කුරුල්ලා මිනිසුන් දැක්කා...මිනිස්සු නොදැක්කා වගේ හිටියා | සිළුමිණ

කුරුල්ලා මිනිසුන් දැක්කා...මිනිස්සු නොදැක්කා වගේ හිටියා

 (‘කුරුල්ලෙක් පියාඹන්න පටන් ගත්තා... වසර තිහකට පස්සේ’ යන මැයෙන් මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළ විණි.)

කුරුල්ලා මහ පො‍ෙළ­ාවට බැහැලා හැම මනුස්සයෙකුගේ ම මුහුණු දිහා එබිලා බලන්න පටන් ගත්තා. හැම මුහුණක් ම එක ම වගේ වුණාට වෙනස් වෙනස් කතා ඒ මුහුණුවල ලියවිලා තිබුණා. ඒ හැම කෙනෙකුට ම ආශාවන් තිබුණා, ඒ හැම කෙනෙක් ම කැමති දේවලුත්, අකමැති දේවලුත් තිබුණා. සමහරුන්ට අකමැත්තෙන් උනත් තමන් අකමැති දේවලට එකඟ වෙන්න සිද්ධවෙලා තිබුණා.

මානව ශිෂ්ටාචාරය පුරා එකතු කර ගත් දෑ මුහුණුවල ලියවිලා. සංස්කෘතිකගත වී මේ සටහන් ඒ තුළ තිබුණා. මහ පොළාවෙ ජීවත් වෙන හැම මනුස්සයෙකුට ම මුහුණක් තිබුණා. නාසයක්, කටක්, කන් දෙකක්, කම්මුල් . මේ හැම දෙයක්ම හැම මිනිස් මුහුණකම තිබුණා. හැබැයි හරිම වෙනස් විදිහකට. ඉර එළිය නිසා වෙනස් වුණු මිනිස්සුන්ගේ මුහුණුවල කවදාවත් ම නොකියපු කතන්දර වෙනස් පාටවලින් ඇඳිලා තිබුණා.

සිංහල, දෙමළ, හින්දු, බර්ගර්, මුස්ලිම් මේ හැම මනුස්සයෙකුගේ ම මුහුණේ තිබුණේ හැඟීම් භාෂාව විතරයි. ඒ හැම මනුස්සයෙක්ම නමින් විතරයි වෙනස් වුණේ. හිනාවෙන වෙලාවක, අඬන වෙලාවක, කේන්තියෙන් ඉන්න වෙලාවක,ආදරය දැනෙන වෙලාවක, බය වෙච්ච වෙලාවක, වේදනාව දැනෙන වෙලාවක, වෙනස් වෙනස් තලවලින් වුවත් සෑම මිනිසෙකුටම දැනුනේ හැඟීමක්. මුහුණේ භාෂාවේ අකුරු වුණේ හැඟීම්. සතුට, දුක, වේදනාව, බිය, වෛරය, පිළිකුළ, ආදරය, දයාව , කරුණාව , අනුකම්පාව, විශ්මය, උපහාසය, හාස්‍යය, මේ සියල්ල මුහුණේ භාෂාව තුළින් ප්‍රකාශ වුණා.

කළු පාට ෆර්දාව ඇඳලා ඇස් විතරක් පේන ෆාතිමාගේ මූ‍ෙණත්, කළු පාටින් ඇස් පාට කරලා, නහයට කරාබුවක් දාලා, ඇඳගෙන ඉන්න සාරියෙන් ම ඔලුව වහගෙන බලා ඉන්න පරමේශ්වරීගේ මුහුණෙත් තැල්ල තියලා, ඔලුවේ ඉරත්, හඳත් ගහපු, මනමාලිගේ මුණෙත්, ගැහැණු හදවතේ භාෂාවෙන් ඉතිහාසයක් ලියවිලා තියෙනවා කුරුල්ලා දැක්කා.

ඒ මුහුණු දිහා බලාගෙන කුරුල්ලා ඉදිරියට පියාඹා මහ මුහුද දෙසට ඉගිල්ලිලා ගියා. මුහුදේ කොනක මනෝරාණි සරවනමුත්තු තමන්ගේ පුතා ආපසු එනකං බලා ඉන්නවා. ඒ පිටි පස්සෙ දෙනෝ දාහක් අම්මාවරු පෝළි‍මේ හිටගෙන හිටියා. ඒ හැම කෙනෙක්ගේ ම අත්වල පුතාගේ හරි, දුවගේ හරි, ස්වාමියගේ හරි මූණු රාමු කරපු පින්තූරයක් තිබුණා. ඒ මූණූ පපුවට හේත්තු කරගෙන දුක කිය කියා අඬනවා. කුරුල්ලට තටු ගහන්න අමතක වෙලා. ඔහේ පාවෙන්න පටන් ගත්තා.

