට යෙදී ‍තිබෙනවා. එදාට අපේ රටේ සිදුවෙන කටයුතු පිළිබඳව මුලින්ම පැවසුවොත්?

මෙවර ජගත් පරිසර දින ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊට කලින් මැයි 28 සිට ජූනි 4 දක්වා ජාතික පරිසර සතියක් අපේ ර‍ෙට් පවත්වනවා.‍ රජය අනුමත කරගත් ඇමැති මණ්ඩල තීරණයක් අනුව ඒකට පාරිසරික හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයත් අ‍න් සියලු අමාත්‍යාංශයත් උදව් දෙනවා‍.

ඒ යටතේ මැයි 29 වැනිදා සිට දින 7 විවිධ විෂයයන් යටතේ පාරිසරික සංරක්ෂණ ක්‍රියාකාරකම් සිදු කරනවා.

මෙවර පරිසර දිනයේ තේමාව ‘සොබාදහම හා බැදුණු ජනතාවක්’ යන්නයි. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ජාතික පරිසර සතිය ඇතුළත මෙරට පරිසර සංරක්ෂණයට විශාල වැඩ කොටසක් ඉටු කරනු ලබනවා.

ජාතික පාරිසරික සතියේ ප්‍රථම දිනය වූ මැයි 29 වන දින මධ්‍යම පරිසර අධිකාරිය පාසල් හා පරිසර නියමු තම කණ්ඩායම් එක් වී දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනවා.

කෙසේ වුවත් වසර පුරාම අපි පරිසර සංරක්ෂණයට යොමු වෙනවා. අපි මෙවර පරිසර සතිය ආරම්භක දිනයේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් මිරිස්වත්ත ජාතික පාසල, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලය, කඹුරාවල මහා විද්‍යාලය, පාන්තිය මහා විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වැනි ‍විද්‍යාලවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.‍ ඒ සමඟම පාසල් 10 කට කසළ බඳුන් ලබාදීමත් සිදු කරනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීමට දැනුම්වත් කිරීමත් අපි 29 වැනිදා සිදු කරනවා. පාලින්ද නුවර මොරපිටිය මහ විද්‍යාලීය පුස්තකාලයට පරිසරය සම්බන්ධ පොත් පත් පරිත්‍යාග කිරීමට මේ යටතේ මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

මෙවර පරිසර සතියේ අපේ පරිසර නියමු භටයන්ගෙන් සිදු කෙරෙන කාර්ය භාරය පිළිබඳව සඳහන් කළොත්?

පරිසර නියමු භටයන් මේ කටයුත්තේදී විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒ අය අප පුහුණු කරන්නේ පරිසර සංවේදී දරුවන් ලෙසයි. ඒ අනුව දැනුම්වත් කිරීම හා නිවසේ කසළ ජනනය අඩු කිරීමට මේ අයගෙන් වන මෙහෙය අතිවිශාලයි.

දැන් අපේ මේ පාසල් 3000 ක පරිසර නියමු භටයන් 40000 කර අධික ගණනක් ඉන්නවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ළඟදීම රටේ පාසල් 4000 ක පරිසර නියමු භට කණ්ඩායම් ඇති කරනවා. ඒකේ අවසන් බලාපොරොත්තුව අපේ රටේ පරිසර නියමු භටයන් ලක්ෂයක් බිහි කිරීමයි. ඒ සමඟම 2020 වනවිට අපේ රටේ සෑම පාසලකම පරිසර නියමු භට කණ්ඩායම් බිහි කරනවා.

ඒ අයට පරිසරය සුරැකීම සතා සිවුපාවා සුරැකීම පිළිබඳව විද්වත් තාක්ෂණික දැනුම්වත් කිරීමටත් අපි පියවර අරන් තිබෙනවා. ජනාධිපති පදක්කම ලැබූ නියමු භටයන්ට සරසවි පිවිසුමේදී අතිරේක ලක්ෂ 4 ක් ලබාදීමත් කරනවා.

කසළ ගැටලුව පසුගිය කාලයේ ලොකු ම පරිසර ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ කුණු කසළ ගැටලුවට මධ්‍යම පරිසර අධිකාරිය ගෙන ඇති පියවර කුමක්ද?