කුරුල්ලට මහන්සියට නින්ද ගිහිල්ලා. කුරුල්ලා පාවෙලා පාවෙලා මේ භූමියෙන් ඈතට ගියා. කුරුල්ලා ඇස් අරිත් ම වෙනම රටක් දැක්කා. ඒ රටේත් යුදෙව්වන්ගේ මූණු. සිය දහස් ගණනක් බිත්තිවල එල්ලල තිබුණා. ඒ හැම රූපයකම බිය, සැක, වේදනාව , ජිවිතය ඉල්ලලා කෑ ගහන හඬක් සටහන් වෙලා තිබුණා. කුරුල්ලට කෑ ගැසුණා. කුරුල්ලා හයියෙන් පියෑඹුවා. පියාඹා ගෙන පියාඹා ගෙන ඉහළ අහසටම ගියා. පියාඹන අතර කුරුල්ලා දැක්කා වියට්නාම් කෞතුකාගාරයක යුද්ධයෙන් මිය ගිය මිනිසුන්ගේ හිස් කබල් ගොඩගහලා. මුහුණ වෙනුවට හිස් කබල්. කුරුල්ලා වේගයෙන් අත්තටු ගැහුවා. කුරුල්ලා බිමට වැටුණා.

කුරුල්ලගේ ඇගේ හැප්පුණා රෝද පුටුවලින් ඇවිදගෙන යන ආබාධිත සොල්දාදුවන්. කුරුල්ල බැලුවා ඔවුන්ගෙ මුහුණු දිහා. ඒ මිනිස් මුහුණු මත ඇස්, කන්, නාස, තොල් තිබු බවට සටහනක් පමණක් ම ඉතිරි වෙලා. හැමදේම පැටලිලා. කුරුල්ලට ඉකි ගැසුණා. හැමදේම විකෘති වෙලා. කුරුල්ලටත් බය දැනෙන්න පටන් ගත්තා. කුරුල්ලා තටු වේගයෙන් ගහලා ආයෙත් සැරයක් අහසට පියාඹලා මුහුද හරහා පියෑඹුවා.

කුරුල්ලා මහ පො‍ෙළ­ාවට බැහැලා මිනිස්සු අතරින් ඇවිදින්න පටන් ගත්තා. මිනිස්සු එකතු වෙලා මුහුණේ, ඇස් යට හැංගුණු කතා මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න පටන් අරන්. බෝඩ් ලෑලි අතට අරගෙන මහ හඬින් මිනිස්සු කතා කරන හඬ කුරුල්ලට ඇහුණා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇත්ත හෙළි කරන තුරු, යුත්තිය ඉටු කරන තුරු, වංචාව දුෂණය නැති කරන තුරු, උද්ඝෝෂණ පවත් වන මිනිස්සු අතරින් කුරුල්ලා ඇවිදින්න පටන්ගත්තා.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නිදහස් අධ්‍යාපනය වෙනු වෙන් කෑගහනවා. තවත් තැනක මිනිස්සු කුණු කන්දට යට වුණු තමන්ගෙ සගයින්ගේ මුණු අඳුනගන්න බැරිව කෑ ගහනවා. ස්ත්‍රී දුෂණයට එරෙහිව කෑ ගහපු ගැහැණුන්ගේ හඬ උස් උස්ව ඇහුණා. සමහර මිනිස්සු වතුර ඉල්ලලා කෑගැහුවා. ඒ මිනිස්සුන්ට බැටන් පොළුවලින් ඒවට උත්තර ලැබුණු හැටි මුහුණුවල සටහන් වෙලා තිබුණා.

අවුරුදු තිහක් තිස්සේ ඇහුණු කතන්දරවල හඬම මේ දැනුත්, කුරුල්ලට ඇහෙන්න පටන් ගත්තා. ඒ සද්දෙන් කන් අඩි පැලෙයි කියලා කුරුල්ලා බය වුණා. ඒ හැම හඬකම වේදනාවත්, අහිමි වීමත් පිළිබඳ දෝංකාරයක් තිබුණා. කුරුල්ලට දුකයි. උද්ඝෝෂණ කරපු මිනිස්සුන්ට ගහපු කඳුළු ගෑස් කුරුල්ලගේ ඇස් වලටත් වැදුණා. ඇස් දැවිල්ල හැඳිලා කඳුළු ගලන්න පටන් ගත්තා.

කුරුල්ලා මිනිස්සුන්ගෙ ඇස්වලට එබුණා. හැම ඇස් දෙකකින්ම පිට වෙන්නෙ කදුළු. පාටක් නැති දියවෙලා ඇද හැලෙන තෙතම තෙත කඳුළු. සමහර ඇස්වල පටන් ගත්ත වෙලේ ඉඳන් ඇද හැලෙන දිය ඇල්ලක් වගේ කදුළු ගලාගෙන ගියා. තවත් ඇස් ගංගාවක් වගේ. තවත් සමහර ඇස් වැටෙන වරුසාවක් වගේ. ඒ හැම ඇහැකින්ම කදුළු ගලාගෙන ගියා.