මෙවර පරිසර සතියේ කසළ කළමනාකරණ දිනය යෙදී තිබෙන මැයි 31 වැනිදා කටයුතු රාශියක් ඉටු කරනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන විද්යුත් අපද්‍රව්‍ය එකතු කිරීම අපි 31 වැනිදා ආරම්භ කරනවා. පසුගිය වසරේ මෙවැනි වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව සිදු කරනවා. පෞද්ගලික අංශයේ සහාය මේ සඳහා යොදා ගන්නවා.

පළාත් පාලන ආයතන විසින් අක්‍රමවත් ලෙස බැහැර කරන අපද්‍රව්‍ය අපේ රටේ විවිධ ස්ථානවල තිබෙනවා. ඒ ස්ථාන 31 වැනිදා දවස පුරා පරීක්ෂා කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒවා සඳහා කෙටිකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව අපි උපදෙස් හා මග පෙන්වීම සිදු කරනවා. අප මෙහිදී එම අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවල පවතින පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ගැටලු පිළිබඳව අවධානය යොමු කරනවා.

කසළ කඳුවලින් ජනනය වන ද්‍රව්‍ය පිළිබඳව හා ඒවා විධිමත්ව පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒ ආයතනවලට උදව් කරනවා.

ඒ සමඟම සරල තාක්ෂණ ක්‍රම මගින් කසළ බැහැර කිරීමට අපි පළාත්පාලන ආයතනවලට තාක්ෂණය ලබාදෙනවා. ඒ අනුව පළාත්පාලන ආයතනවලට කොම්පෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය කොම්පෝස්ට් නිෂ්පාදන ආයතන අපි ලබාදෙන්න සූදානම්.

මධ්‍යම පරිසර අධිකාරිය පළාත් පාලන ආයතන හා පොදු ආයතනවල කසළ කළමනාකරණය පිළිබඳව වැඩමුළු 130 ක් පමණ පවත්වා පුහුණුව දුන්නා. ඒ ආයතනවලින් වැඩි ප්‍රමාණයක් කොම්පෝස්ට් නිපැයුම් කටයුතු කරගෙන යනවා. ඒ අයට අපි කොම්පෝස්ට් අංගණ ලබා දුන්නා. පුහුණුව තාක්ෂණය ලබාදුන්නා. ඉදිරියටත් ඒ කටයුතු සිදුවෙනවා. ඒ සඳහා රජයෙන් මිලියන 180 ක් ලබාදුන්නා.

කසළ කළමනාකරණයට ඔය විසඳුම සෑහෙනවාද? අලුත් නව තාක්ෂණික විසඳුම් නැද්ද?

කසළ කළමනාකරණය තවත් විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපේ රටේ ප්‍රධාන ස්ථාන හතරක ආවරණය වන විධියට සනීපාරක්ෂක කසළ රඳවන ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ඇත්තේ එක් සනීපාරක්ෂක කසළ රඳවනයක් පමණයි. ඒ දොම්පේ ප්‍රදේශයේයි.

අලුත් වැඩපිළිවෙළ යටතේ කොරියා රජය ලබාදෙන සහන ණය යටතේ මෙම සනීපාරක්ෂක කසළ රඳවන හතර ඉදිකරන්න අපේක්ෂා කරනවා. ඒ අනුව යාපනයේ කීරමලේ, අනුරාධපුරය කිරන්කුලම, හිඟුරක්ගොඩ හා ගාල්ල යන ප්‍රදේශවල සනීපාරක්ෂක කසළ රඳවන හතර ඉදිකරන්නයි අපේක්ෂාව...

මධ්‍යම පරිසර අධිකාරිය කළ යුතු තවත් කටයුත්තක් නේද කසළ ජනනය අවම කිරීම? ඒකට වැඩපිළිවෙළක් නැද්ද?

ඔබ හරි. අපි ඒ කටයුත්තට අත ගහලයි ඉන්නේ. ඒ අපි මේ කොච්චර වැඩසටහන් ක්‍රියාවට නැංවුවත් මේ වැඩසටහන්වල දී අපි නිතරම කටයුතු කරන්නේ අවසාන ප්‍රතිඵලය පිළිබඳවයි. නමුත් අපි අපේ නිවසේ හා කාර්යාලවල කසළ ජනනය අඩු කිරීමට අවධානය යොමු කරනවා අඩුයි.

කසළ අවම කිරීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අනුව අපි කසළ අවම කිරීම නැවත නැවත පාවිච්චිය ද ප්‍රතිචක්‍රීකරණය යන ක්‍රියාවලි (3R) අපි ක්‍රියාවට නංවා තිබෙනවා.

මේ අනුව කසළ ලෙස එකතු වන බොහෝ දේ නැවත නැවත යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. සිලි සිලි මළු ඒ අතර ප්‍රධානයි. අලුත් සංඛ්‍යාලේඛන අනුව දිනකට ෂොපින් බෑග් ලක්ෂ 15 ක් පාවිච්චි වෙනවා. ඒ අනුව එක් සිලි සිලි මල්ලක් එක් අයකු දෙවරක් පාවිච්චි කළොත් දිනකට සිලි සිලි මලු ලක්ෂ 7.5 ක් අපේ පරිසරයට එක්වීම වළක්වන්න පුළුවන්.

කසළ කඳුවල එක් වී ඇති ද්‍රව්‍යවලින් සියයට 40 ක් ම මේ සිලි සිලි බෑග් හා නොදිරන ප්ලාස්ටික් වර්ගයි. ඒ අනුව හැකිතාක් නැවත නැවත ‍ෙම්වා පාවිච්චි කළ යුතුයි. අවම කිරීමත් මෙහිදී කළයුතුයි. සුපිරි වෙළෙඳ සංකීර්ණවලදී සිලි සිලි බෑග් වැඩිපුර දෙනවා. ඒවා ප්‍රතික්ෂේප කිරීම අපේ වගකීමක්.

ඇයි මෙහිදී කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වැඩ අවධානයක් නොදක්වන්නේ?

ප්‍රතිචක්‍රීකරණය යනු තාක්ෂණික ක්‍රියාවලියක්. නමුත් ඒ සඳහා අපි හැම දෙනාම යොමු කළ යුතු අවස්ථාවක් බවට පත්වෙලා‍.

අපේ රටේ මේ ක්‍රියාවලිය පිළිබඳ උනන්දුව මදි. ගෙදර එකතු වන පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු ආදිය ‍වෙන වෙන ම එකතු කර පළාත්පාලන ආයතනවලට හෝ ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට ලබාදෙන්නේ නම් එය හැමටත් රටටත් සෙතකි.

අපේ අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ගෙදරදීම වෙන් කර බාරදීම කළයුතු වැඩක්. ජනාධිපතිතුමාගේ දිළිඳුකම පිටුදැකීම වැඩසටහන යටතේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවල තෝරාගත් දුප්පත් පවුල්වල අයට ආදායම් මාර්ගයක් ලෙස ගමේ නගරයේ එකතුවන ප්‍රතිචක්‍රීකර්ණය කරන ද්‍රව්‍ය ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දවස්වල මීතොටමුල්ල කුණු කසළ පිපිරුණා. ගිය සතියේ වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක් කඩා වැටුණා. මාස 10 – 12 ක් නියඟයක් ඇතිවුණා. දැන් ගංවතුර තත්ත්ව ඇතිවෙලා. මේවා සේරම පරිසරය සම්බන්ධ ස්වාභාවික ව්‍යසන. ‍ෙම්වා අවම කිරීමට කළයුත්තේ කුමක්ද?

අපි හරියට පරිසරය රකිනවා නම් අපිට පාරිසරික ව්‍යසන වෙන්නේ අඩු වෙන්. නමුත් අපිට පරිසරය සුරැකීම පිළිබඳව මතක් වෙන්නේ ලොකු විපතක් වුණාට පස්සේ. නායයෑම් කුණු කඳු කඩා වැටීම් තට්ටු ගොඩනැගිලි කඩා වැටීම් වළක්වා ගැනීමට ඒවා සම්බන්ධ මානව ක්‍රියාකාරකම් අඩාළ හේතු වෙලා තිබෙනවා. සල්ලි උපැයීමට මුදල් හම්බු කිරීමට පරිසරයට මොනවා වුණත් කුමක් ද කියල කටයුතු කළොත් ප්‍රතිවිපාක දෙන්නේ ඩබල් වෙලා. ඇළවල් ළඟ ගංගා ළඟ තට්ටු ගොඩනැගිලි හදන කොට ඇළවල් ළඟ කුණු කඳු ගහන කොට මහ කඳු එළි කරන කොට ඉදිරි විපාක පිළිබඳව සිතිය යුතුය. හැම දෙයක්ම කළ යුත්තේ පරිසර විද්‍යානුකූලවයි. පරිසරය සුරැකෙන පරිදි ඔබ පරිසරය රකී නම් අනිවාර්යයෙන් ම පරිසරය ද ඔබවද රකිනු ඇති.

Comments