කුරුල්ලා මිනිස්සුන්ගේ අත් දිහා බැලුවා. බොහෝ අත්වල පස් ගෑවිලා, කරගැට මතු වෙලා. තමන්ගේ ආදරණීයයන් මිහිදන් කළ බවට හඟවන සාක්ෂි තිබුණා. ඒ සමහර අත්වලින් කොච්චර වැඩ කරන්න ඇත් ද?. කෙතරම් බර ආයුද දරන්න ඇත්ද?, සමහර අත්වල ඇඟිලි නැහැ. අත් කොට විතරයි. සමහර අත් ප්ලාස්ටික්. එහෙම නැත්නම් රබර්වලින් හදලා. කුරුල්ල ඒ දිහා බලාගෙන හිටියා.

රාමේශ්වරීගේ කකුලේ මරතොන්ඩි රටා ඇඳලා තිබුණා. රිසානාගේ පාද සලඹේ සද්දේ කුරුල්ලට ඇහුණා. ඒත් එක්කම බොරු කකුලක්. කකුල් දෙකම නැති මිනිසෙක්, ඒ මනුස්සයගේ කිහිලි කරුවල වසර තිහක අතීතයක් සටහන් වෙලා තිබුණා. කකුල්වලින් පැය ගණන් ඇවිදපු, දවස් ගණන් දුවපු හඬ, කුරුල්ලට ඇහුණා. කුරුල්ලා කල්පනා කළා .

තුවාල වුණු හදවත් එක්ක සමහර මිනිස්සුන්ගේ මූණූ කළුවර වෙලා. අනෙකාව අඳුරගන්න බැරිව තවත් මිනිස්සු මිනිස්සුන්ට මූණ දෙන්නැති ව ඉන්නවා. තවත් සමහරෙක් අනෙකාගෙන් හතුරෙක් හදාගෙන වෛර කරන්න පටන් අරන්. වර්ෂ සියදහස් ගණනක් පරිණාමය වුණු මිනිස්සුන්ට තමන්ගේ යටගියාව අමතක වෙලා තියෙනවා දැකලා කුරුල්ලට අදහ ගන්න බැරි වුණා.

කුරුල්ලා අහසට පියෑඹුවා. අවකාශයෙන් නතර වෙච්ච හඬක් කුරුල්ලට දෝංකාරයක් වගේ ඇහෙන්න පටන් ගත්තා. කුරුල්ලා නතර වෙලා ඒ හඬ අහගෙන හිටියා.

“තෘණ ද වෘක්ෂ ද දැනගනු ව ජාතියට අයත් වු සළකුණු එහි ඇත. පණුවන් පතංගයන් හා අනේක විධ වු කුහුඹුවන් දැනගනු ව ජාතියකට අයත් සළකුණු උන් කෙරෙහි ද ඇත. ඊළඟට උරග ගණයේ සත්ත්වයන් ද ජලයෙහි වසන්නා වු මත්ස්‍යයයන් ද අහසින් යන්නාවු පක්ෂීන් ද දැනගනුව ජාතියකට අයත් සළකුණු උන් කෙරෙහි ද ඇත. එහෙත් මිනිසුන් ජාතියකට අයත් සළකුණු නොමැත. ඔවුන්ගේ කෙස්, හිස්, කන්, ඇස්, කට, නහය,තොල්, බැම, යන මේ සම්බන්ධයෙන් ද එබඳු සළකුණු නැත්තේ ම ය. එබැවින් මිනිසුන් එකම ජාතියකි. ඔවුන් අතර වෙනස නමින් ම පමණී”

(බුදුන් වහන්සේ, වාසෙට්ඨ්‍ සුත්‍රය:) සුත්ත නිපාතය)

කුරුල්ලට හරිම සතුටුයි. කුරුල්ලා ඒ පණිවුඩය වලාකුළුවලට කිව්වා. වලාකුළු වැස්ස වෙලා ඒ පණිවිඩයේ හඬ මහ පොළොවට ගෙනිච්චා. වැස්ස වැහැලා මේ පොළොව හේදෙන හැම වෙලාවක ම මිනිස්සුන්ට ඒ හඬ ඇහෙනවා...

“මුණගැහෙන හැම මනුස්සයෙකුගේම ඇස් දිහා බලන්න. ඒ ඇස්වල දීප්තිය ශතවර්ෂ බොහෝ කාලයක සිට පැවත එන බව අඳුනාගන්න. හැම මනුස්සයෙකුගේ ම සුවිශේෂීත්වයට ගරු කරන්න. හැමකෙකු තුළ ම ඔහුවත්, තමන්වත් දකින්න. හැමවිට ම අනෙක් මිනිසාගේ සුවඳට ආදරය කරන්න. එවිට මේ පොළොව ගැන විශ්වයම ගයනු ඇත.”

ඩිලුෂා නදීකමාලී

Comments